Monday, April 13, 2026
Epaper
Home Beautyඇක්ටිව් පිම්පල්ස් නිසා පීඩා විඳිනවාද?

ඇක්ටිව් පිම්පල්ස් නිසා පීඩා විඳිනවාද?

මෙන්න ඔබට සාර්ථක විසඳුමක්

by Shanaka Lakehouse

අද තරුණ තරුණියන් අතර බහුලවම දක්නට ලැබෙන සමේ ගැටලුවක් වන්නේ කුරුලෑ සහිත සමයි. විශේෂයෙන් සැරව සහිත, වේදනාකාරී ‘ඇක්ටිව් පිම්පල්ස්’ තත්ත්වය සමේ සුන්දරත්වයට පමණක් නොව, ආත්ම විශ්වාසයටද බලපායි. මෙවැනි ගැටලු සඳහා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ භාවිත කරන ප්‍රයෝජනවත් සත්කාර දෙකක් ලෙස හයි ෆ්‍රිකුවෙන්සි සහ ගැල්වනික් සත්කාරය හඳුන්වා දිය හැකියි. ඒ ක්‍රම දෙක, එකම සත්කාරයකට යොදාගත්තොත් ලබා ගත හැකි වාසි බොහොමයි.

කුරුලෑ ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන්නේ සමේ අධික තෙල් නිෂ්පාදනයයි. සමේ රෝම කුහර, තෙල් සහ බැක්ටීරියා මඟින් වැසී යාමෙන් කුරුලෑ ඇතිවේ. එමෙන්ම හෝමෝන වෙනස්කම්, අහිතකර ආහාර රටාව සහ ආහාර ජීර්ණ ගැටලුද මෙයට බලපාන සාධක වේ. එබැවින් කුරුලෑ ප්‍රතිකාර කිරීමේදී පිටත සත්කාර පමණක් නොව, ඇතුළත හේතුද සැලකිල්ලට ගැනීම වැදගත් වේ.


සත්කාරය කරන ආකාරය

මෙම සත්කාරයේ පළමු පියවර වන්නේ මුහුණ හොඳින් පිරිසුදු කිරීමයි. ඒ සඳහා ක්ලෙන්සර් භාවිත කර දෙවරක් මුහුණ සෝදන ‘ඩබල් ක්ලෙන්සින්’ ක්‍රමය යොදාගනී. මෙයින් සමේ

තෙල් සහ දූවිලි හොඳින් ඉවත් කර, ඉදිරි සත්කාර සඳහා සම සූදානම් කරයි.

ගැල්වනික් ඝෘණ පියවර

ඊළඟට ගැල්වනික් උපකරණය ඝෘණ (Negative) පැත්තට දමා Anaphoresis ක්‍රියාවලිය සිදු කරයි. මෙහිදී සේලයින් ද්‍රාවණයෙන් තෙත් කළ ගෝස් මුහුණ මත තබා, ගැල්වනික් රෝලර් එක භාවිත කරමින් මිනිත්තු

10-15ක් මුළු මුහුණ පුරා යොදයි. මෙය සමේ අතිරේක තෙල් ඉවත් කිරීමට, ලොක්වී ඇති කුරුලෑ මෘදු කිරීමට සහ සැරව ඉවත් කිරීමට පහසු කරයි. එමෙන්ම සම මෘදු කරමින් ස්ක්‍රබ් වැනි පිරිසුදු කිරීමක්ද සිදු කරයි. මෙයින් පසුව කුරුලෑ හිමින් මිරිකා සැරව ඉවත් කිරීම සිදු කරයි. මෙම පියවරේදී විශේෂ සැලකිල්ලක් අවශ්‍ය වන අතර, නිවැරදි ක්‍රමයෙන් සිදු නොකළහොත් සමට හානි විය හැකිය. එහිදී කුරුලෑව දෙපස ටිෂූ දෙකක් තබා ඇඟිලිවලින් මිරිකා හැරීම සිදු කරයි.

ගැල්වනික් ධන පියවර

ඉන්පසු එක්ස්ට්‍රැක්ෂන් සොලුෂන් භාවිත කර සම පිරිසුදු කර බැක්ටීරියා ව්‍යාප්තිය අවම කරයි.

ඊළඟට Niacinamide හෝ Retinol වැනි සීරම් වර්ගයක් මුහුණේ ආලේප කිරීම සිදු කරයි. එම සීරම් සම තුළට හොඳින් ඇතුළු කරගැනීම සඳහා ගැල්වනික් සත්කාරයේ ධන (Positive) පියවර වන Cataphoresis ක්‍රමය භාවිත කරයි. එහිදී ද පෙර සේම සේලයින් පෙඟවූ ගෝස් මුහුණේ අතුරා ගැල්වනික් උපකරණය ධන පැත්තට දමා මිනිත්තු කිහිපයක් මුහුණ පුරා ගෙන යයි.

හයි ත්‍රීකුවෙන්සි

මෙම සියලු පියවර අවසන් වූ පසු හයි ත්‍රීකුවෙන්සි සත්කාරය යොදා ගනී. මෙය සමේ බැක්ටීරියා නාශනය කිරීමට, තුවාල ඉක්මනින් වියළීමට සහ නව කුරුලෑ ඇතිවීම අඩු කිරීමට උපකාරී වේ. එය කුරුලෑ සහිත සම සඳහා ඉතා වැදගත් පියවරක් ලෙස සැලකේ. හයි ත්‍රීකුවෙන්සි යන්ත්‍රයේ පෙන් එක වැනි කොටසට ගෝස් එකක් ගැට ගසා මුහුණ පුරා ගෙන යෑම එහිදී සිදු කරයි. ඉන්පසු Clay mask එකක් යොදාගනී. මෙය සමේ අතිරේක තෙල් උරාගනිමින් සම පිරිසුදු කරයි. එමෙන්ම සමට අවශ්‍ය මිනරල් ද ලබා දෙයි. මාස්ක් පියවර අවසන් වූ පසු ටෝනර්, oil-free මොයිස්චරයිසර් සහ සන්ස්ක්‍රීන් යොදා සත්කාරය අවසන් කරයි.

මෙවැනි කුරුලෑ සහිත සමකට මුහුණ සම්ඛාහනය කිරීම වැළැක්විය යුතුය, මන්ද එය තවදුරටත් තෙල් නිෂ්පාදනය වැඩි කළ හැකි බැවිනි.

සත්කාරයෙන් පසු

මෙම සත්කාරයෙන් පමණක් සම්පූර්ණ ප්‍රතිඵල ලබාගත නොහැකිය. නිවෙසේදී දෛනිකව තෙල් රහිත නිෂ්පාදන භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ. ක්ලෙන්සර්, ටෝනර්, මොයිස්චරයිසර් සහ සන්ස්ක්‍රීන් යන මූලික පියවර අනිවාර්යයෙන්ම පවත්වාගත යුතුය. එමෙන්ම තෙල් සහිත නිෂ්පාදන, ෆාස්ට් ෆුඩ්, සීනි වැඩි ආහාර සහ කිරි නිෂ්පාදන අධික ලෙස භාවිත කිරීම වැළැක්විය යුතුය. ආහාර රටාවද ස‍ෙම් සෞඛ්‍යයට ඝෘජුව බලපායි. එළවළු සහ පලතුරු වැඩිපුර ගන්නා අතර, ජලය ප්‍රමාණවත් ලෙස පානය කිරීම වැදගත් වේ. ආහාර ජීර්ණ පද්ධතිය සෞඛ්‍යසම්පන්නව තබාගැනීමද කුරුලෑ පාලනයට උපකාරී වේ. දිනපතා මී පැණි සහ යෝගට් උදේ හිස්බඩ ගැනීමද උදර සෞඛ්‍යයට හිතකර වේ. මෙවැනි ගැටලු උත්සන්න වූ විට වෛද්‍යවරයකුගේ උපදෙස් පැතීම වඩාත් සුදුසුය. මෙම සත්කාරය සති 2–3කට වරක් සිදු කිරීම සුදුසුය. එහෙත් නිවැරදි ප්‍රතිඵල ලබාගැනීමට නම්, සත්කාරය සමඟ නිසි දෛනික සම සත්කාරය සහ සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.

 

TEXT – විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?