දිවි සිනමාවම රසිකයන්ට පාඩමක් කළ මනීෂා

සැප්තැම්බර් 16, 2020

“මා නව යෞවනියක දුටුවා. ඇයව මට පෙනුණේ පිපෙන රෝස කැකුළක්, කවියකුගේ සිහිනයක්, දිලිසෙන ආලෝක ධාරාවක්, වනේ සරනා මුවැත්තියක්, වාගෙයි.” 1942 ලව් ස්ටෝරි හෙවත් 1942 ආදර සිනමා කතාවේ දෙවිලියක් බඳු රජ්ජෝව ( රාජේශ්වරීව ) එසේ නොපෙනුණේ කාහටද? මනීෂා කොයිරාල අනූව දශකයේ බොලිවුඩ් තිරයේ රජ කළ සුරූපීම සුපිරි තාරකාවකි.

ඇසිපිය නොහෙළුවා නම් ඇය දෙවඟනකැයි සිතෙන තරමටම රූපශ්‍රීයෙන් අග්‍රප්‍රාප්ත විය. බුදුන් උපන් දේශයෙන් පැමිණ භාරතීය සිනමාව සිය අණසකට ගත් ඇය අවසන සම්බුදු දහමෙන් ජීවිතය ගැන කියූ දහම තමාගෙන්ම පිළිබිඹු කරන කැඩපතක් බවට පත් විණි.මනීෂා ඉකුත් අගෝස්තු 16 වැනිදා සැමරුවේ ජීවිතයේ පනස් වැනි වසරයි.

නේපාලයේ කොයිරාල පරපුර එරට රාජතන්ත්‍රයේ රජ පරපුරක් බඳුය. බිස්වෙෂ්වර් ප්‍රසාද් කොයිරාල එරට හිටපු අගමැතිවරයෙකි. මනීෂා ඔහුගේ පුතු ප්‍රකාශ්් කොයිරාලගේ එකම දියණියයි. ප්‍රකාශ් ද දේශපාලනඥයකි. මනීෂා කුඩා කාලයේ හැදුණේ වැඩුණේ ඉන්දියාවේ මිත්තණියගේ නිවෙසේය. ළමා වියේදී වෛද්‍යවරියක වීමට සිහින මැවූව ද දෛවය ඊට හරස් විය. ඇයට නව යෞවනියකව සිටිය දී රඟපෑම අත්හදා බැලීමට සිතක් පහළ විය. 1989 වසරේ ෆේරි භේටවුලා නේපාල සිනමා සිත්තමට දායක වූයේ ඒ නිසාය. දිල්ලි නුවරට ගොස් හමුදා පොදු පාසලෙන් උසස් අධ්‍යාපනය ඇරැඹුව ද මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස පෙනී සිටීමට පටන් ගත් පසු වෛද්‍යවරියක වීමේ ඉලක්කය අමතකකර තාරකා ලොවක අතරමං වූවාය. නව යෞවනයත් ස්වාධීනබවත් සුසංයෝග වීම වඳුරකුට දැලි පිහියක් ලැබුණා හා සමානය. සිනමා සිහිනය දකිමින් ඇය මූම්බායි පුරවරයට පියනැඟුවාය.

 

2020/09/16 තරුණි බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.