Tuesday, March 31, 2026
Epaper
Home Beautyමුහුණට අමුතුම දීප්තියක්

මුහුණට අමුතුම දීප්තියක්

by Shanaka Lakehouse

අද කාලයේ සම රැකගැනීම සඳහා නවීන තාක්ෂණය භාවිත කරන සත්කාර ක්‍රම බොහෝ වශයෙන් ජනප්‍රිය වී ඇත. විශේෂයෙන්ම මුහුණේ සම පිරිසුදු කිරීම, පෝෂණය කිරීම සහ සෞඛ්‍යවත් පෙනුමක් ලබාදීම සඳහා විදුලි ධාරාවන් භාවිතයෙන් කරන සත්කාර ක්‍රම විශේෂ ස්ථානයක් ගන්නා අතර, ඒ අතරින් ගැල්වනික් සත්කාරය සහ හයි ෆ්‍රීකුවෙන්සි සත්කාරය ඉතා ප්‍රසිද්ධ වේ. මෙම සත්කාර දෙකම සමේ ගැඹුරු ස්ථරවලට ක්‍රියා කරමින් විවිධ සමේ ගැටලු අඩු කිරීමට උපකාරී වේ.

ගැල්වනික් සත්කාරය

ගැල්වනික් සත්කාරය (Galvanic Treatment) යනු රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ භාවිත වන නවීන හා විද්‍යාත්මක ක්‍රමයකි. මෙහිදී ඉතා සුළු විදුලි ධාරාවක් භාවිත කර සම පිරිසුදු කිරීම, පෝෂණය කිරීම සහ යළි සජීවී කිරීම සිදු කරයි. අද වන විට බොහෝ රූපලාවණ්‍ය ආයතනවල මෙම සත්කාරය “Galvanic Facial” ලෙස ප්‍රචලිත වී ඇත. මෙය ෆේෂල් සත්කාරයේ එක් අංගයකි.

මෙම සත්කාරයේ මූලික අදහස වන්නේ විදුලි ධාරාව භාවිතයෙන් සම තුළ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම හා පෝෂක ද්‍රව්‍ය ගැඹුරු ස්ථරවලට ඇතුළු කිරීමයි. මෙහිදී විශේෂයෙන්ම “Desincrustation” සහ “Iontophoresis” යන ක්‍රම දෙක භාවිත කරයි. Desincrustation ක්‍රමය මඟින් සමේ තෙල්, දූවිලි හා කුණු ඉවත් කරමින් රෝම කූප සිදුරු පිරිසුදු කරයි. Iontophoresis ක්‍රමය මඟින් විටමින් සහ සීරම් වැනි පෝෂක ද්‍රව්‍ය සම තුළට ගැඹුරට ඇතුළු කරයි.

ගැල්වනික් සත්කාරයේ ප්‍රධාන වාසිය වන්නේ සම ගැඹුරින් පිරිසුදු වීමයි. මෙම ක්‍රියාවලිය සිදුරු තුළ සිරවී ඇති අපද්‍රව්‍ය මෘදු කර ඉවත් කිරීමට උපකාරී වන අතර ඇක්නි සහ බ්ලැක්හෙඩ්ස් අඩු කරයි. එමෙන්ම මෙම සත්කාරය මඟින් සම ආරක්ෂණ නිෂ්පාදන සම තුළට වඩා හොඳින් ඇතුළු වීම නිසා ඒවායේ ප්‍රයෝජන වැඩි වේ.

තවද, රුධිර සංසරණය වැඩි වීම නිසා සමට සජීවී පෙනුමක් ලැබෙන අතර සියුම් රේඛා සහ රැලි අඩු වීමට ද උපකාරී වේ.

මෙයට අමතරව, ගැල්වනික් සත්කාරය සම සජලනය වැඩි කර සම මෘදු හා දීප්තිමත් කරයි. සමේ ඇදෙනසුලු බව වැඩි කිරීම මඟින් වයසට යෑමේ ලක්ෂණ ප්‍රමාද කරයි. නිරන්තරයෙන් මෙම සත්කාරය කරගන්නා විට සමේ වයනය සහ ස්වභාවය ද වඩා හොඳ තත්ත්වයකට පත් වේ. එහෙත්, මෙම ප්‍රතිඵල ස්ථිර නොවන බැවින් නියමිත කාල සීමාවන් තුළ නැවත සත්කාරය කරගැනීම අවශ්‍ය වේ.

කෙසේ වෙතත්, ගැල්වනික් සත්කාරය සෑම අයකුටම සුදුසු නොවේ. විශේෂයෙන්ම ගර්භිණී කාන්තාවන්, හෘද රෝග ඇති අය, පේස්මේකර් (pacemaker) භාවිත කරන අය, අපස්මාර රෝගීන් සහ සමේ ආසාදන ඇති අය මෙම සත්කාරයෙන් වැළකිය යුතුය. එමෙන්ම ඉතා සංවේදී සමක් ඇති අය සඳහා ද එය එතරම් සුදුසු නොවේ. සාමාන්‍ය මට්ටමින් කුරුලෑ ඇති අයට මෙය සුදුසු වුවත් ඉතා ගැඹුරු, වේදනාකාරී කුරුලෑ හෝ අධික කුරුලෑ කැළැල් ඇති අයට මෙය සුදුසු නොවේ. විදුලි ධාරාවක් හරහා කරන සත්කාරයක් බැවින් එවැනි තත්ත්වයන් තවදුරටත් බරපතළ විය හැකිය.

අතුරු ආබාධ ලෙස සුළු හිරිවැටීමක්, සම රතු වීම හෝ තාවකාලික වියළි බව වැනි දේ සිදුවිය හැකිය. මේවා සාමාන්‍යයෙන් කෙටි කලකින් අඩුවී යයි. එහෙත්, නිසි ආරක්ෂාව සහ පිරිසුදු උපකරණ භාවිත නොකළහොත් ආසාදනය වීමේ අවදානමක් ද ඇති විය හැකිය.

අවසානයේ, ගැල්වනික් සත්කාරය යනු සමේ සෞඛ්‍යය හා රූපලාවණ්‍යය වැඩිදියුණු කිරීමට උපකාරී වන ආරක්ෂිත සහ ප්‍රයෝජනවත් ක්‍රමයකි. නමුත්, එය නිවැරදි ලෙස හා සුදුසු පුද්ගලයන් සඳහා පමණක් භාවිත කළ යුතුය. එබැවින්, මෙම සත්කාරය කරගැනීමට පෙර සුදුසු වෛද්‍යවරයකුගේ හෝ රූපලාවණ්‍ය විශේෂඥ උපදෙස් ලබාගැනීම වැදගත් වේ.

හයි ෆ්‍රීකුවෙන්සි

මෙය ද විද්යුන් සත්කාර ක්‍රමයකි. මෙහිදී ඉතා ඉහළ තරංග (high frequency electrical current) සහිත සුළු විදුලි ධාරාවක් භාවිත කර සම සුවපත් කිරීම හා රූපලාවණ්‍ය වැඩිදියුණු කිරීම සිදු කරයි. මෙය ද ෆේෂල් සත්කාරයේ එක් අංගයකි.

මෙම සත්කාරයේදී භාවිත කරන විශේෂ වීදුරු ඉලෙක්ට්‍රෝඩයක් (glass electrode) හරහා විදුලි ධාරාව සමට යොමු කරයි. එවිට ඔක්සිජන් අණු (oxygen molecules) සමඟ ක්‍රියා කර ඕසෝන් නිර්මාණය වේ. මෙම ඕසෝන් සම මත ඇති බැක්ටීරියා විනාශ කිරීමට උපකාරී වන නිසා ඇක්නි සහ කුරුලෑ සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ.

හයි ෆ්‍රීකුවෙන්සි සත්කාරයේ ප්‍රධාන වාසිය වන්නේ ඇක්නි නාශනය කිරීමයි. සම මත ඇති බැක්ටීරියා විනාශ කිරීමෙන් කුරුලෑ ඉක්මනින් වියළී යයි. තවද, මෙම සත්කාරය රුධිර සංසරණය වැඩි කර සමට ඔක්සිජන් සැපයුම වැඩි කරයි. එම නිසා සමට සජීවී, දිලිසෙන පෙනුමක් ලැබේ.

මෙයට අමතරව, හයි ෆ්‍රීකුවෙන්සි සත්කාරය සම තද කිරීමට ද උපකාරී වේ. කොලැජන් සහ ඉලාස්ටින් නිෂ්පාදනය උත්තේජනය කිරීම මඟින් රේඛා සහ රැලි අඩු කරයි. තවද, විශාල සිදුරු සංකෝචනය කර සම සිනිඳු කරයි. තෙල් සහිත සමක් ඇති අය සඳහා මෙය විශේෂයෙන් සුදුසු වේ, මන්ද සීබම් (sebum) නිෂ්පාදනය පාලනය කිරීමට ද මෙය උපකාරී වන බැවිනි.

මෙම සත්කාරය සාමාන්‍යයෙන් මිනිත්තු 5–10 අතර කාලයක් ගත වන අතර, තද ගතියක් හෝ උණුසුම් හැඟීමක් දැනෙන්නට පුළුවන. නමුත් එය වේදනාවක් නොවේ. සත්කාරය අවසන් වූ පසු සම තරමක් රතු විය හැකි නමුත් එය ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට පත් වේ.

මෙය ද ගර්භිණී කාන්තාවන්, හෘද රෝග ඇති අය, පේස්මේකර් භාවිත කරන අය, අපස්මාරය ඇති අය සහ සිරුරේ ලෝහ බද්ධ කිරීම් ඇති අය භාවිතයෙන් වැළකිය යුතුය. එමෙන්ම ඉතා සංවේදී සමක් ඇති අය ද ප්‍රථමයෙන් උපදෙස් ලබාගත යුතුය.

අතුරු ආබාධ ලෙස වියළි බව, රතු පැහැය වැනි දේ ඇතිවිය හැකි නමුත් එය තාවකාලික වේ. සත්කාරයෙන් පසු මොයිස්චරයිසර් (moisturize) සහ සන්ස්ක්‍රීන් (sunscreen) භාවිත කිරීම වැදගත් වේ.

අවසානයේ, හයි ෆ්‍රීකුවෙන්සි සත්කාරය යනු ඇක්නි පාලනය කිරීම, සම පිරිසුදු කිරීම සහ සමේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සඳහා ඉතා ප්‍රයෝජනවත් හා ආරක්ෂිත ක්‍රමයකි. ඇක්නි විසඳුම් සඳහා ගැල්වනික් සත්කාරයට වඩා හයි ෆ්‍රීකුවෙන්සි සත්කාරය වඩා ප්‍රතිඵලදායක වේ.

 

TEXT – විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?