Monday, April 13, 2026
Epaper
Home Highlightsසබරගමුවට ආවේණික හත්මාළුව

සබරගමුවට ආවේණික හත්මාළුව

by Shanaka Lakehouse

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සබරගමු පළාතට ආවේණික වූත්, ලංකාවේ බොහෝ පැතිවල පිසෙනු ලබන්නා වූත් ව්‍යංජනයක් ගැනයි මේ තොරතුරු. එක වතාවක් කාපු කෙනෙක් නම් තවත් වාරයක් කන්න දෙපාරක් හිතන්නේ නැති තරමටම රසවත්, හරිම අපූරු ආහාරයකි මෙය.

‍ෙමය “හත්මාළුව” ලෙස හඳුන්වන අංග හතකින් යුත් ව්‍යංජනයකි. අතීතයේ සිංහල අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයා වන්දනා කිරීමට මෙම හත්මාළුව පිසින බව සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ පවා සඳහන්ව තිබී ඇත. එදා සිට අලුත් අවුරුද්දට නොකඩවාම මෙම හත්මාළුව පිළියෙල කරන බව අපේ වැඩිහිටියෝ පවසති. තවත් කාරණයක් නම්, මෙම හත්මාළුව පළාතෙන් පළාතට වෙනස් විය හැකි වීමයි. එහිදී ව්‍යංජනයට එකතු කරන එළවළු වර්ග හත වෙනස් විය හැකිය. උදාහරණයක් ලෙස උඩරැටියෝ අළු කෙසෙල් වෙනුවට කහට ගෙඩි හෝ ඇඹුල් කෙසෙල් එකතු කරති. කිරි අල වෙනුවට අර්තාපල් ද, මෑකරල් වෙනුවට බෝංචි ද, වම්බටු වෙනුවට තළන බටු ද එකතු කරගනු දැකිය හැකිය. නමුත් වට්ටක්කා දලු, කොස් ඇට සහ කිරි කජු අනිවාර්යයෙන්ම සියලුම පළාත්වල එකතු කරන පොදු ද්‍රව්‍ය වේ. හත්මාළුව යනු කොළ, ගෙඩි, අල, කරල් සහ ඇට යන සියල්ලේ එකතුවකි. ඒ අනුව කිරි කජු, වට්ටක්කා දලු, කිරි අල වර්ග මෙයට යොදා ගනී. මේ සියල්ල එකට දමා සාමාන්‍ය ව්‍යංජනයක් පිසින ආකාරයට කුළුබඩු දමා මිටිකිරෙන් පිසගනු ලැබේ. වට්ටක්කා දලු එකතු කරගනු ලබන්නේ අවසානයටයි.

සමහරුන් හත්මාළුව පිස අවසානයේ තෙම්පරාදු කිරීම ද දැකිය හැකිය. කිරිබත් මේසයට නැතුවම බැරි හත්මාළුව ශ්‍රී ලාංකික අපේ අතීත සංස්කෘතික දායා දයක් ලෙස සැලකිය හැකිය. විශේෂයෙන් සබරගමු පළාතේ ජනතාව ඉහත වර්ග හත ප්‍රධාන වශයෙන් යොදාගනිති. සිංහල අවුරුදු කාලයට මෙය විශේෂයෙන් පිසිනු ලබන්නේ ඒ දිනවලට තෙල් කෑම වැඩිපුර ආහාරයට ගන්නා නිසා එම තත්ත්වයන් පාලනය කිරීමේ ගුණයක් මෙහි අඩංගු බැවිනි. එසේම නොනගත කාලයේදී කිසිම ආහාරයක් අනුභව නොකර ශරීරය දුර්වලව ඇති නිසා, නොනගතයෙන් පසුව ආහාර ගැනීමේදී මෙම හත්මාළුව එකතු කර ගැනීමෙන් ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබී නීරෝගි බව රැකේ.

තවත් පළාත්වල දේව දානවලදී ද මෙම ආහාරය පිසින බව සඳහන් වේ. මොන හේතුවකට හැදුවත් හත්මාළුව යනු රසය හා ගුණය යන දෙකම ඇති ව්‍යංජනයකි. හත්මාළුවේදී මෙන් විවිධත්වයෙන් යුතු ආහාර සංයෝජනය කිරීමෙන් මිනිස් සිරුරේ පෝෂණයට සහ යහපැවැත්මට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛනිජ, තන්තු සහ ශාක රසායනික යන සියලු පෝෂණ සංඝටක කිසිදු ඌනතාවකින් තොරව ලැබේ. එවිට කිසිදු ඌනතා රෝගයක් නොවැලඳෙන අතර මනා පෝෂණයත්, නීරෝගි බවත්, සෞඛ්‍ය ප්‍රවර්ධනයත් එකවිට තහවුරු වෙයි. එනම් හත්මාළුව යනු ආහාරයක අඩංගු විය යුතු සියලු ගුණයන් එකවිට උපරිමයෙන් අඩංගු විශිෂ්ට ආහාරයකි.

සියලුම අමුද්‍රව්‍ය නැවුම්ව නෙළාගත් ශාක ආහාර වන බැවින් හත්මාළුව පෝෂණ විද්‍යාවේ නවතම මානය වන ශාක රසායනිකවලින් ද පොහොසත්ය. මෙහිදී ගෙඩි වර්ගයක්, කරල් වර්ගයක්, ඇට වර්ගයක්, කොළ වර්ගයක්, දලු වර්ගයක්, මල් වර්ගයක් ආදී ශාකයක සෑම අංගයක්ම පාහේ අමුද්‍රව්‍ය ලෙස යොදා ගැනෙයි. එලෙස විවිධත්වයෙන් සහ විවිධ පෝෂණ වටිනාකම්වලින් යුතු නැවුම් ආහාර ද්‍රව්‍ය හතක් තෝරා ගැනීමට අමතරව, එය රස ගැන්වීම, සුවඳවත් කිරීම සහ ආකර්ෂණීය පෙනුමක් ලබා දීම සඳහා විවිධ දේශීය කුළුබඩු වර්ග රැසක් ද යොදා ගනියි. මෙම කුළුබඩුවලින් රසය, සුවඳ සහ පෙනුම පමණක් නොව විශාල පෝෂණ සංඝටක ප්‍රමාණයකුත් හත්මාළුවට එකතු වේ.

හත්මාළුව පිසගැනීම සඳහා පොල්කිරි යොදා ගන්නා බැවින් එමඟින් ද විශාල ශක්ති ප්‍රමාණයක් ශරීරයට ලැබේ. මෙහි ඇති අමුද්‍රව්‍යවල විවිධත්වය නිසාම එයට ආවේණික ලාක්ෂණික රසයක් ඇත. එක් එක් ආහාර වර්ගයේ කැබලි හැපෙන විට ඊට ආවේණික රසය දිවට දැනෙයි. ඊට අමතරව ඇඹුල් රස, කහට රස, තිත්ත රස, පැණි රස සහ ලුණු රස ආදී රස සියල්ලේ මනා සංයෝජනයක් අමුද්‍රව්‍යවලට අනුව හත්මාළුවට ලැබෙයි.

 

TEXT – මහේශිකා ධර්මසේන

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?