ඇත්තෙන්ම, අප එදිනෙදා ඉවතලන පත්තර කොළ සහ කාඩ්බෝඩ් යනු අපූර්ව නිර්මාණ බිහි කළ හැකි වටිනා අමුද්‍රව්‍යයන්ය.
“අපතේ යන දේ අගය එකතු කළ නිර්මාණ බවට පත්කිරීම” හෙවත් ප්‍රතිචක්‍රිකරණය මඟින් පරිසරය සුරැකෙනවා පමණක් නොව, අපගේ නිවෙසට අමුතුම සුන්දරත්වයක් ද එක්කර ගත හැකිය.
නූතන සමාජයේ බොහෝ දෙනා පත්තරයක් කියවා අවසන් වූ පසු හෝ පාර්සලයක් ලැබුණු පසු ඉතිරි වන කාඩ්බෝඩ් පෙට්ටිය ඉවත දැමීමට පුරුදු වී සිටිති. නමුත් නිර්මාණශීලීව සිතන යමකුට මේවා හුදු අපද්‍රව්‍ය නොව, තම කලාත්මක හැකියාවන් විදහා පෑමට ඇති නිදහස් අවකාශයකි.
විවිධ හැඩතල සහ ශිල්පීය ක්‍රම
පත්තර කොළ යනු ඉතා පහසුවෙන් නැමිය හැකි සහ විවිධ හැඩයන්ට හැඩගැස්විය හැකි මාධ්‍යයකි. මේවා භාවිත කරමින් සිදු කළ හැකි ප්‍රධාන නිර්මාණ කිහිපයක් මෙසේය.
පැපියර්-මාෂේ
පත්තර කොළ කුඩා කැබලිවලට ඉරා, ජලයේ පොඟවා, මැලියම් (ග්ලූගන් හෝ සාමාන්‍ය මැලියම්) සමඟ මිශ්‍ර කර ශක්තිමත් රූප සහ බඳුන් නිර්මාණය කළ හැකිය.
පත්‍ර රෝල් කිරීම
පත්තර කොළ සිහින්ව රෝල් කර ඒවා එකිනෙක අලවා තැටි, මල් පෝච්චි සහ පෑන් රඳවනයන් වැනි දේ ඉතා ශක්තිමත් ලෙස සකසා ගත හැක.
කොලාජ් කලාව
පත්තරවල ඇති අකුරු සහ රූප භාවිත කරමින් බිත්ති සැරසිලි සහ සිතුවම් නිර්මාණය කළ හැකිය.
කාඩ්බෝඩ්වල ප්‍රායෝගික භාවිතය
කාඩ්බෝඩ් යනු තරමක් ශක්තිමත් අමුද්‍රව්‍යයක් බැවින් ඒවායෙන් නිවෙස තුළ භාවිත කළ හැකි ප්‍රායෝගික උපකරණ සෑදිය හැකිය. උදාහරණයක් ලෙස, සෙල්ලම් බඩු දමන පෙට්ටි, කුඩා ලාච්චු කට්ටල හෝ පොත් රඳවනයන් නිර්මාණය කිරීමට කාඩ්බෝඩ් ඉතා යෝග්‍ය වේ.
පියවරෙන් පියවර නිර්මාණයක් කිරීම
ඕනෑම නිර්මාණයක් සාර්ථක වීමට නම් නිවැරදි සැලසුමක් තිබිය යුතුය. මුලින්ම ඔබ නිර්මාණය කිරීමට යන රූපය කාඩ්බෝඩ් එකක් මත ඇඳගන්න. ඉන්පසු පත්තර කොළ විවිධ රටාවලට නමා හෝ කුඩා කේතු (cones) ලෙස සකසා ගෙන, ගම් හෝ ග්ලූගන් ආධාරයෙන් ඉතා සියුම්ව අලවන්න. අවසානයේ දී වර්ණ ගැන්වීමෙන් හෝ ස්වභාවික පත්තර අකුරු රටාව එලෙසම තැබීමෙන් එයට විචිත්‍රවත් පෙනුමක් ලබා දිය හැකිය.
මෙවැනි නිර්මාණකරණයෙහි නියැළීමෙන් මානසික සහනයක් ලැබෙනවා සේම, පවුලේ සාමාජිකයන් සමඟ එක්ව විවේකී කාලය ඵලදායි ලෙස ගත කිරීමට ද අවස්ථාව ලැබේ. ඉවතලන දේ තුළින් මවන මේ කලාව, ආර්ථික වාසි මෙන්ම පරිසර හිතකාමී බව ද තහවුරු කරයි
TEXT – මධුර ප්‍රභාත් ගමගේ
