Tuesday, March 31, 2026
Epaper
Home Highlightsරන් පැහැ පතන මතින් දෙව්ලොවට පියවරක්

රන් පැහැ පතන මතින් දෙව්ලොවට පියවරක්

by Shanaka Lakehouse

රන්වන් හිරුරැස් විහිදෙන කඳු මුදුනක් මිනිස් සන්තානය සුවපත් කරනුයේ අපූර්ව ලෙස ය. ඒ සොබාදහමේ නිර්මාණශීලිත්වය යි. මායාව යි.

මිනිස් වාසයෙන් ඈත්ව, මීදුම් සළුවෙන් වැසුණු කඳු මුදුනක සිට නිදහසේ හුස්ම ගැනීමට රුචි ඇති ඕනෑම සංචාරකයෙකුගේ සිහිනයක් බඳු අපූරු ඉසව්වක් ඌව පළාතේ සැඟ ව පවතී. ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රදේශයට අභිමානයක් ගෙන දෙන, සංචාරක ආකර්ෂණය නොමඳ ව දිනාගත් නාරංගල කඳු ශිඛරයයි.

බදුල්ල – හාලිඇල හරහා කීනකැලේ වත්ත වෙත ළඟා වී එතැන් සිට කන්ද නැඟීම ආරම්භ කළ හැකිය. එහෙත් සෑම යහපතක් හමුවේම දුෂ්කරතාවක් පවතින බව සිහිපත් කරමින් කඳු නැඟීමේ ගමන තුළ මඳක් බෑවුම් සහිත, පටු මාර්ග මුණගැසෙයි. එයින් ආරක්ෂා වීමට සංචාරක අප සෑම විටම සැලකිලිමත් විය යුතුය. නමුත් මෙම කන්ද තරණය එතරම් අපහසු වූවක් නොවේ.

සොබාදහමේ අසිරිමත් නිර්මාණයක් වන නාරංගල මුහුදු මට්ටමේ සිට මීටර් 1500ක් පමණ උසින් පිහිටා ඇත. අනෙකුත් කඳුවලට වඩා සුවිශේෂී වන්නේ එහි ඇති රන්වන් පැහැති පතන නිසාවෙනි. කන්ද පාමුල සිට ඉහළට යත්ම මනරම්, නිල් පැහැති තේ වතු යායකි. එම යාය පසු කිරීමෙන් ඔබට දිස්වන්නේ එහි ඇති රන් පැහැති පතනය. හිරු රැස් වැටෙන විට එම පතන දිස් වන්නේ රන් පැහැති ඇතිරිල්ලක් ලෙසිනි. මෙය සැබැවින් ම ස්වභාවධර්මයේ අපූරු වර්ණ සංකලනයකි.

නාරංගල කඳු මුදුන් දෙකකින් සමන්විතය. පළමු කඳු පන්තිය සමතලා භූමි ප්‍රදේශයක් ලෙස පවතින්නේ සංචාරකයන් හට කඳවුරු බැඳීමට වඩාත් සුදුසු අයුරිනි. තවදුරටත් ඔබ කන්ද ඉදිරියට තරණය කළ පසු දෙවැනි කඳු මුදුන හමු වේ. එය තියුණු පටු තරමක් බෑවුම් සහිත ය. නමුත් මනරම් දසුන් මවන දෙව්ලොවක් බඳු වූ ස්ථානයකි. එමෙන් ම කඳු මුදුනේ සිට බලන විට මනරම්ව දිස්වන නමුණුකුල කඳු පන්තිය, ලුණුගල, මඩොල්සිම, දුන්හිඳ ඇල්ල පිහිටි නිම්නය සංචාරකයන්ගේ නෙත් සිත් පිනවති.

කඳු මුදුනෙහි කඳවුරු බඳින්නන් හට මීදුම පිරුණු කඳු පන්ති අතරින් සූර්ය උදා වීම යනු මඟ නොහැරෙන තවත් අලංකාර දසුනකි. එමෙන්ම අලුයම කාලයේ දී කඳු මුදුනට පිවිසෙන සංචාරකයන්ට ද මෙම අපූරු දර්ශනය දැකගත හැකි ය. මෙය ඡායාරූප ශිල්පීන්ට කදිම ඉසව්වක් බව මතක් කළ යුතුමය.

නාරංගල තරණය කරන ඔබ හට ලැබිය හැකි තවත් සුන්දර අත්දැකීමක් වන්නේ අංශක 360 දර්ශනය යි. එසේම දෙවන කඳු මුදුන වෙත ළඟා වීමට ඇති පටු මාර්ගය මිනිසාට ලබා දෙන්නේ වික්‍රමාන්විත හැඟීමකි. තව ද මෙවැනි ආශ්චර්යවත් පරිසරයකින් හෙබි නාරංගල කඳුවැටිය මුදුනට පය තබන සංචාරකයන්ට දැනෙන හැඟීමෙහි ස්වභාවය වදනින් විචාරිය නොහැකි බව කිව යුතු ය.

එමෙන්ම මෙම අපූරු පරිසරය විඳගන්නා ලෙස ම ඔබ මෙම පරිසරයට ආදරය කරන සංචාරකයකු වීමට ද අමතක නොකරන්න. නාරංගල යනු වඩාත් සංවේදී පරිසර පද්ධතියකි. එබැවින් ඔබ රැගෙන එන පොලිතීන්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය නැවත රැගෙන යෑමට තරම් සොඳුරු මිනිසෙකු වීමට අපට ඇති වගකීම අප විසින් ඉටුකළ යුතුමය. එනම් අප එහි ඉතිරි කළ යුත්තේ අපගේ පා සටහන් පමණි. රැගෙන ආ යුත්තේ ද එහිදී අප ලද සුන්දර මතකයන්ම පමණකි

 

TEXT – පියුනි හිමායා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?