සෑම කාන්තාවක්ම සුන්දර රුවක් හිමිකර ගැනීමට විවිධ දේවල් සමෙහි ආලේප කරයි. නමුත් විශාල මුදලක් වැය කර මිලදී ගන්නා කෘත්‍රිම ආලේපන කොතරම් දුරට රුව රැක
දෙනවාද යන්න විවාදාත්මකය. කෘත්‍රිම සත්කාරවලින් පසුකාලීන අහිතකර ප්‍රතිඵල ඇති විය හැකි වුවත්, මුදලක් වැය නොවී නිවෙසේදීම සිදු කරගත හැකි ස්වාභාවික සත්කාර තුළින් රුව පමණක් නොව තරුණබව ද වර්ධනය කර ගත හැකිය.
මුහුණේ රැළි වැටීම්වලට අයිස් කැට සත්කාරය
දිනපතාම මිනිත්තු කිහිපයක් අයිස් කැට මුහුණේ සම්බාහනය කිරීමෙන් රැලි වැටීම පාලනය කර වයසට යාමේ ලක්ෂණ අවම කරගත හැකිය. රෝස වතුර සහ පිපිඤ්ඤා යුෂ මිශ්‍ර කර සාදාගත් අයිස් කැට ඇස් වටා ඇති අඳුරු පැහැය ඉවත් කිරීමට ඉතා සුදුසුය. අයිස් කැට කෙළින්ම සම මත තැබීමට අපහසු නම්, සිහින් රෙදිකඩක ඔතා භාවිත කළ හැකිය. මෙතුළින් හිරු කිරණ නිසා ඇතිවන කැසීම් සහ දද සමනය වන අතර සමේ අවපැහැය ද ඉක්මනින් මඟහැරේ.
සුසිනිඳු කෙස් කලඹකට විනාකිරි
හිසකෙස්වල විනාකිරි ගැල්වීමෙන් කෙස් කළඹ සුසිනිඳු හා කීකරු වේ. සතියකට වරක් මෙම සත්කාරය සිදු කර සීතල ජලයෙන් සෝදා හැරීම අනිවාර්ය වේ.
අවපැහැ සමට සත්කාර (කිහිළි, කලවා, වැලමිට, තොල්)
ලෙමන් සහ මී පැණි: විටමින් C බහුල ලෙමන් යුෂ මී පැණි සමඟ මිශ්‍ර කර විනාඩි 15ක් තබා සෝදා හැරීමෙන් සම පැහැපත් වේ.
කැරට් සහ මී පැණි
කැරට්වල ඇති විටමින් A සම පෝෂණය කරයි.
තක්කාලි
තක්කාලිවල ඇති ලයිකොපීන් සමේ පැහැය වර්ධනය කිරීමට උපකාරී වේ.
අල සහ මී පැණි
අලවල ඇති විටමින් C සම පැහැපත් කිරීමට උපකාරී වේ.
තෙල් සත්කාර
පොල් තෙල් හෝ ඔලිව් තෙල් ආලේප කර විනාඩි 30ක් තබා සේදීමෙන් සමේ තෙතමනය රඳවා ගත හැකිය.
කහ සහ මී පැණි
කහවල ඇති කුර්කියුමින් සමේ පැහැය ඉක්මනින් වර්ධනය කරයි.
නිවෙසේදීම ස්වාභාවික ක්ලීන්අප් (Cleanup) එකක්
නීරෝගි සමක් යුවතියකට වටිනා ආභරණයකි. සති දෙකකට වරක් මෙම පියවර අනුගමනය කිරීමෙන් විශාල මුදලක් ඉතිරි කරගත හැකිය.
ක්ලෙන්සර් (Cleanser)
සමෙහි ඇති කුණු දූවිලි සහ අනවශ්‍ය තෙල් ඉවත් කිරීමට කඩල පිටි හා යෝගට්, මී පැණි හා ලෙමන් හෝ පිපිඤ්ඤා හා මී කිරි භාවිත කළ හැකිය. ඇඟිලි තුඩුවලින් කවාකාරව සම්බාහනය කර මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
ස්ක්‍රබ් (Scrub)
මැරුණු සෛල ඉවත් කර දීප්තිමත් බවක් ලබා ගැනීමට නැවුම් කිරි හා කෝපි කුඩු, ඕට්ස් හා යෝගට් හෝ කෝමාරිකා මදය හා කෝපි කුඩු යොදාගත හැකිය. නහය සහ නිකට අවට විශේෂයෙන් විනාඩි 5ක් පමණ මෘදු ලෙස ස්ක්‍රබ් කරන්න.
ෆේස් පැක් (Face Pack)
සමට පෝෂණය ලබා දීමට කඩල පිටි, මී පැණි සහ යෝගට් මිශ්‍රණය හෝ සුදු හඳුන් සහ රෝස වතුර පැක් එකක් විනාඩි 20ක් තබා වියළුණු පසු සෝදා හරින්න. මෙය සමට දීප්තිමත් පෙනුමක් ලබා දෙයි.
ටෝනර් (Toner) කිරීම
අවසාන පියවර ලෙස රෝස වතුර, අයිස් වතුර හෝ සහල් වතුර භාවිතයෙන් විවෘත වූ සිදුරු වැසීම සහ තෙතමනය ආරක්ෂා කිරීම සිදු වේ.
දිදුලන කෙස් කලඹකට පෝෂණීය ආලේප
යෝගට්, බිත්තර කහ මදය සහ ඔලිව් තෙල් මිශ්‍රණය විනාඩි 30ක් හිසකෙස්වල තබා සෝදා හරින්න.
එළකිරිවල පෙඟවූ මුං ඇට සහ මී පැණි මිශ්‍රණය පෝෂණය සඳහා ඉතා ගුණදායකය.
ඉදුණු අලිගැටපේර සහ තම්බා ගත් සව් මිශ්‍රණය හිසකෙස්වල වියළෙන තෙක් තබා සේදීමෙන් දීප්තිමත් කෙස් කලඹක් හිමි වේ.
තේ කොළ හෝ කරපිංචා තැම්බූ ජලයෙන් හිස සේදීම ද ඉතා සාර්ථක ස්වාභාවික ප්‍රතිකර්මයකි.
අනවශ්‍ය රෝම ඉවත් කිරීම
ආයූර්වේදයට අනුව කහ හා යෝගට්, සීනි හා දෙහි වැක්ස්, හෝ බිත්තර සුදු මද හා ඉරිඟු පිටි මිශ්‍රණය මඟින් රෝම වැවීමේ වේගය පාලනය කළ හැකිය. කඩල පිටි මිශ්‍රණය ආලේප කර වේළුණු පසු රෝම වැවෙන දිශාවට විරුද්ධ අතට මැදීමෙන් ඒවා ඉවත් වේ. රේසරයක් භාවිත කරන්නේ නම් සෑම විටම රෝම වැවෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දෙසට හැසිරවීමට මතක තබා ගන්න.
සම ආරක්ෂා කර ගැනීමට නිරන්තරයෙන් සන්ස්ක්‍රීන් සහ මොයිස්චරයිසර් භාවිත කිරීමත්, රසායනික ද්‍රව්‍යවලින් වැළකීමත් වැදගත් වේ. තමන් වෙනුවෙන් සුළු කාලයක් වෙන් කර මෙම සත්කාරවල නියැළීමෙන් මානසික සුවයක් මෙන්ම දිගුකාලීන සුන්දරත්වයක් ද හිමි කරගත හැකිය.
TEXT – කෝකිලා සමුදුනී
