වර්තමාන සමාජය තුළ වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකු මුහුණ දෙන ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවක් බවට හෘද රෝග පත්ව තිබේ. විශේෂයෙන්ම තරුණ පිරිස් අතර හෘදයාබාධ ඉහළ යාම දැඩි කතාබහට ලක්වන මාතෘකාවකි. බොහෝ දෙනෙකුට පවතින ගැටලුවක් වන්නේ තමන් කළ පරීක්ෂණ සාමාන්‍ය වුවත් හදිසියේම හෘදයාබාධ ඇතිවන්නේ කෙසේද යන්නයි. මේ පිළිබඳව සහ හෘද රෝග හඳුනාගැනීමට ඇති නවීන පරීක්ෂණ පිළිබඳව වෛද්‍යවරයකුගේ අදහස් විමසමින් වෛද්‍ය කාවින්ද ජයවර්ධන සමඟ සිදු කළ සාකච්ඡාවකි.
ඩොක්ටර්, බොහෝ දෙනෙක් පවසන දෙයක් තමයි තමන් ECG එකක් කළා, ඒක සාමාන්‍යයි. නමුත් පපුවේ වේදනාව තියෙනවා කියලා. ECG පරීක්ෂණයකින් පමණක් හෘද රෝගයක් සම්පූර්ණයෙන්ම හඳුනා ගත හැකිද?
ඇත්තටම මේක ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක්. ECG එකක් කියලා කියන්නේ ඔයාගේ හදවතේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන ටෙස්ට් එකක් විතරයි. යම් කෙනෙකුට හෘදයාබාධයක් තියෙන අවස්ථාවක ECG එකේ වෙනස්කම් පෙන්වන්නත් පුළුවන්, සමහර වෙලාවට එහෙම නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ECG එක සාමාන්‍ය වුණා කියලා කෙනෙකුට හෘද රෝගයක් නැහැ කියලා ස්ථිරවම කියන්න බැහැ.
ඔයාට හදවතේ මාංශ පේශිවල ශක්තිය සහ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම 2D Echo පරීක්ෂණයක් කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේම හදවතේ රුධිර වාහිනීවල සෞඛ්‍යය සහ ක්‍රියාකාරීත්වය තක්සේරු කරගන්න නම් ඇන්ජියෝග්‍රෑම් (Angiogram) ටෙස්ට් එකක් කරන්න වෙනවා. රුධිර ප්‍රවාහය ඉතාමත් නරක මට්ටමක තිබුණොත් විතරයි ECG සහ Echo පරීක්ෂණවලින් ඒක පෙන්වන්නේ. රුධිර ප්‍රවාහය තරමක් හොඳට තියෙනවා නම් ඒ ටෙස්ට් දෙකම සාමාන්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා ගැඹුරින්ම ගැටලුවක් තියෙනවාද බලන්න ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂාව වැදගත් වෙනවා.
හෘද රෝගීන් සඳහා සිදු කරන පරීක්ෂණ කිහිපයක් ගැන ඔබ සඳහන් කළා. ඒ පරීක්ෂණ මොනවාද සහ ඒවා සිදු කරන්නේ කුමන අවස්ථාවලදීද?
ප්‍රධාන වශයෙන් අපි පරීක්ෂණ හතරක් පහක් ගැන මෙහිදී අවධානය යොමු කරනවා. රෝගියකුගේ තත්ත්වය අනුව වෛද්‍යවරයා විසින් නියම කරනු ලබන එම පරීක්ෂණ මෙසේ හඳුනාගත හැකියි.
ECG පරීක්ෂණය
මෙහිදී මූලිකවම සිදු කරන්නේ හදවතේ විද්‍යුත් සංඥා (Electrical signals) සහ එහි රිද්මය පරීක්ෂා කිරීමයි.
2D Echo පරීක්ෂණය
හෘද මාංශ පේශිවල ශක්තිය සහ හදවතේ සමස්ත ක්‍රියාකාරීත්වය (Heart function) නිරීක්ෂණය කිරීම සඳහා මෙම පරීක්ෂණය භාවිත කරනවා.
Angiogram (ඇන්ජියෝග්‍රෑම්) මෙහිදී විශේෂ ඩයි (Dye) වර්ගයක් රෝගියාගේ නහරයට එන්නත් කර, සීටී ස්කෑන් යන්ත්‍රයක් ආධාරයෙන් හදවතේ රුධිර වාහිනී හෙවත් ධමනිවල අවහිරතා පවතීදැයි පරීක්ෂා කරනු ලබනවා. වර්තමානයේ ‘CT ඇන්ජියෝග්‍රෑම්’ පරීක්ෂණත් බහුලව සිදු කරනවා. මෙම පරීක්ෂණ වාර්තා මත පදනම්ව තමයි රෝගියාට බයිපාස් (CABG) සැත්කමක් හෝ ඇන්ජියෝප්ලාස්ටි (Angioplasty) ප්‍රතිකාරයක් අවශ්‍ය දැයි වෛද්‍යවරුන් තීරණය කරන්නේ.
Troponin I (ට්‍රොපොනින් අයි) පරීක්ෂණය
මෙය ඉතාමත් තීරණාත්මක රුධිර පරීක්ෂණයක්. හදිසි ප්‍රතිකාර ඒකකයට ගෙන එනු ලබන, හෘදයාබාධයක ලක්ෂණ පෙන්නුම් කරන රෝගියකුට තමයි මෙය සිදු කරන්නේ. සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ මතු වී පැය 2ත් 6ත් අතර කාලයේදී මෙය සිදු කෙරෙනවා.
සාමාන්‍ය පුද්ගලයෙක් හෘදයාබාධයක රෝග ලක්ෂණ ලෙස හඳුනාගත යුත්තේ මොනවාද?
හෘදයාබාධයකට ලක්වෙන රෝගියෙක්ගෙ පොදු රෝග ලක්ෂණ අපි දැනගෙන සිටීම ජීවිතයක් බේරාගන්න උදවු වෙනවා. විශේෂයෙන්ම වම් අත පැත්තේ ඇතුළු බෙල්ල ආශ්‍රිතව සහ පපුව ආශ්‍රිතව එන තද වේදනාව ප්‍රධානයි. ඊට අමතරව හුස්ම ගැනීමේ අපහසුතාවක්, වමනය යන ස්වභාවය, ක්ලාන්ත ගතිය වගේම ඇඟෙන් අධික ලෙස දාඩිය දාලා පපුවේ වේදනාවක් එනවා නම් ඒ ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.
දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් හෘද පරීක්ෂණවලට බාධාවක් වෙනවාද? සහ එම රෝගීන් සැලකිලිමත් විය යුත්තේ ඇයි?
දියවැඩියාව හෝ රුධිර පීඩනය තියෙන අයට පරීක්ෂණ කරන එකේ කිසිම බාධාවක් නැහැ. හැබැයි දියවැඩියාව තියෙන රෝගීන් සම්බන්ධයෙන් විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි “සයිලන්ට් එම්.අයි.” (Silent MI) කියන තත්ත්වය. මෙහිදී රෝගියාට ශරීරයට වේදනාවක් දැනෙන්නේ නැතුවම හෘදයාබාධයක් (Cardiac Arrest) එන්න පුළුවන් ප්‍රවණතාවක් තියෙනවා. ඒ වගේම ‘ස්ලීප් ඇප්නියා’ වැනි නිදි අපහසුතා තියෙන අයටත් හෘදයාබාධ සහ ආඝාතය (Stroke) එන්න තියෙන ඉඩකඩ වැඩියි.
පරම්පරාවෙන් හෘද රෝග පවතිනවා නම් මේ පරීක්ෂණ කළ යුත්තේ කුමන වයසකදීද? පූර්ව ආරක්ෂාව සඳහා ඔබ ලබාදෙන උපදෙස් මොනවාද?
ඇත්තටම වර්තමානයේ අපේ රටේ සහ ලෝකයේ ඇතිවෙලා තියෙන සාමාජීය වෙනස්වීම් එක්ක දැන් වයස් සීමාවක් කියලා එකක් නැහැ. බොහෝ අවස්ථාවල තරුණ පිරිස්වලටත් හෘද රෝග ඇතිවෙනවා අපි දකිනවා. ඒ නිසා පවුල් පසුබිම හෝ ජීවන රටාව අනුව අවදානමක් තියෙනවා නම් ඕනෑම වයසකදී වෛද්‍යවරයෙක් මුණගැහිලා අවශ්‍ය පරීක්ෂණ කරගන්න එක වැදගත්.
වැදගත්ම දේ තමයි අපේ ජීවන රටාවේ වෙනස්කම්. නිසි ලෙස ව්‍යායාම කිරීම, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම, සමබර ආහාර වේලක් ගැනීම සහ මානසික ආතතිය පාලනය කරගන්න එක ඉතාමත් වැදගත්. යම්කිසි සැකයක් හෝ රෝගී ලක්ෂණයක් දැනෙනවා නම් ප්‍රමාද නොවී සුදුසු වෛද්‍යවරයෙක් මුණගැහෙන්න. සෞඛ්‍යසම්පන්න පුරුදු පිළිපැදීමෙන් අපට මේ අවදානම ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්.
TEXT – චතූ වීරසිංහ
