සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු හුදු දින දර්ශනයක වෙනසක් පමණක් නොවේ. එය ශ්‍රී ලාංෙක්ය ජන සමාජයේ ආධ්‍යාත්මය හා බැඳුණු සංස්කෘතික මංගල්‍යයකි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම පදනම් කරගනිමින් ගොඩනැඟුණු මෙම චාරිත්‍ර වාරිත්‍ර පද්ධතිය වසර දහස් ගණනක් තිස්සේ අපේ අනන්‍යතාව රැකදීමට සමත්ව තිබේ. එහෙත් 2026 වසරේ උදාවන අලුත් අවුරුද්ද වෙනුවෙන් නිකුත් කර ඇති නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. මේ පිළිබඳව විවිධ මානයන්ගෙන් අදහස් දක්වන විද්වතුන් පෙන්වා දෙන්නේ පාරම්පරික උරුමය සහ වර්තමාන පරිපාලන තීරණ අතර පවතින ගැටුම මෙවර නැකැත් සීට්ටුව හරහා නිරූපණය වන බවයි.
අනුරාධපුර යුගයේ සිට පැවත එන රාජ්‍ය උරුමය
රාජ්‍ය අස්පර්ශනීය උරුම කමිටු සාමාජික මහින්ද කුමාර දළුපොත මහතා පෙන්වා දෙන්නේ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රය යනු අහම්බෙන් ඇති වූවක් නොව රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉතා ක්‍රමවත්ව ගොඩනැඟුණු ආයතනික සම්ප්‍රදායක් බවයි. ඔහුගේ විග්‍රහයට අනුව මෙරට රාජ්‍ය පාලනය සහ ෙජ්‍යාතිෂය අතර පැවතියේ වෙන් කළ නොහැකි සබඳතාවකි.
“අලුත් අවුරුදු නැකැත් සකස් කිරීමේ සම්ප්‍රදාය අනුරාධපුර යුගය දක්වාම ඈතට විහිදෙනවා. එදා රජවරුන්ගේ මූලිකත්වයෙන් රජ මාලිගාවේ ප්‍රධාන ෙජ්‍යාතිෂවේදීන් සහ පඬිවරුන් එක්ව රටටම පොදු නැකැත් මාලාවක් ප්‍රකාශයට පත් කළා. මෙය හුදෙක් වේලාවන් පෙන්වා දීමක් නොව මුළු රටම එකම මොහොතක එකම දිශාවක් බලා, එකම සුබ කටයුත්තක නිරත වීම හරහා ගොඩනැඟෙන ජාතික ඒකාබද්ධතාවයි,” යනුවෙන් දළුපොත මහතා පෙන්වා දෙයි.
ඔහු තවදුරටත් සඳහන් කරන්නේ අතීතයේදී ප්‍රාදේශීය මට්ටමින් නැකැත් සීට්ටු සකස් කිරීමේ ක්‍රමවේදයක් ද පැවති බවයි. එකල සන්නිවේදන පහසුකම් අවම බැවින් ප්‍රාදේශීය විද්වත්හු තමන්ගේ ප්‍රදේශයට අදාළ වන පරිදි වේලාවන් සකස් කර ගත්හ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් සහ රාජ්‍ය පාලනය මධ්‍යගත වීමත් සමඟ මුළු දිවයිනටම බලපාන එක් ‘රාජ්‍ය නැකැත් සීට්ටුවක්’ සම්මත විය. මෙවරත් එම සම්ප්‍රදාය අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය උත්සාහ කර ඇති බව ඔහුගේ අදහසයි.
නැකැත් කමිටුව අහෝසි කිරීමේ බලපෑම
මෙම ක්‍රියාවලිය දෙස විවේචනාත්මකව බලන ප්‍රවීණ ෙජ්‍යාතිෂවේදී, විශ්වවිද්‍යාල අධ්‍යයන මණ්ඩල සභික දේශබන්දු රවිශංක සේනානායක මහතා පෙන්වා දෙන්නේ වර්තමානයේ මතුව ඇති ගැටලුවලට ප්‍රධානතම හේතුව විධිමත් නැකැත් කමිටු අක්‍රිය කිරීම හෝ අහෝසි කිරීම බවයි. රාජ්‍ය මට්ටමින් පත් කළ විද්වත් කමිටුවක උපදෙස් නොමැතිව, ඇතැම් පෙෳද්ගලික උනන්දුවක් සහිත පාර්ශ්වයන්ගේ බලපෑම මත නැකැත් තීරණය කිරීම ශාස්ත්‍රීය වශයෙන් බරපතළ හානියක් බව ඔහු පවසයි.
“නැකැත් කමිටු අහෝසි කිරීම තුළින් සිදු වූයේ විද්වත් මතය යටපත් වී වාණිජමය පරමාර්ථ ඇති ‘ලිත් මුදලාලිලාගේ’ මතය රජය තුළ ස්ථාවර වීමයි. ෙජ්‍යාතිෂය වැනි ගැඹුරු ශාස්ත්‍රයකදී තනි තනි පුද්ගලයන්ට අවශ්‍ය පරිදි නැකැත් වෙනස් කළ නොහැකියි. විශේෂයෙන්ම නොනගත කාලය තුළ කිසිදු සුබ කටයුත්තක යෙදිය නොහැකි බව ෙජ්‍යාතිෂ සිද්ධාන්තවල ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. එහෙත් නැකැත් කමිටුවල අධීක්ෂණය ගිලිහී යාම නිසා, ශාස්ත්‍රීය පදනමෙන් බැහැර වූ වේලාවන් ජනතාවට ලබා දීමේ අවදානමක් මෙවර මතු වී තිබෙනවා,” යනුවෙන් සේනානායක මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ෙජ්‍යාතිෂවේදීන් සහ රජයේ නිලධාරීන් අතර පවතින සම්බන්ධීකරණය බිඳ වැටීම නිසා ස්වාධීන මතයක් දැරීමට විද්වතුන්ට සිදුව ඇති බවයි. තම ශාස්ත්‍රීය අභිමානය පාවා දී කිසිදු දේශපාලනික හෝ වාණිජ බලපෑමකට තමන් නතු නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.
භෞතික විද්‍යාව සහ තාරකා විද්‍යාත්මක පදනම
පාරම්පරික ෙජ්‍යාතිෂවේදී මෙන්ම භෞතික විද්‍යා විශේෂඥ ඉන්දික බෙන්තර විතානගේ මහතා මෙම ගැටලුව දෙස බලන්නේ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකිනි. ඔහුට අනුව ෙජ්‍යාතිෂය යනු අහඹු දෙයක් නොව පෘථිවියේ ගමන සහ සූර්යයාගේ පිහිටීම අතර පවතින ගණිතමය සබඳතාවකි.
“සූර්ය සංක්‍රාන්තිය සිදුවන නිවැරදි මොහොත ගණනය කිරීම භෞතික විද්‍යාත්මකව සිදු කළ හැකියි. ඔවුන් ඉදිරිපත් කරන අලුත් අවුරුදු නැකැත් සීට්ටුවෙහි සඳහන් පරිදි 2026 අප්‍රේල් 14 වැනිදා පූර්වභාග 09.32ට සිදුවන අවුරුදු උදාව තාරකා විද්‍යාත්මකව වැදගත් සන්ධිස්ථානයක්. මෙහිදී සංක්‍රාන්ති කාලය හෙවත් නොනගතය ලෙස හඳුන්වන්නේ පැරණි වසරේ අපිරිසුදු දූතවයන් ඉවත් කර අලුත් වසරේ පවිත්‍රතාවට සූදානම් වන කාලයයි. මෙම සීමාවන් උල්ලංඝනය කරමින් නැකැත් සැකසීම ෙජ්‍යාතිෂයේ මෙන්ම භෞතික විද්‍යාවේ පවතින සමතුලිතතාව බිඳ දැමීමක්,” යනුවෙන් බෙන්තර විතානගේ මහතා විග්‍රහ කරයි.
2026 නිල නැකැත් සීට්ටුව ලැබුණු තොරතුරු අනුව මෙවර ප්‍රධාන චාරිත්‍රයන් මෙසේ සාරාංශ කළ හැකිය.
තෙල් වළන් ළිප තැබීම
අප්‍රේල් 05 වැනි ඉරිදා පූර්වභාග 11.08ට
අලුත් අවුරුදු උදාව:
අප්‍රේල් 14 වැනි අඟහරුවාදා පූර්වභාග 09.32 ට
පුණ්‍ය කාලය:
අප්‍රේල් 14 වැනි අඟහරුවාදා පූර්වභාග 03.08 සිට අපරභාග 03.56 දක්වා. (මේ කාලය තුළ සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල නිරත විය යුතුය.)
ආහාර පිසීම:
අප්‍රේල් 14 වැනි අඟහරුවාදා අපරභාග 10.51ට රතු පැහැති වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා, එළකිරි මිශ්‍ර බත් සහ රතු කැකුළු සහල් මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙල කිරීම සුදුසුය.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් 14 වැනි අඟහරුවාදා අපරභාග 12.06ට රතු පැහැති වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභවය සිදු කළ යුතුය.
හිසතෙල් ගෑම:
අප්‍රේල් 16 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 06.55ට රන්වන් පැහැති වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට පුවක් පත් ද තබා තෙල් හා කොහොඹ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම කළ යුතුය.
හදිසි රාජකාරී සඳහා පිටත් පිටත්වීම
අප්‍රේල් 17 වැනි සිකුරාදා පූර්ව භාග 5.38ට.
රැකීරක්ෂා සඳහා පිටත්වීම
අප්‍රේල් 20 වැනි සඳුදා පූර්ව භාග 6.27 සහ පූර්වභාග 6.50 ලෙස නැකත් දෙකක් තිබේ.
පැළ සිටුවීම :
අප්‍රේල් 23 බ්‍රහස්පතින්දා පූර්වභාග 9.01ට.
පාරම්පරිකව පැවත එන රාජ්‍ය අනුග්‍රහය ලත් නැකැත් සම්ප්‍රදාය සුරැකිය යුතු බවට මහින්ද කුමාර දළුපොත මහතා ගෙන එන තර්කය මෙන්ම, විධිමත් විද්වත් කමිටු නොමැතිව සකසන නැකැත් තුළින් ශාස්ත්‍රීය දෝෂ ඇතිවන බවට රවිශංක සේනානායක මහතා දක්වන අදහස ද අප බැහැර නොකළ යුතුය. අවසානයේදී පීඩාවට පත්වන්නේ සාම්ප්‍රදායිකව චාරිත්‍ර ඉටු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පොදු ජනතාවයි.
ප්‍රාදේශීය මට්ටමින් හෝ වේවා, ජාතික මට්ටමින් හෝ වේවා නැකැත් සීට්ටුවක් සකස් විය යුත්තේ භෞතික විද්‍යාත්මක ගණිතය සහ පෞරාණික ෙජ්‍යාතිෂ සිද්ධාන්තයන්ට අනුකූලවය. මෙම විද්වත් සංවාදය අවසානයේ අපට පසක් කර දෙන්නේ අනාගත පරපුර වෙනුවෙන් මෙම උරුමය රැක ගැනීමට නම් රජය සහ ෙජ්‍යාතිෂවේදීන් අතර යළිත් ශක්තිමත් පාලමක් ගොඩනැඟිය යුතු බවයි.
TEXT – දුමින්ද කාරියවසම්
