ළඟ එන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ආදරණීය ගෘහිණියක් වන ඔබ බොහොම අවිවේකීව ඇති. නෑදෑ හිතමිතුරන් වගේම එන අමුත්තන් පිළිගන්න ඔබ ලහිලහියේ සූදානම් වෙනවා නේද? මෙන්න තරුණී නුගසෙවණ සුසංයෝගයෙන් ඔබට පුංචි අවුරුදු තිළිණයක්. මේ කුෂන් කවරයකට කළ හැකි පින්තාරුවකි. බලන්න, ඔබට ඉතා පහසුවෙන් මෙය කරගත හැකියි.
අවශ්‍ය ද්‍රව්‍ය:
සරල, තනි පැහැති කුෂන් කවරයක්
(කපු හෝ ලිනන් වැනි රෙදි වර්ගයකින් සාදන ලද්දක්)
ඇක්‍රිලික් තීන්ත (Fabric acrylic paint) – සුදු, කහ සහ කොළ පැහැති
තීන්ත බුරුසු (විවිධ ප්‍රමාණවලින් – සිහින් සහ මහත)
පින්තාරු තැටියක් (Palette)
ජලය සහිත කෝප්පයක් (බුරුසු සේදීමට).
කඩදාසි තුවා (Water absorbent tissue/cloth)
පැන්සලක්
පුවත්පත් හෝ ප්ලාස්ටික් ආවරණයක් (කුෂන් කවරය යටින් තැබීමට)
පියවර 1
පින්තාරු කිරීම සඳහා ඔබේ කුෂන් කවරය හොඳින් පිරිසිදු කර වියළා ගන්න. පින්තාරු කිරීමේදී තීන්ත පිටුපසට නොයෑම සඳහා කුෂන් කවරය යටින් පුවත්පත් හෝ ප්ලාස්ටික් ආවරණයක් එලා ගන්න.
පියවර 2
මල් සැකැස්ම ඇඳීම
පැන්සලෙන් කුෂන් කවරය මත අරලිය මලේ දළ සටහනක් ඇඳගන්න. ඔබට අන්තර්ජාලයෙන් අරලිය මලක රූපයක් සොයාගෙන එය බලාගෙන ඇඳිය හැකියි. ඔබට අවශ්‍ය තරම් මල් සහ කොළ ප්‍රමාණයක් ඇඳගන්න.
පියවර 3
මල් පෙති පින්තාරු කිරීම
සිහින් බුරුසුවක් භාවිත කරමින් අරලිය මලේ පෙතිවල පිටත සීමාවන් සුදු පැහැති තීන්තෙන් අඳින්න. ඉන්පසු මහත බුරුසුවක් භාවිත කරමින් පෙතිවල ඇතුළත සුදු පැහැති තීන්තෙන් පුරවන්න. තීන්ත හොඳින් වියළීමට ඉඩ දෙන්න.
පියවර 4
මල මැද පින්තාරු කිරීම
මල් පෙති හොඳින් වියළුණු පසු, මලේ මැද කොටස කහ පැහැති තීන්තෙන් පුරවන්න.
පියවර 5
කොළ සහ අතු පින්තාරු කිරීම
අරලිය මල අවට ඇති කොළ සහ අතු කොළ පැහැති තීන්තෙන් පුරවන්න.
පියවර 6
නිමාව
තීන්ත හොඳින් වියළුණු පසු, පින්තාරු කළ ප්‍රදේශය මත ඉස්ත්‍රික්කයකින් (Iron) සැහැල්ලුවෙන් රත් කරන්න (ඇතුළත පැත්තෙන්). මෙය තීන්ත කවරය මත හොඳින් රැඳී තිබීමට උපකාරී වේ.
තීන්ත භාවිත කිරීමේදී, තීන්ත තුනී කර ගැනීම සඳහා අවශ්‍ය නම් ජලය ස්වල්පයක් එකතු කරන්න.
පින්තාරු කිරීමේදී වැරදීමක් සිදුවුවහොත්, තීන්ත වියළීමට පෙර තෙත කඩදාසි තුවායකින් පිසදමන්න.
පින්තාරු කිරීම අවසන් වූ පසු, බුරුසු හොඳින් ජලයෙන් සෝදා වියළා ගන්න.
දැන් මේ අරලිය මල් පින්තාරු කළ කුෂන් කවරය නිවෙසට අලංකාරයක් එක් කරයි.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
