Monday, March 23, 2026
Epaper
Home Beautyමුහුණට අලුත් එළියක් දෙන Microdermabrasion

මුහුණට අලුත් එළියක් දෙන Microdermabrasion

තරුණ පෙනුම රැක දෙන මයික්‍රොඩර්මබ්‍රේෂන්

by Shanaka Lakehouse

අද කාලයේ සම රැකගැනීම පිළිබඳ උනන්දුව ලෝකය පුරාම ඉතා ඉහළ මට්ටමකට තිබේ. ඒ නිසාම කාන්තාවන් තම සම පිරිසුදු, මෘදු සහ තරුණ පෙනුමකින් තබා ගැනීමට විවිධ සත්කාර ක්‍රම භාවිත කරති. ඒ ක්‍රම අතුරින් නවීන සම සත්කාර ක්‍රම අතර ඉතා ජනප්‍රිය හා බහුලව භාවිත කරන ක්‍රමයක් ලෙස මයික්‍රොඩර්මබ්‍රේෂන් (Microdermabrasion) සත්කාරය හඳුන්වා දිය හැකියි. මෙය සමේ ඉහළම ස්ථරය මෘදු ලෙස ඉවත් කරමින් නව හා සෞඛ්‍ය සම්පන්න සම සෛල මතු කිරීමට උපකාරී වන රූපලාවණ්‍ය සත්කාරයකි.

මෙය කුමක්ද?

මෙය නවීන රූපලාවණ්‍ය සත්කාරයක් වන අතර බොහෝවිට රූපලාවණ්‍ය ආයතන සහ චර්ම රෝග සායනවල සිදු කරනු ලබයි. මෙම සත්කාරයේදී විශේෂ උපකරණයක් භාවිත කරමින් සමේ ඉහළම ස්තරයේ ඇති මැරුණු සම සෛල (dead skin cells) ඉවත් කරයි. සමේ මැරුණු සෛල ඉවත් කිරීම නිසා සම පිරිසුදු, දීප්තිමත් සහ මෘදු බවක් ලබා ගනී.

Microdermabrasion සත්කාරය

විශේෂයෙන්ම අඳුරු සම, සමේ අවපැහැය, සියුම් කැළැල්, කුරුලෑ කැළැල් සහ හිරු එළියෙන් හානි වූ වැනි සමේ ගැටලු අඩු කිරීමට උපකාරී වේ. සමේ ඉහළ ස්තරය ඉවත් කිරීමෙන් නව සම සෛල වර්ධනය වීමට අවකාශ ලැබේ. එමෙන්ම කොලැජන් නිෂ්පාදනයද වැඩි වීම නිසා සම තද සහ තරුණ පෙනුමක් ලබා ගනී. Microdermabrasion සත්කාරය සාමාන්‍යයෙන් වයස අවුරුදු 13 පසු වූ ඕනෑම වයස් කාණ්ඩයකට කළ හැකි රූපලාවණ්‍ය සත්කාරයකි.

වර්ග දෙකකි

Microdermabrasion සත්කාරයේ ප්‍රධාන වර්ග දෙකක් ඇත. ඒවා නම් Crystal microdermabrasion සහ Diamond tip microdermabrasion යන ක්‍රම වේ. Crystal microdermabrasion ක්‍රමයේදී ඉතා සුළු ක්‍රිස්ටල් අංශු සම මතට ප්‍රක්ෂේපණය කරමින් ස්ක්‍රබ් කිරීම සිදු කරයි. එමඟින් මැරුණු සම ඉවත් කරනු ලබයි. Diamond tip microdermabrasion ක්‍රමයේදී Diamond tip එකක් සහිත උපකරණයක් සම මත මෘදු ලෙස ගමන් කරමින් සමේ මැරුණු සෛල ඉවත් කරයි. මේ ක්‍රම දෙකම මැරුණු සම ඉවත් කිරීම සඳහා භාවිත කරන අතර නවීන රූපලාවණ්‍ය සත්කාර අතර ජනප්‍රිය ක්‍රම වේ.

සිදු කරන ආකාරය

මසකට වරක් මුහුණට කරන ෆේෂල් සත්කාරය අතරතුරදී මෙය කරනු ලබයි. සාමාන්‍යයෙන් ෆේෂල් එකකදී සිදු කරනු ලබන ක්ලෙන්සර්, ස්ක්‍රබ්, ටෝනර් කිරීමේදී ස්ක්‍රබ් එක වෙනුවට මෙය භාවිත කරයි. Microdermabrasion සත්කාරය සාමාන්‍යයෙන් විනාඩි 30 සිට 45 දක්වා කාලයක් ගතවේ. මෙම ක්‍රියාවලිය අතරතුර නිර්වින්දනය භාවිත කිරීම අවශ්‍ය නොවන අතර එය සාමාන්‍යයෙන් වේදනාවක් නොමැති සත්කාරයක් ලෙස සැලකේ.

සත්කාරයේ වාසි

මෙම සත්කාරයේ ප්‍රධාන වාසි කිහිපයක් ඇත. Microdermabrasion කිරීමෙන් සමේ වයන ස්වභාවය හොඳ වේ, සිදුරු පිරිසුදු වේ, සියුම් රේඛා සහ රැලි අඩු වේ. එමෙන්ම කුරුලෑ කැළැල් සහ පිග්මන්ටේෂන් වැනි ගැටලු ද අඩු කිරීමට උපකාරී වේ. සමේ රුධිර සංසරණය වැඩි වීම නිසා සම සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා ගනී. සමේ රැලි ඉවත් කර තරුණ පෙනුම රැකගැනීමට ඇති ඉස්තරම් සත්කාරවලින් එකකි.

Microdermabrasion සත්කාරයේ තවත් වැදගත් වාසියක් වන්නේ සම ආරක්ෂණ නිෂ්පාදන සමට වඩා හොඳින් ඇතුළු වීමට උපකාරී වීමයි. සමේ මැරුණු සෛල ඉවත් කිරීම නිසා ක්‍රීම්, සීරම් සහ මොයිස්චරයිසර් වැනි නිෂ්පාදන සම තුළට පහසුවෙන් අවශෝෂණය වේ. එම නිසා සම ආරක්ෂණ නිෂ්පාදන භාවිත කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල වැඩි වේ.

අතුරු ආබාධ

කෙසේ වෙතත් Microdermabrasion සත්කාරයෙන් පසු සමහර පුද්ගලයන්ට කලාතුරකින් සුළු අතුරු ආබාධ දක්නට ලැබිය හැකිය. ඒවා අතර සම රතු වීම, වියළි බව, ඉදිමීම සහ සංවේදී වීම වැනි තත්ත්වයන් අන්තර්ගත වේ. මේවා සාමාන්‍යයෙන් තාවකාලික වන අතර දින කිහිපයකින් සුව වෙයි.

සත්කාරයෙන් පසු සම සූර්යාලෝකයට වැඩි සංවේදී බවක් පෙන්විය හැකි බැවින් සන්ස්ක්‍රීන් භාවිත කිරීම ඉතා වැදගත් වේ. එමෙන්ම සෘජු හිරු ආලෝකයට දිගු කාලයක් නිරාවරණය වීම වැළැක්විය යුතුය. තවද දරුණු කුරුලෑ, දද, රෝසසියා හෝ සමේ ආසාදන වැනි සම රෝග ඇති පුද්ගලයන් මෙම සත්කාරය ලබා ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. සම දැඩි ලෙස හානි වූ සමක් නම් Microdermabrasion කිරීමෙන් සමේ ගැටලු තවදුරටත් වැඩි විය හැකියි.

Microdermabrasion සත්කාරයෙන් ලැබෙන ප්‍රතිඵල දිගු කාලයක් පවත්වා ගැනීමට කිහිප වරක් කිරීම සාමාන්‍යයෙන් අවශ්‍ය වේ. මාසයකට වරක් මෙම සත්කාරය කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි.

අද වන විට Microdermabrasion සත්කාරය ලෝකය පුරාම ජනප්‍රිය රූපලාවණ්‍ය ප්‍රතිකාරයක් ලෙස පවතී. එය සරල, වේගවත් සහ ආරක්ෂිත ප්‍රතිකාරයක් ලෙස සැලකේ. සම පිරිසුදු කරමින් දීප්තිමත් සහ තරුණ පෙනුමක් ලබා ගැනීමට කැමැති බොහෝ පුද්ගලයන් මෙම සත්කාරය තෝරා ගනී.

අවසන් වශයෙන්, Microdermabrasion සත්කාරය සම රැකවරණයේ වැදගත් නවීන ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. එය සමේ ඉහළ ස්ථරය පිරිසුදු කරමින් නව සම සෛල වර්ධනය වීමට උපකාරී වන අතර සම දීප්තිමත් හා සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා දේ. එහෙත් සත්කාරය ලබා ගැනීමට පෙර වෘත්තීය දැනුම ඇති රූපලාවණ්‍ය විශේෂඥයෙක් හෝ චර්ම රෝග විශේෂඥයකුගේ උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වේ. එමඟින් සමේ සෞඛ්‍යය ආරක්ෂා කරමින් හොඳම ප්‍රතිඵල ලබා ගත හැකි වේ. ෆේෂල් සත්කාරය නිවෙසේදී තමන්ට තනිවම කළ හැකි වුවත් මෙවැනි සත්කාරයක් නිවෙසේදී කළ නොහැකිය. ඒ නිසයි ඔබ මෙවැනි සත්කාරයකදී රූපලාවණ්‍ය ශිල්පිනියකගේ සහය ලබා ගත යුතු වන්නේ.

 

TEXT – විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?