මේ දවස්වල ගෙදරින් එළියට බැස්සම දැනෙන රස්නය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේද? හරියට අවන් එකක් ඇතුළේ ඉන්නවා වගේ.
ඒත් මේ දවස්වලම තමයි ලංකාවේ හැම පාසලකම වගේ නිවාසාන්තර ක්‍රීඩා උත්සව පැවැත්වෙන්නේ. දවල් 12ට, 1ට කන පැලෙන අව්වේ අපේ පුංචි දරුවෝ ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් කරනවා. ඒ වගේමයි මහ පාරේ, මේසන් බාස්වරුන්, කම්කරුවන් මේ අව්වේ දවස පුරාම වැඩ.
අව්වට ගියාම දාඩිය දානවා, මහන්සි වෙනවා… ඒක සාමාන්‍ය දෙයක් කියලා ඔබ හිතනවා ඇති.
නමුත්, මේ දවස්වල තියෙන අධික හිරු රශ්මිය නිසා සාමාන්‍ය මහන්සියට එහා ගියපු, තත්පර ගාණකින් මනුස්සයෙක්ව මරණයට පත් කරන්න පුළුවන් භයානක තත්ත්වයක් තියෙනවා. ඒ තමයි උෂ්ණාඝාතය එහෙමත් නැත්නම් heat Stroke කියන්නේ.
මේ දේ ගොඩක් අහන්න දකින්න ලැබෙන්නේ අධික උෂ්ණත්වයක් තියෙන රටවල්වල. හැබැයි අපේ රටෙ වුණත් අධික උෂ්ණත්වයක් තියෙන කාලෙට මේවගේ අවාසනාවන්ත මරණ එකක් හෝ වාර්තා වෙනවා. අපි බලමු මොකක්ද මේ Heat Stroke කියන්නේ කියලා.
සාමාන්‍යයෙන් අපේ සිරුර රත් වූ විට, දහඩිය දැමීම මගින් ස්වභාවිකවම සිරුර සිසිල් කරනවා. හැබැයි දැඩි හිරු රශ්මියක් යටතේ අධික ලෙස වෙහෙසෙන විට, ශරීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40C (ෆැරන්හයිට් 104) ඉක්මවලා යන්න පුළුවන් . ඒ වෙලාවට අපේ ඇඟේ ස්වභාවික සිසිලන පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී, මොළය, හදවත සහ වකුගඩු වැනි ප්‍රධාන ඉන්ද්‍රියයන්ගේ සෛල ක්ෂණිකව විනාශ වීම ආරම්භ වෙනවා. ඔයාලා දන්නවද දන්නේ නෑ අපේ ඇඟ ඇතුළේ හරි ලස්සන ක්‍රියාවලියක් වෙනවා. ඒකට කියන්නේ සමස්ථිතිය කියලා. ඉස්කෝලේ යන ළමයි නම් මේක දන්නවා. මේකෙන් තමයි අපේ ඇඟ ඇතුළේ උෂ්ණත්වය, ආම්ලික තාවය වගේ දේවල් සමබර කරලා තියාගන්නේ. මේ අපි කතා කරන තත්වයේදී අපේ ඇඟට බැරි වෙනවා මේ දේවල් සමබර කරන්න. ඒ නිසා තමයි ශරීරය අඩපණ වෙලා රෝගීන් මිය යන්නේ. මේක අතිශය භයානක තත්ත්වයක්.
Heat Stroke ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු මොනවද කියලා බලමු.
හුඟක් අය මේක සාමාන්‍ය කලන්තයක් එක්ක පටලවා ගන්නවා. නමුත් Heat Stroke එකකදී දකින්න ලැබෙන පැහැදිලි වෙනස්කම් තියෙනවා.
දාඩිය දාන්නේ නෑ
මේක තමයි භයානකම ලක්ෂණය. ඇඟ ගිනි ගහන රස්නයක් තිබුණත්, සමේ දාඩිය බිඳුවක්වත් නෑ. සම රතු වෙලා, වියළිලා තියෙන්නේ.
සිහිය විකල් වීම
දරුවා හෝ පුද්ගලයා අමුතු විදියට හැසිරෙනවා. අහන දේට උත්තර දෙන්න බෑ, වැනි වැනී ඇවිදිනවා, කතාව පැටලෙනවා.
වලිප්පුව /ෆිට් එක
එකපාරටම බිම වැටිලා, ඇස් උඩ ගිහින් ෆිට් එක හැදෙනවා.
හුස්ම ගැනීම වේගවත් වීම සහ පපුව ගැහීම.
සිහිය නැති වී යාම
මෙහෙම දෙයක් වුණොත් අපි මොනවද කරන්න ඕනි? පළමු පැය ඇතුළත ඔයා ක්‍රියාත්මක වුණොත් ජීවිතය බේරගන්න පුළුවන් !
ඔබේ දරුවාට හෝ එළිමහනේ වැඩ කරන කෙනෙකුට මේ ලක්ෂණ ආවොත්, වතුර බොන්න දීලා ආයෙත් වැඩ කරවන්න හරි සෙල්ලම් කරන්න හරි යවන්න එපා. මෙය වහාම රෝහල්ගත කළ යුතු හදිසි වෛද්‍ය තත්ත්වයක්
රෝහලට ගෙනියන ගමන් හෝ ඇම්බියුලන්ස් එක එනකම් මේ දේවල් අනිවාර්යයෙන්ම කරන්න.
වහාම ඔහුව/ඇයව සෙවණ ඇති, වාතාශ්‍රය ලැබෙන තැනකට අරන් යන්න.
ඇඳගෙන ඉන්න තද ඇඳුම් (ටයි පටි, සපත්තු, මේස්) ගලවා ඉවත් කරන්න.
ශරීරය ඉක්මනින්ම නිවන්න. අයිස් වතුරෙන් පොඟවපු රෙදි කඩකින් මුළු ඇඟම පිසදමන්න. විශේෂයෙන්ම බෙල්ල, කිහිලි සහ ඉකිලි ප්‍රදේශවලට අයිස් පැක් එකක් රෙදි කඩකින් ඔතලා තියන්න. හැබැයි එක පාරම අයිස් වතුර බොන්න දෙන්නවත් ඇඟට අයිස් වතුර හලන්නවත් යන්න එපා.
පවන් ගසන්න හෝ ෆෑන් එකක් ළඟින් තියන්න.
සිහිය නැත්නම් කටින් වතුර පොවන්න එපා.
(වතුර පෙණහලුවලට ගොස් හුස්ම හිරවිය හැකිය).
දරුවන්ව සහ අපි බේරෙන්නේ කොහොමද?
ගුරුවරුනි, මවුපියනි මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න.
දරුවන්ට ස්පෝට්ස් මීට් ප්‍රැක්ටිස් තියෙනවා නම්, උදේ 10ට පෙර හෝ සවස 4න් පසු කාලය යොදාගන්න.
තිබහ එනකම් ඉන්න එපා. විනාඩි 20න් 20ට වතුර බොන්න දරුවන්ට පුරුදු කරන්න. Alarm එකක් තියලා හරි වතුර බොන්න කියලා කියන්න.
අනිවාර්යයෙන්ම හිස් වැස්මක් / තොප්පියක් පලඳින්න.
ළා පැහැති, කපු ඇඳුම් අන්දවන්න.
ක්‍රීඩාව දරුවන්ට වැදගත්. ඒත් ඒ දරුවන්ගේ ජීවිත ඊට වඩා ලක්ෂ ගුණයක් වටිනවා. මේ තියෙන අධික උෂ්ණත්වයත් එක්ක සෙල්ලම් කරන්න එපා.
“මිස් , අපේ අප්පච්චි කුඹුරේ වැඩ කරලා ඇවිත් . ‘පුදුම රස්නයක් තියෙන්නේ’ කියලා කෙළින්ම ගියේ නාන කාමරයට . එයා ෆ්‍රිජ් එකේ තිබ්බ අයිස් වතුර බෝතල් දෙකකුත් බාල්දියට දාගෙන එකපාරටම ඔළුවට හලාගෙන තියෙනවා. නාලා ඉවරවෙනකොටම පපුව අල්ලගෙන එළියට ආපු අපේ අප්පච්චි අපේ ඉස්සරහම බිම වැටුණා මිස් …”
මේ දවස්වල තියෙන අධික රස්නයත් එක්ක අපිට තියෙන ලොකුම ආසාව තමයි ගෙදර ආපු ගමන් සීතල වතුර බාල්දියක් ඔළුවටම හලාගෙන නාන එක.
නමුත් ඔබ දන්නවාද? මේ දිනවල හදිසි ප්‍රතිකාර ඒකකයට ගෙන එන හදිසි හෘදයාබාධ සහ හදවත නතරවීම්වලට මෙයත් හේතුවක් වෙලා තියෙනවා කියල . මේ “එකපාරටම සීතල වතුර නෑම” කියන අපේ නොදැනුවත්කමයි. ඉතින් අපි මේ ගැනත් දැනුවත් වෙමු .
අව්වේ ඉඳලා ඇවිත් එකපාරටම අධික සීතල වතුර ඇඟට වැටෙනකොට ශරීරය ඇතුළේ සිදුවන “හදිසි කම්පනය” (Cold Shock Response) නිසා මරණය පවා සිදුවිය හැකියි. මේක ඇඟ ඇතුළේ සිදුවෙන්නේ කොහොමද කියලා අපි සරලව තේරුම් ගනිමු.
අව්වේ ඉන්නකොට ඔබේ ඇඟේ ලේ නහර
ඔබ අධික රස්නයේ, අව්වේ ඉන්නකොට ඔබේ ඇඟේ උෂ්ණත්වය පිටකරන්න සමට යටින් තියෙන ලේ නහර හොඳින් පළල් වෙලා තියෙන්නේ. ඒ වෙලාවට හදවත ගැහෙන්නේ බොහොම නිදහසේ.
සීතල වතුර වැටුණු ගමන් සිදුවන කම්පනය
ඔබ ගෙදර ආපු ගමන්, ඇඟේ රස්නයවත් යන්න කලින් සීතල වතුර බාල්දියක් ඔළුවට හෝ ඇඟට හලාගත්තම, ඒ අධික සීතල නිසා අර පළල් වෙලා තිබුණු ලේ නහර සියල්ලම තත්පර ගාණකින්, එකපාරටම හැකිළෙනවා (Sudden Vasoconstriction එකක් වෙනවා)
මෙන්න මෙතැනදි තමයි ඛේදවාචකය පටන් ගන්නේ
ඇඟේම තියෙන ලේ නහර විශාල ප්‍රමාණයක් එකපාරටම හැකිළුණාම, ඇඟේ රුධිර පීඩනය තත්පර කිහිපයක් ඇතුළත අහස උසට නඟිනවා.
හදවතට මොකද වෙන්නේ?
ලේ නහර හීනි වෙලා රුධිර පීඩනය එකපාරටම වැඩි වුණාම, ඒ ලේ ටික ශරීරය පුරාම පොම්ප කරන්න ඔබේ හදවතට ලොකු සටනක් දෙන්න වෙනවා. හදවතේ වැඩ කරන වේගය ක්ෂණිකව ඉහළ යනවා. ඔබට අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, හෝ ඔබවත් නොදන්නා දුර්වල හදවතක් තිබුණොත්, මේ හදිසි පීඩනය දරාගන්න බැරුව හෘද පේශි අක්‍රිය වී හෘදයාබාධයක් හෝ හදවත සම්පූර්ණයෙන්ම නතර වීමක් (Sudden Cardiac Arrest) සිදුවෙන්න ගොඩක් ඉඩ තියෙනවා.
ජීවිතය බේරගන්න නිවැරදිව නිවෙන්නේ කොහොමද?
අව්වේ සිට නිවසට ආ පසු ඔබ හෝ ඔබේ දරුවා අනිවාර්යයෙන්ම මේ පියවර අනුගමනය කළ යුතුයි
වහාම නාන්න එපා
ගෙදර ආපු ගමන් බාත්රූම් එකට දුවන්න එපා. විදුලි පංකාවක් යට හෝ සෙවණක් ඇති තැනක විනාඩි 15-20ක් වාඩි වී ඇඟේ උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න දෙන්න. දහඩිය නිවෙන්න දෙන්න.
අයිස් වතුරෙන් නාන්න එපා
නෑම සඳහා හැමවිටම කාමර උෂ්ණත්වයේ ඇති සාමාන්‍ය ජලය (Room temperature water) පමණක් භාවිතා කරන්න.
නෑමේදී පහළ සිට ඉහළට – නාන විට පළමුවෙන්ම වතුර බාල්දිය ඔළුවට හලාගන්න එපා.
මුලින්ම කකුල් වලට වතුර දාන්න.
පසුව අත් වලට සහ උදරයට.
ඉන්පසු පපුවට සහ පිටට.
අවසානයට පමණක් ඔළුවට ජලය වත්කරන්න.
එවිට ශරීරයට උෂ්ණත්ව වෙනස දරාගැනීමට සහ ලේ නහරවලට ක්‍රමානුකූලව හැඩගැසීමට කාලය ලැබේ.
