Monday, March 23, 2026
Epaper
Home Highlightsඔබේ කෑම මේසයට අමුතුම කලඑළියක් දෙන ඩෙවල්

ඔබේ කෑම මේසයට අමුතුම කලඑළියක් දෙන ඩෙවල්

by Shanaka Lakehouse

නිවෙසේ සිටින සාමාජිකයන්ට මෙන්ම පැමිණෙන අමුත්තන්ට ද කටට රසට යමක් පිළියෙල කර දෙන්නට ගෘහිණියක ලෙස ඔබ දක්වන්නේ දැඩි උනන්දුවකි. නූඩ්ල්ස්, ෆ්‍රයිඩ් රයිස් හෝ සාමාන්‍ය ඛතක් සමඟ වුවත් කදිමට ගැළපෙන මේ ඩෙවල් වට්ටෝරු කිහිපය ඔබේ මුළුතැන්ගෙයට අලුත් අත්දැකීමක් එක් කරනු නොඅනුමානය.


චිකන් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

කුඩා කෑලිවලට කපාගත් චිකන් ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු කුඩු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්, ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 1ක්, ලොකුවට රවුමට කපාගත් ලූනු ගෙඩි 2ක්, මාළු මිරිස් කරල් 2ක්, තක්කාලි ගෙඩි 1ක්, කෑලි මිරිස් කුඩු මේස හැඳි 2ක්, සීනි තේ හැඳි 2 1/2ක් සහ තෙල්.

සාදන ක්‍රමය

පළමුව චිකන් ටික සීසන් කර විනාඩි 30ක් පමණ තබන්න. ඉන්පසු චිකන් ටික ගැඹුරු තෙලේ බාගෙට බැදගන්න. වෙනත් භාජනයකට තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු එයට ඉඟුරු සුදුලූනු පේස්ට් එක එක් කරන්න. දැන් එම මිශ්‍රණයටම කෑලි මිරිස් හා සීනි එක්කර, සීනි දිය වන තුරු අඩු ගින්දරේ තබන්න. සීනි දිය වූ පසු තක්කාලි සෝස් හා සෝයා සෝස් එකතු කර හොඳින් කලවම් කරන්න. දැන් බැදගත් චිකන් ටික දමා කලවම් කර මඳ ගින්නේ ටික වේලාවක් උයා ගන්න. අවසානයට කපාගත් ලූනු, මාළුමිරිස් හා තක්කාලි දමා කලවම් කර ලිපෙන් බාගන්න.

 

මාළු ඩෙවල් (තලපත්, තෝර හෝ කෙලවල්ලෝ)

අවශ්‍ය ද්‍රව්‍ය
හතරැස් කෑලිවලට කපාගත් මාළු ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්, ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 1ක්, ලොකුවට රවුමට කපාගත් ලූනු ගෙඩි 2ක්, මාළුමිරිස් කරල් 2ක්, තක්කාලි ගෙඩි 1ක්, කෑලි මිරිස් මේස හැඳි 2ක්, සීනි තේ හැඳි 2 1/2 ක් සහ තෙල්.

සාදන ක්‍රමය

චිකන් ඩෙවල් සාදන ආකාරයටම මාළු ටික සීසන් කර විනාඩි 30ක් තබා ගැඹුරු තෙලේ බාගෙට බැදගන්න. තෙල් රත් කර ඉඟුරු සුදු ලූනු පේස්ට්, කෑලි මිරිස් සහ සීනි එක් කර සීනි දිය වන තෙක් තබන්න. සෝස් වර්ග එකතු කර කලවම් කළ පසු බැදගත් මාළු එක්කර මඳ ගින්නේ පිසගන්න. අවසානයට එළවළු වර්ග එක් කර කලවම් කර ළිපෙන් බාගන්න.

 


පරා මාළු පෙති ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය
පරා මාළු ග්‍රෑම් 250ක්, මාළු මිරිස් කරල් 2ක්, අමුමිරිස් කරල් 2ක්, තක්කාලි ගෙඩි 1ක්, බී ලූනු ගෙඩි 2ක්, චිලී පේස්ට් තේ හැඳි 2ක් (හෝ කෑලි මිරිස් තේ හැඳි 1ක්), කහ කුඩු ස්වල්පයක්, සීනි තේ හැඳි 1/2ක්, තක්කාලි සෝස් මේස හැඳි 1ක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්, සෝයා සෝස් මේස හැඳි 1ක්, ලුණු කුඩු තේ හැඳි 1ක් සහ තෙල්.

සාදන ක්‍රමය

මාළු හොඳින් සෝදා පිරිසුදු කර අවශ්‍ය ප්‍රමාණයට පෙති කපාගන්න. එයට ලුණු, ගම්මිරිස් සහ කහ කුඩු එකතු කර සීසන් වීමට තබන්න. බී ලූනු රවුම් පෙති කපා, මාළු මිරිස් සහ තක්කාලි ද හැඩයට කපාගන්න. සෝස්පෑන් එකකට තෙල් දමා රත් වූ පසු චිලි පේස්ට් හෝ කෑලි මිරිස් සමඟ සීනි එකතු කරන්න. සීනි දිය වන විට මාළු පෙති එකතු කර ප්‍රවේශමෙන් දෙපැත්ත හරවමින් බැදගන්න. මාළු බැදුණු පසු වෙනත් භාජනයකට ගෙන, ඉතිරි තෙල් එකට බී ලූනු, මාළු මිරිස් සහ තක්කාලි එක් කරන්න. ඒවා මඳක් තැම්බුණු පසු නැවත මාළු එක් කර ප්‍රවේශමෙන් කලවම් කර ළිපෙන් බාගන්න.

 

සොසේජ් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය
සොසේජ් ග්‍රෑම් 250ක්, බී ලූනු ගෙඩි 2ක්, මාළු මිරිස් කරල් 1ක්, තක්කාලි ගෙඩි 1ක්, චිලි පේස්ට් හෝ කෑලි මිරිස් මේස හැඳි 1ක්, සීනි තේ හැඳි 1ක්, තක්කාලි සෝස් මේස හැඳි 1ක්, සෝයා සෝස් මේස හැඳි 1 ක් සහ තෙල්.

සාදන ක්‍රමය

සොසේජ්, ලූනු සහ මාළු මිරිස් කෑලි කපාගන්න. භාජනයක් ලිප තබා තෙල් රත් වූ පසු චිලි පේස්ට් හෝ කෑලි මිරිස් එක් කර අඩු ගින්දරේ තබන්න. සීනි එකතු කර එය දිය වූ පසු සොසේජ් කෑලි එක් කරන්න. දැන් තක්කාලි සෝස් සහ සෝයා සෝස් එකතු කර කලවම් කරමින් තැම්බෙන්නට හරින්න. අවසානයට මාළු මිරිස්, තක්කාලි සහ ලූනු රවුම් එකතු කර, රස අනුව ලුණු එක් කර ළිපෙන් බාගන්න.

 

බීෆ් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

පෙති ලෙස කපාගත් හරක් මස් ග්‍රෑම් 500ක්, සෝයා සෝස්, කහ, ගම්මිරිස්, ලුණු, තක්කාලි සෝස්, ඉඟුරු සුදුලූනු, ලූනු, මාළුමිරිස්, තක්කාලි, කෑලි මිරිස් සහ සීනි.

සාදන ක්‍රමය

හරක් මස් ටික ලුණු, ගම්මිරිස්, කහ සහ සෝයා සෝස් දමා විනාඩි 30ක් පමණ සීසන් කර ගැඹුරු තෙලේ බැදගන්න. පසුව අනෙක් ඩෙවල් වට්ටෝරු ආකාරයටම සෝස් මිශ්‍රණය සාදා මස් ටික එක්කර එළවළු සමඟ කලවම් කරගන්න

 

ඉස්සෝ ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය
ඉස්සෝ කිලෝ 1ක්, ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 6ක්, ගම්මිරිස් තේ හැඳි 1/2ක්, සෝයා සෝස් මේස හැඳි 5ක්, ලුණු, දෙහි බෑයක යුෂ, පොල් තෙල්, කහ තේ හැඳි 1/2ක්, කුනිස්සෝ ග්‍රෑම් 50ක් (සෝදා වේළා කුඩු කරගත්), කෑලි මිරිස් මේස හැඳි 2ක්, මිරිස් කුඩු තේ හැඳි 1/2ක්, තක්කාලි සෝස් මේස හැඳි 5ක්.

සාදන ක්‍රමය

ඉස්සෝ ටික ලුණු, ගම්මිරිස්, කහ එකතු කර පැයක් පමණ වීමට තබන්න. ඉන්පසු ඉස්සෝ ටික ගැඹුරු තෙලේ බැදගන්න. දැන් භාජනයකට තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු ඉඟුරු සුදුලූනු පේස්ට් එක දමා බැදගන්න. එයට කෑලි මිරිස්, සෝයා සෝස් සහ කුනිස්සන් පවුඩර් එකතු කරන්න. දැන් බැදගත් ඉස්සෝ එකතු කර ටික වේලාවක් කලවම් කරමින් පිසගන්න. අවසානයට තක්කාලි සෝස් එකතු කර ළිපෙන් බාගන්න.

 


සෝයා ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

සෝයා පැකට් 1ක්, ගම්මිරිස් කුඩු, තක්කාලි සෝස්, සෝයා සෝස්, ඉඟුරු සුදුලූනු පේස්ට්, ලූනු, මාළු මිරිස්, තක්කාලි, කෑලි මිරිස්, සීනි සහ තෙල්.

සාදන ක්‍රමය

සෝයා ටික උණු වතුරේ දමා තබා පසුව හොඳින් මිරිකා ගැඹුරු තෙලේ බැදගන්න. පෙර පරිදිම සාදාගත් සෝස් මිශ්‍රණයට බැදගත් සෝයා ටික එක් කර රසවත් සෝයා ඩෙවල් එකක් පිළියෙල කරගන්න. මෙය නිර්මාංස අයට කදිම තේරීමකි.

TEXT – සඳලි සත්සරණි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?