Monday, April 13, 2026
Epaper
Home Highlightsසාම්ප්‍රදායික රසය නව පරපුරට

සාම්ප්‍රදායික රසය නව පරපුරට

by Shanaka Lakehouse

රස වෑහෙන දන්දිල අල දෝසි

දන්දිල එසේත් නැතිනම් රාජ අල කියන්නේ අපේ රටේ වැවෙන ඉතාම ගු ණදායක අල වර්ගයක්. නිතරම හදන අල හොද්දට එහා ගිය වෙනස්ම රසයකින් යුතු දෝසි සකසා ගන්නා ආකාරය අද අපි කියා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

(කෑලි 25-30ක් සඳහා):

දන්දිල අල ග්‍රෑමි 800-900

සීනි කිලෝ 1ක්

උකු කළ කිරි (ටින්කිරි)

ග්‍රෑමි 100-150

කුඩු කරගත් එනසාල් 5-6ක්

වැනිලා තේ හැඳි 2ක්

ලුණු තේ හැඳි 1/4 ක් පමණ

බටර් තේ හැඳි 2ක් පමණ

සාදන පිළිවෙළ

මුලින්ම පොතු ඇරගත් දන්දිල, වතුර ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් දමා තම්බාගන්න. එහි වතුරවලින් මේස හැඳි 2-3ක් වෙන් කර තබාගෙන, අල කැබලි හොඳින් පොඩි කරගන්න.

දැන් දෝසි සාදන බඳුනටම පොඩි කරගත් අල, සීනි සහ ටින්කිරි දමා හොඳින් මිශ්‍ර කරන්න. එයටම වෙන් කරගත් අල තම්බාගත් වර්ණවත් වතුර මේස හැඳි 2-3ක් එකතු කරන්න (මෙය අත්‍යවශ්‍ය නොවන නමුත් දෝසිවල පැහැය තවත් වැඩි කර ගැනීමට උපකාරී වේ).

මෙම මිශ්‍රණය මඳ ගින්දරේ නොකඩවා හැඳිගාමින් පිසගන්න. එය පිසෙන අතරතුර වැනිලා සහ එනසාල් කුඩු එකතු කරන්න. මිශ්‍රණය සාමාන්‍ය ප්‍රමාණයට ඝන වීගෙන එන විට බටර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

මිශ්‍රණය අධික ලෙස ඝන වීමට පෙර ළිපෙන් බා, බටර් තවරාගත් තැටියකට දමා තුනී කරන්න. මඳක් නිවෙන්නට හැර කෑලි ලකුණු කරගන්න. පසුව හොඳින් නිවුණු පසු කෑලි වෙන් කර පිළිගන්වන්න.

බක් මලක හැඩය දෙන බක්මී

බක් මාසයේ පිපෙන බක්මී මල හා සමාන පෙනුමක් ඇති මේ කැවිලි විශේෂය අවුරුදු මේසයට කදිමට ගැළපෙනවා වගේම හරිම රසවත්. ඒ වගේම ලස්සනයි. මුං ඇට කැවුම් මිශ්‍රණය හෝ අතිරස මිශ්‍රණය යන මිශ්‍රණ දෙකෙන්ම මෙය සකස් කරගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

බැදගත් හාල් පිටි කෝප්ප 1 1/2ක්

බැදපු මුං ඇට පිටි කෝප්ප 1ක්

පැණි කෝප්ප 1 1/2 – 2ක්

කරදමුංගු කුඩු තේ හැඳි 1/2ක්

බිත්තර සුදුමදයක්

සව් ස්වල්පයක්

බැදීමට තෙල්

සාදන පිළිවෙළ

මුලින්ම කරදමුංගු කුඩු එකතු කර පැණි උණු කරන්න. මෙය නූල් ඇදෙන ප්‍රමාණය වනතුරු උණු කරන්න එපා. උණු කළ පැණිවලින් ස්වල්පයක් පසෙකින් තබාගන්න.

දැන් බැදගත් මුං පිටි සහ හාල් පිටි, පැණි එකට ටික ටික එකතු කරමින් අඩු ගින්දරේ හොඳින් හැඳිගාන්න. පැණි මදි නම් කලින් ඉවත් කරගත් පැණිවලින් ස්වල්පයක් එකතු කර ළිප නිවාගන්න. ඉන්පසු මෙම මිශ්‍රණයෙන් කුඩා දෙහි ගෙඩියක තරමට බෝල සාදා මඳක් පැතලි කරගන්න.

මෙසේ සාදාගත් බෝල බිත්තර සුදු මදයේ තවරා, පසුව සව් දවටා ගන්න. දැන් මේවා මඳ ගින්දරේ වැඩි වේලාවක් තෙලේ බැදගන්න. එවිට සව් ඇට පිපී බක්මී මලක පෙනුම ලැබෙනු ඇත.

පැණි බේරෙන රසම රස උඳුවැල්

සිංහල අලුත් අවුරුදු මේසයේ අනිවාර්යයෙන්ම තිබිය යුතු, කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් ද එකසේ ප්‍රිය කරන කැවිල්ලක් තමයි උඳුවැල් එහෙමත් නැත්නම් පැණි වළලු කියන්නේ. නිවැරදි පදමට නිවෙසේදීම මේ රසවත් කැවිල්ල සාදාගන්නා ආකාරය අද අපි බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය

රැයක් පෙඟෙන්න තැබූ උඳු ඇට කෝප්ප 2 ක්

හාල් පිටි කෝප්ප 1 1/2 ක්

හොඳින් ඉදුණු ලොකු කෙසෙල් ගෙඩියක්

පොල් කිරි කෝප්ප 1 1/2 ක්

ලුණු තේ හැඳි 1

පැණි මිලි ලීටර් 700 ක් (කිතුල් පැණි වඩාත් සුදුසුයි)

සීනි ග්‍රෑම් 200

බැදීමට අවශ්‍ය තෙල්

සාදන පිළිවෙළ

පළමුව රැයක් පෙඟුණු උඳු ඇට, පොල් කිරි සහ කෙසෙල් ගෙඩිය සමඟ ක්‍රීම් වනතුරු හොඳින් අඹරාගන්න. එයට ලුණු සහ හාල් පිටි මිශ්‍ර කර තරමක් ඝනකමින් වැඩි මිශ්‍රණයක් සාදාගත යුතුය. මෙම මිශ්‍රණය පියනකින් වසා පැය බාගයක් හෝ පැයක් පමණ තිබෙන්නට හරින්න.

දැන් පැණි සමඟ සීනි එකතු කර උණු කරන්න. එයට වතුර ස්වල්පයක් ද එක් කර සාමාන්‍ය පදමට පැණි උණු කරගන්න. (පැණි මිශ්‍රණය අධික ලෙස ඝනකම් කරගන්න එපා). ඉන්පසු මැද කුඩා සිදුරක් සහිතව සාදාගත් රෙදි කඩකින් හෝ අයිසින් පයිපින් බෑග් එකක ආධාරයෙන් රත් වූ තෙලට වට 3-4 ක් එන පරිදි උඳුවැල් වළලු දමාගන්න.

මෙම අවස්ථාවේදී තෙල් හොඳින් රත් වී තිබීම ඉතා වැදගත්ය. උඳුවැල් දෙපැත්තම රන්වන් පැහැ වනතුරු හොඳින් බැදගන්න. පැණි මුට්ටිය ඉතා අඩු ගින්දරේ තිබියදීම, බැදගත් උඳුවැල් කෙළින්ම උණු පැණි එකට දමා පැණි හොඳින් ඉනූ පසු ඉවතට ගන්න. ඔබ කැමති නම් මේවා වැඩි කාලයක් පැණි මුට්ටියක බහා තැබිය හැකියි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?