Monday, April 13, 2026
Epaper
Home කෙටි කතාවඅවුරුදු ඇවිත්

අවුරුදු ඇවිත්

by Shanaka Lakehouse

පාර දිගේ ඇත් ගමනින් පැමිණි කිරි පැහැති බෙන්ස් රථය පතරංග යකඩ ගේට්ටුවක් ඉදිරිපිට නැවතී දෙපාරක් නළාව හැඬවීය. විනාඩි දෙක තුනක කාල පරාසයකින් පසු දිව ආ වයස හැට පහක පමණ ගැහැනියක් විවර කළ ඒ මහා ගේට්ටුවෙන් ඇතුළු වූ රථය, පැරණි පන්නයේ විශාල නිවෙසේ පෝටිකෝව යට නිහඬව නතර විය. රියැදුරු අසුන පැත්තේ දොර විවෘත වී එළියට බැසගත් මැදි වයසේ පසුවන ලසන්ත, වටෙන් දුව ගොස් පිටුපස වම් පැත්තේ දොර ගෞරවාන්විතව විවෘත කළේය.

“ලසන්ත, ඔය බෑග් ටික සාලේ මේසය උඩින් තියන්න.”

කියාගෙන රථයෙන් බිමට බැස්ස වසුන්දරා කඩිසරව ගෙට ඇතුළු වූවාය. වෙලාව හවස තුන පමණ වුවත් පරිසරයේ පැවතියේ දරාගත නොහැකි දැඩි උණුසුමකි. ඔසරි පොටින් පවන් සලමින් වසුන්දරා ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ ඉඳගත් නිසා වහාම විදුලි පංකාව ක්‍රියාත්මක කළ ජයන්ති, සුදු හාමිනේට බොන්නට සිසිල් යමක් ගේන්නදැයි විමසුවාය.

“මට වතුර එකක් ගේන්න ජයන්ති. ඇඟ හෝදගෙන කාලම ඉන්නවා. හරි බඩගිනියි. මේ ගිනි අව්වේ එහාට මෙහාට ඇවිදලා මට නිකම් කරකැවිල්ල වගේ දැනෙනවා. ලසන්තටත් කන්න දෙන්න. ජයන්ති කාලද ඉන්නේ?” වසුන්දරා විමසුවාය.

“ඔව්, බලා ඉඳලා මම කෑවා. ටවුමේ පුදුම සෙනඟක් ඇති නේද සුදු හාමිනේ?” ජයන්ති ඇසුවේ පීරිසියක තබාගෙන ආ වතුර වීදුරුව වසුන්දරා අතට දෙන ගමන්ය.

“පුදුම සෙනඟක් ජයන්ති. කොහෙන් එන සෙනඟද දන්නේ නැහැ. බැංකුවට ගියා, එතැනත් දිග පෝලිමක්. මම නම් හැමදාම යන කඩයට ගිහින් අපි දෙතුන්දෙනාට ඇඳුම් තෝරාගෙන ආවා මිසක් කඩ ගානේ රිංගන්න ගියේ නැහැ. අනිත් බඩු ටික ලසන්ත අරගෙන එනකම් මම වාහනයට වෙලා වාඩි වෙලා හිටියා. ලසන්තගේ දරුවන්ටයි නෝනටයි ඇඳුම් ගන්න කියලා මම සල්ලි දුන්නා. කිරි කපන කට්ටියට ඇඳුම් ගන්න කලින්ම සල්ලි දුන්න එක හොඳට ගියා. මට දැන් ඕවා පස්සේ දුවන්න බැහැ ජයන්ති. මිනිස්සුන්ට සල්ලි නැහැ කිවුවට රෙදි කඩවල පෝලිම දැක්කම පුදුම හිතෙනවා.”

“හුඟක් මිනිස්සු රෙදි කෑල්ලක් ගන්නේ අවුරුද්දට විතරයිනේ. වැඩ කරන තැන්වලින් බෝනස් එහෙමත් හම්බවෙනවා කියන්නේ. ඉතින් වන්දනාවේ යන්න වගේ රෙදි කඩවලට රිංගනවා ඇති.” ජයන්ති කීවේ හිස් වීදුරුව අතට ගන්නා ගමන්ය.

“එක අතකට අපිට ඕවයේ ගාණක් නැති වුණාට දරු මල්ලෝ නෑදෑයෝ ඉන්න අයට අවුරුද්දක් ලබනවා කියන්නේ සතුට ගේන දෙයක්.” සුසුමක් හෙළූ වසුන්දරා ගෙතුළට ගියේ ඇඳුම් මාරු කර ඇඟ සෝදාගැනීමටය.

උදේ හත, හතහමාර වන තුරු නිදාගැනීම වසුන්දරාගේ සිරිත වුවත්, ඇය නැඟිටීමට පෙර මුළු නිවෙසම අතු පතු ගා උදේ කෑම මේසයට ඇර ජයන්ති බලා සිටින්නේ උණු උණුවේම කිරි කෝපි එක සාදා දෙන්නටය. ඒත් එදා ජයන්ති පුදුම වූයේ හය හමාරටත් කලින් කුස්සියේ දොරකඩ පෙනී සිටි වසුන්දරා දැකීමෙනි.

“ඇයි සුදු හාමිනේ, නින්ද ගියේ නැද්ද?”

“කොහේ නිදාගන්නද? කන ළඟින්ම වගේ උණ වෙඩි පත්තුවෙන්න ගත්තනේ.”

“ඔය රමණිලගේ ගෙදර පොඩි එවුන්. ඊයේ හවස ඉඳලම මම දැක්කා උණ බටයක් වට කරගෙන ගිනි පිඹිනවා. රමණිගේ නඩේම අවුරුද්දට ගමට ඇවිල්ලා. දරුවොයි, දරුවන්ගේ දරුවොයි එකතු වුණාම රමණිට ගෙදරම අවුරුදු උත්සවයක් වුණත් තියාගන්න පුළුවන්.”

ජයන්ති හදා දුන් කිරි කෝපි එකත් අරගෙන ඉස්තෝප්පුවට ගිය වසුන්දරා හාන්සි පුටුවේ ඉඳගත්තාය. ලසන්ත මිදුල අතුගායි. වේළුණු කොළ සර සර ගා මිදුල පුරා දුවයි. ඒ එක කොළයකටවත් බේරී යන්න නොදෙන ලසන්ත ඉදලෙන් මට්ටු කර මිදුලේ තැන තැන ගොඩවල් ගසයි. අඹ ගස්වල අඹ පිරිලාය. තාප්පය අයිනේ ඇති අඹ ගස් බදු ගන්නට කීපදෙනෙක් ආවත් වසුන්දරාට දෙන්නට හිත දුන්නේ නැත. පාරට වැටෙන ගෙඩි අහල පහල ළමුන්ටත් ඉතිරිය කුරුල්ලන්ට, ලේනුන්ට හා වවුලන්ටත් වෙන්කර තබන්නට වසුන්දරා කැමැතිය.

අඹ ගස්වලට වසුන්දරාට වඩා වයසය. පුංචි කාලයේ අයියලා තුන් දෙනාටත්. වසුන්දරාටත් තාත්තා අඹ කපා දෙන්නේ ඉදුණු අඹ කූඩයක් ළඟ තබාගෙනය. ඒත් ඉඳහිට කන අඹයක දැන් ඒ රසය නැත්තේ ඇයිදැයි වසුන්දරාට සිතාගන්නට බැරිය. පාර පැත්තෙන් වීසිවී ආ පොලු කෑල්ලක් අඹ වල්ලකට වැදී අඹ පොකුරක් වීසි වන අයුරු වසුන්දරා බලා සිටියාය. අඹ වල්ල වැටෙනවාත් එක්කම කලබල වූ ලසන්ත ගේට්ටුව ඇරගෙන පාරට පැන කොල්ලන් රොත්තක් පසුපස පන්නා දැමුවේය. කොල්ලන් රැළම රිංගා ගත්තේ රමණිගේ වත්තටය. වසුන්දරාට හිනහය. ඒ රමණිගේ මුනුපුරන් වන්නට ඇත.

“මූං නම් කොල්ලෝ නෙවෙයි මාරයෝ.” ඉදලත් වනමින් ලසන්ත ගේට්ටුව වසා දැමුවේ රමණිලාට බණිමිනි. “ඔන්න ඔහේ කමක් නැහැ ලසන්ත. පොඩි එවුන් නේ.” වසුන්දරා පැවසුවාය.

කම්මැළිකමට දුරකතනය අතට ගත් වසුන්දරා එහි උඩ පහළ ගියාය. අවුරුදු සුබ පැතුම්, අවුරුදු සින්දු, වෙළඳ වාසි, ගවුම් මෝස්තර විතරක් නොව රස කැවිලි සාදන පහසු ක්‍රමවලින් දුරකතනය පිරිලාය. “අපිත් තෙල් තාච්චියක් ළිපේ තියන්නේ නැද්ද සුදු හාමිනේ?” ජයන්තිගේ හඬින් හිස ඔසවා බැලූ වසුන්දරා මොහොතක් නිහඬව සිටියාය. “අපි දෙන්නටම සීනි, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්. ඒත් මොනවා කරන්නද? කොකිස් ටිකක්වත් හදමු.”

දහවල් කෑමෙන් පස්සේ ලසන්ත සූදානම් වූයේ වේලාසන ගෙදර යාමටය. හාල්, පොල්, සිල්ලර තුනපහ පමණක් නොව සැලකිය යුතු මුදලකුත් වසුන්දරා ලසන්ත අත තැබුවාය. ලසන්තත් නික්ම ගිය පසුව නිවෙසේ රජයන්නට වූයේ වෙනදා නොදැනුණු පාළුවකි. බාහිර පරිසරය නැවුම් බවකින් කුළුගැන්වී තිබුණත් වසුන්දරාට දැනුණේ තමන් දෙදෙනා පමණක් හුදකලා දූපතක තනිවී ඇති බවකි. තැනින් තැන රතිඤ්ඤා පිපිරෙන සද්දය, සුළඟට මුසුවී එන කැවිලි සුවඳ, ඈතින් ඇසෙන අවුරුදු ගීත පමණක් නොව වත්තේ නැවතී සැරින් සැරේ අවුරුදු මතක් කරන කොහාගේ සද්දයද අයිති වන්නේ ඒ දූපතෙන් එහා ලෝකයටය.

වසුන්දරා ඇඳේ ඇලවුණේ මහන්සියට නොව පාළුවටය. රමණිලාගේ ගෙවල් පැත්තෙන් ඇසෙන බිලිඳු හඬකින් ඇගේ හදවතේ සියුම්ම තැනක් පහුරු ගානවා වගේ දැනුණෙන්, ඇය ඇඳ විට්ටමට හේත්තු වූවාය.

වසුන්දරා, පුතුන් තිදෙනෙකුට පසුව සිරිමාන්න පවුලට ලැබුණු එකම දියණියයි. විදුහල්පතිවරයකු වූ තාත්තාත්, ගුරුවරියක වූ අම්මාත් ඇයව ඇහැක් වගේ බලාගත්තේ පවුලේ ගෞරවය ලෙස සලකමිනි. අයියලා තුන්දෙනා කොළඹ ඉගෙන ගත්තත් වසුන්දරා අසල නගරයේ පාසලට ගියේ අම්මා එහිම ගුරුවරියක වූ නිසාය.

කුඩා වසුන්දරා පාසල් ගොස් නි‍ෙවසට ආවේ අල්ලපු වත්තේ රමණී සමඟ සෙල්ලම් කිරීමටය. රමණිලාගේ මවුපියන්ට සිටි එකම දරුවා ඇයයි. පසුව රමණී රෙදි වියන තැනක වැඩට ගොස් විවාහ වන විට වසුන්දරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරී සිටියාය. විශ්වවිද්‍යාලයේදී පවා වසුන්දරාට පෙම්වතෙක් සොයාගැනීමට බැරි වූයේ අම්මා ලබා දුන් ‘පෙළපත සහ ගෞරවය’ පිළිබඳ දැඩි උපදෙස් මාලාව නිසාය.

අවසානයේ වසුන්දරා විශ්වවිද්‍යාලයෙන් පැමිණියේද තනිකඩවය. ඇය ගුරුවරියක ලෙස සේවය කරද්දී රමණීගේ පවුල දරුවන් හය දෙනෙක් දක්වාම පුළුල් විය. කාලය කාටත් හොරා ගෙවී ගියේය. වසුන්දරාට අවුරුදු හතළිහ වන විට අයියලා විවාහ වී රට හැර ගොස් තිබුණි. ඉන්පසු එළඹියේ අම්මාත් තාත්තාත් ලෙඩ වෙන කාලයයි. ඔවුන්ගේ සත්කාර කරද්දී වසුන්දරාට තේරුණේ තමන්ව හිතාමතාම ගෙදර රඳවාගත් බවකි. වයස අවුරුදු හැටේදී ඇය විශ්‍රාම ගත්තේ මෙණෙවිියක් ලෙසමය.

දෙදෙනාම එක්වී කොකිස් ටික බැදගන්නා විට රෑ දහයද පසුවෙලාය. කොකිස් බදිද්දී හැමූ තෙල් සුවඳ නිවෙස පුරා විහිදුණේ එතෙක් අරක්ගෙන තිබූ පාළුව පලවාහරින්නට මෙන්ය. පසුදා අවුරුදු උදාවිය. ජයන්ති සමඟ පන්සල් ගොස් ආ වසුන්දරා නැකතට ආහාර අනුභව කළාය. නැකතට ගම පුරාම රතිඤ්ඤා පත්තුවූවත් වසුන්දරාලාගේ නිවෙසේ පමණක් නිහඬතාව රජ කළේය. ඒ අඩුව පුරවන්නට මෙන් රමණිලාගේ නි‍ෙවසින් ඉහළ නැඟි අහස් කූරු කිහිපයක් වසුන්දරාලාගේ වහලය උඩින් පුපුරා ගියේය.

දහවල් කිරිබත් කෑ පසු වසුන්දරා හාන්සි පුටුවේ දිග ඇදුණාය. ජයන්ති පඩිය උඩ වාඩිවී බණ පොතක් කියවයි. ඇහැ පියවීගෙන එද්දීම වසුන්දරාට ඇහැරුණේ ගේට්ටුවේ කොක්ක පන්නන සද්දයටය. ආවේ රමණිය. ඇය අතේ සුදු රෙද්දකින් වැසූ කැවිලි පිඟානකි. ඒ පස්සෙන් පොඩි කොලු කෙලි පෙරහැරකි.

“රමණිට අවුරුදු ජයයි වගෙයි.” වසුන්දරා සිනාසෙමින් පැවසුවාය.

“අනේ මොන ජයක්ද සුදු හාමිනේ. මෙන්න මේ ළමයි ටික ගෙදර ඇවිත් ඉන්නවා.” රමණී පැවසුවේ සතුටිනි. ඒ අතර රමණී සමඟ පැමිණි දරුවන් මිදුලේ අඹ ගස්වල එල්ලෙමින්, කොටු පනිමින් සෙල්ලම් කරන්නට වූහ. මෙතෙක් එන්නට අමතකව තිබූ අවුරුදු වසුන්දරාලාගේ වත්තට ඇවිත් ඇත්තේ දැන්ය.

“ජයන්ති, මේ දරුවන්ටත් එක්ක තේ ටිකක් වක්කරන්න. අපි හදපු කොකිසුත් ගේන්න.”

වසුන්දරාගේ හඬේ තිබුණේ අලුත් ජීවයකි. ජයන්ති ද සිනා පිරි මුහුණින් යුතුව ගෙතුළට ගියේ වසර ගණනාවකට පසු නිවෙසට පැමිණි ඒ සජීවී අවුරුදු සිරිය මහත් ආදරයෙන් වැලඳ ගනිමිනි. අවසානයේ, පාළු වූ ඒ මහා නිවෙස කුඩා දරුවන්ගේ සිනා හඬින් සහ අවුරුදු සිරියෙන් පිරී ගියේය.

 

TEXT – ෂර්මිලා බංදුනී දංවත්ත

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?