Monday, March 23, 2026
Epaper
Home Highlightsවේගවත් ලොවක සන්සුන්ව ජීවත් වීමට මඟ

වේගවත් ලොවක සන්සුන්ව ජීවත් වීමට මඟ

by Shanaka Lakehouse

වර්තමානයේ අධික කාර්යබහුලත්වය සමඟ බොහෝ දෙනා ජීවත් වන්නේ පීඩනය, විශාදය වැනි තත්ත්වයන්ගෙන් පීඩා විඳිමින් බව නොරහසකි. “මට රස්සාවත්, නිවෙසෙහි වැඩත්, දරුවන් බලා ගැනීමටත් දවසෙ පැය විසිහතර මදි” යැයි බොහෝ දෙනා පවසන්නේ එබැවිනි. Slow Living යනු නූතන ලෝකයේ එම වේගවත්, කාර්යබහුල ජීවිතයට ප්‍රතිචාරයක් ලෙස ඇති වූ අපූරු සංකල්පයකි. මේ තුළින් එම වේගවත් ජීවන රටාවෙන් මිදී සාමකාමීව ජීවත් වීමට හුරු කරවයි. කිසියම් ක්‍රියාවක් සිදු කිරීමේදී ඉතා ඉක්මනින් එය අවසන් කිරීම වඩාත් සුදුසු බව අප අතර බොහෝ දෙනා විශ්වාස කරන කරුණකි. නමුත් එය අප තුළ බොහෝ විට පීඩා ඇති කරවන සුලුය. වැදගත් වන්නේ අදාළ ක්‍රියාව වඩාත් අවබෝධයෙන් අර්ථාන්විතව සිදු කිරීමයි. එය අපගේ මානසික සුවපත්භාවය රැක ගැනීමට බෙහෙවින්ම උපකාරී වේ.

එවැනි සාමකාමී අර්ථවත් දිවියකට උදෑසන පුරුදු වැදගත් වන්නේ සෑම දිනකම ආරම්භය උදෑසන වන බැවිනි. එමඟින් සෑම දවසක්ම ඉහත පරිදි සාමකාමී, සාර්ථක, අර්ථවත් දවසක් බවට පත් කර ගත හැකිය.

නිශ්චිත වේලාවක අවදි වීම

සෑම දිනකම නිශ්චිත වේලාවක අවදි වීමෙන් අප තුළ ස්වයං විනයක් ගොඩනැඟෙයි. එසේම අවදි වීම සඳහා එලාම් නාද වීමේදී එය නවතා නැවත නින්දට වැටීම ඔබ සිදු නොකළ යුතු කටයුත්තකි. මන්ද එය ඔබගේ දවසේ පළමු ක්‍රියාකාරකමෙන්ම ඔබ සෘණාත්මක කරවන බැවිනි. එමෙන්ම එසේ අවදි වීමට නම් ඔබ පෙර දින රාත්‍රියේ නින්දට යන වේලාවද ඉතාමත් වැදගත් වේ. පසුදින අවදි වීමට බලාපොරොත්තු වන වේලාව හා ඔබේ පහසුව අනුව නිශ්චිත වේලාවක් නිදා ගැනීමට තෝරාගත යුතුය.

නමුත් කාර්යබහුල දිනවලදී වෙනදාට වඩා යම් වේලාවක් (පැයක් හෝ පැය භාගයක්) කලින් අවදි වී කලබලයකින් තොරව කටයුතු සිදු කර ගැනීමද වඩාත් සුදුසු බව මෙහිදී ඉගැන්වෙයි.

අවදි වීමෙන් පසු නිදියහන සකස් කිරීම

මෙය අවදි වූ පසු ඔබ සිදු කළ යුතු පළමු කාර්යය ලෙස සැලකුවද එහි කිසිදු වරදක් නැත. එයින් ඔබ වඩාත් පිළිවෙළට සහ පිරිසුදුව කටයුතු කරන්නෙක් බව ඔබ තුළම ධනාත්මක චින්තනයක් ඇති කරවයි. ධනාත්මක චින්තනය ඔබගේ දවස සාර්ථක කරවීමට තරම් බලවත්ය.

ජනෙල්, දොරවල් විවෘත කිරීම

උදෑසනම ජනෙල් දොරවල් විවෘත කිරීමෙන් නිවෙස තුළට නැවුම් ආලෝකය, විශ්ව ශක්තිය ළඟා කර ගැනීමට හැකි වේ. එමෙන්ම එම නැවුම් බව දවස අලුත් අරමුණු, බලාපොරොත්තු සහිතව ආරම්භ කිරීමට උපකාරී වේ. පෙරදී කුමන හෝ හිත් රිදීමක් හෝ සෘණාත්මක මානසිකත්වයක් ඇති වුවද එයින් මිදී අලුත් දවස අලුතින් ආරම්භ කිරීමට මෙය හොඳ අවස්ථාවකි.

පිරිසුදු වතුර වීදුරුවක් පානය කිරීම

උදෑසන අවදි වූ විගස හිස් බඩට පිරිසුදු ජලය පානය කිරීම මඟින් අපගේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා මනා ලෙස සිදු වීමට බෙහෙවින්ම ගුණදායී වේ. එමෙන්ම සම පැහැපත් වීම එයින් ලැබෙන තවත් මහඟු ධනාත්මක ප්‍රතිඵලයකි. වතුර පානය යනු අප අතර බොහෝ දෙනකුට මඟහැරී ඇති පුරුද්දකි. නමුත් එය අපගේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයකි. එබැවින් දවස ආරම්භ කිරීමට ප්‍රථම වතුර වීදුරුවක් පානය කිරීම බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේ. මේ සඳහා මඳ උණු වතුර වුවද භාවිත කළ හැකිය.

දුරකතනය, ලැප්ටොප් ආදියෙන් මඳකට ඉවත් වීම

උදෑසන අවදි වූ පසු හැකි පමණින් මෙම උපකරණවලින් ඉවත් වී සිටීම ඔබේ දවස වඩාත් අර්ථවත්ව ගත කිරීමට උදව්වක් බව අමතක නොකළ යුතු කරුණකි. අවදි වූ සැණින් ජංගම දුරකතනය තුළ ඇති සමාජ මාධ්‍ය තුළ සිර වී දවසින් පැය ගණනක් නිකරුණේ කාලය ගත කිරීම තුළින් දවසෙහි ඉතිරි භාගයද ඵලදායී නොවේ. එමඟින් සිත තුළ ඇති කරවන්නේ අනවශ්‍ය පීඩනයක් පමණි.

සීතල වතුරෙන් පිරිසුදු වීම සහ පිරිසුදු අලුත් ඇඳුම් ඇඳීම

මෙමඟින් ශරීරයට සුවපහසු බවක් දැනේ. එමෙන්ම දවස ප්‍රාණවත්ව ගත කිරීමට නව පණක් ලබා දෙයි. මෙම අවස්ථාවේදී උණු වතුර භාවිතය එතරම් සුදුසු නොවේ. මන්ද එමඟින් ශරීරය උණුසුම් කොට නැවත නිද්‍රාශීලී කරවන බැවිනි.

මෙම පුරුදු තම ජීවිතයට පුරුදු පුහුණු කර ගැනීම තුළින් සෑම දිනක්ම ඵලදායී ලෙස ගත කිරීමට හොඳ ආරම්භයක් ලබා දෙයි. Slow Living යනු අලසකමින් කාලය ගත කිරීමක්දැයි දැන් ඔබට හැඟෙන්නේ නම්, සැබවින්ම එය එසේ නොවේ. එය අවබෝධයෙන් සන්සුන්ව කටයුතු කිරීමට ඉගැන්වෙන අපූරු සංකල්පයකි. කලබලකාරී, නොසන්සුන් පරිසරයක සිට සාමකාමී සන්සුන් පරිසරයකට ගිය පසු ඔබට දැනෙන මානසික නිදහස, සතුට පිළිබඳ මඳක් සිතන්න. ඔබ මෙම පුරුදු සෑම දිනකම අවදි වූ පසු කලබලයකින් තොරව අනුගමනය කරමින් දවස ආරම්භ කිරීමෙන් ඔබට එවැනිම මානසික නිදහසක්, සතුටක් අත්වනවා නොඅනුමානය. ඔබ ඇතුළතින්ම සාමකාමී පුද්ගලයකු වීමට දිනපතා මෙම පුරුදු අනුගමනය කර බැලිය හැකිය.

 

TEXT – පියුනි හිමායා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?