ගුවන් විදුලියෙන් විශ්‍රාම අරන් හිටියත්, මම වැඩ කරන එක නවත්වලා නැහැ

සම්මානනීය නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල
දෙසැම්බර් 2, 2020

 

කැපවීම, දරාගැනීම, අධිෂ්ඨානය, විශිෂ්ටත්වය හා පරිපූර්ණත්වය කරා පුද්ගලයකු රැගෙන යන බව වචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කළ ඇය චිත්‍රා කුමාරි කළුබෝවිල නම් විශිෂ්ට නිවේදන ශිල්පිනියයි.

දශක හතරකට ආසන්න මාධ්‍ය දිවියක සැරිසරා ලෝකයට බොහෝ වටිනාකම් දායක කළ ඇය, සිය දිවියේ මතක සමඟින් තරුණී ‘මතක මං පෙතෙහි‘ සැරිසැරුවේ මෙලෙසිනුයි.

 

චිත්‍රා කුමාරි කළුබෝවිලගේ ජීවිතය පටන් ගත් තැනින් කතාව අරඹමු නේද?

අපේ ගෙවල් තිබුණෙ මරදාන ටවර් හෝල් එක ළඟ අභයසිංහාරාමයට අල්ලපු වත්තෙ. ඒ හරියට කියන්නෙ පංචිකාවත්ත කියල. ඒක අපේ අප්පච්චිගෙ ගම.

අප්පච්චි සිමියොන් කළුබෝවිල. අම්මා උඩරට පළාතෙ කෙනෙක්, නම සෝමා කුමාරිහාමි. මට බාල නංගියි, මල්ලි දෙන්නයි.

 

අප්පච්චි වැඩ කළේ කොළඹ මහ නගර සභාවේ. අම්මා රස්සාවක් කළේ නැහැ. ඒත් දැනුම හා හැකියාව පැත්තෙන් අප්පච්චිට වඩා අම්මා ඉදිරියෙන් හිටියා. අපි ඉපදුණු පරිසරයෙ තාත්තට අප්පච්චි කියන

දරුවො හිටියෙ නැහැ. මගේ නමට කුමාරිහාමි කියල කොටසකුත් තියෙනවා. ඒවා අපිට අම්මගෙන් උරුම වුණ දේවල්. අපේ අම්මා උඩරට පරපුරක වුණත් අපි ඉපදුණේ හැදුණෙ වැඩුණෙ මේ ගෙන්දගම් පොළවෙ. ජීවත් වුණේ ලෑලි ගෙදරක. ඒ නිසා කුමාරිහාමි කියන කෑල්ල පාවිච්චි කරන්න මම කැමැති වුණේ නැහැ. ඔන්න වලව්වක හැදුණා නම් ඒ කොටස මට ගැළපෙන්න තිබුණා. මම චිත්‍රා කුමාරි කළුබෝවිල කියන නමින් තමයි ළමා පිටියෙ පටන්ම ප්‍රසිද්ධ.

කලාකාරිනියක වෙන්නට මූලික පදනම සැදෙන්නෙ කොහොමද?

අපි පදිංචිවෙලා හිටිය පන්සල් වත්ත තියෙන හරියෙ ටී. ෂෙල්ටන් පෙරේරා, එන්. ඩී. චන්ද්‍රපාල, සෝමා කාන්තා, සරලා බායි, එච්. ආර්. ජෝතිපාල, මියුලන් පෙරේරා වගේ කලා ශිල්පීන් පදිංචි වෙලා හිටියා. ඒ අය අපේ අම්මගෙයි, අප්පච්චිගෙයි හිතවතුන්. අපේ වත්තෙ ළමයි අහල පහළ තිබුණ කුඩා පාසල්වලට යද්දි අපේ අම්මා මාව යැව්වෙ කොළඹ ආනන්ද බාලිකාවට. අභයසිහාරාම ශ්‍රී සංඝරාජ සදහම් පාසලෙන් ධර්මාචාර්ය විභාගය දක්වාම මට දහම් පාසල් අධ්‍යාපනයත් ලබාදුන්නා.

මට අවුරුදු හතරෙදියි සකස්කඩය, සාරාර්ථ ශතකය, බුද්ධගජ්ජය කියෙව්වෙ. ගෙවල් ළඟ තිබුණ ප්‍රජාශාලාවෙ ළමයින්ට පන්ති පැවැත්වූණා. මම ඒ හැම පන්තියකටම ගියා.

මගේ පළමු නැටුම් ගුරුවරිය සීතා ගමගේ මහත්මිය. ඇය ධර්මසිරි ගමගේ මහතාගෙ බිරිය. එතුමිය මට දෙවැනි මව වගෙයි. පස්සෙ කාලෙක හීන්බබා ධර්මතිලක, පණීභාරත, මිනිපුර රත්නසේකර, රැජිණි සෙල්වනායගම් ආදී ගුරුවරුන්ගෙන් නැටුම් ඉගෙන ගත්තා. දෙමළ පන්තියට පවා අම්මා අපිව යැව්වා. අපි පාඩම් කළේ කුප්පි ලාම්පු එළියෙන්.

මටවත් නංගිල මල්ලිලටවත් අනාගතයේ කලාව හෝ වෙනත් රැකියා කරනව කියල අරමුණක් තිබුණෙ නැහැ. අනික අපිට තිබුණ ආර්ථික දුෂ්කරතා පිරුණ ජිවිතයත් එක්ක ඒව හීන වගෙයි. හැබැයි මට විශාල අරමුණක් තිබ්බා මේ වළෙන් අම්මයි අප්පච්චියි නංගියි මල්ලිලයි එක්ක ගොඩ එන්න ඕනෑ කියල. විශ්විවිද්‍යාලයට යන එක මගේ හීනයක්.

නමුත් උසස් පෙළ විභාගයෙන් පස්සෙ හීන හැබෑ කර ගන්නවා වෙනුවට නිතරම හිතුවේ රැකියාවක් ගැනයි.

පුංචි චිත්‍රාට ගුවන්විදුලියට පය තබන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මේ හැම දෙයකම ගෞරවය ලැබෙන්න ඕනෑ අම්මාටයි. අපේ අම්මා අපිව ගුවන් විදුලියෙ හඳමාමා වැඩසටහනට එක්ක ගියා. අම්මට ඕනෙ වුණේ එතැනට ආ ගිය, ඇසු පිරූ තැන් ඇති පුද්ගලයන්ගෙ ඇසුර අපිට ලබාදෙන්නයි.

ඒ කාලෙ ළමා ශිල්පීන්ටත් පරීක්ෂණ තිබුණා. ළමා ගායනය, නාට්‍ය, කවි, වාර්තා වැඩසටහන් සඳහා තිබුණ හැම පරීක්ෂණයකින්ම මමයි නංගියි සමත් වුණා. අපි මුලින්ම ගියේ හඳ මාමා වැඩසටහනට. අද ඉන්න හඳ මාමයි, හඳ නැන්දයි තමයි එදත් හිටියෙ. කරුණාරත්න අබේසේකර මහත්මය අන්තිමට ළමා මණ්ඩපය මෙහෙයවපු අවුරුදු දෙකේ තමයි මම ළමා ගායනට සම්බන්ධ වුණේ. ඒවා හරිම විරල අවස්ථා.

මේ දේවල් එක්කම ජිවිතයත් වෙනස් වුණාද?

එන්න එන්නම අපි ජීවත් වුණ පංචිකාවත්ත පරිසරය මට එපා වීම් ගණනාවක් සිද්ධ වුණා. මගේ බල කිරිමට අපි ඒ පරිසරයෙන් යන්න තීරණය කළා. ඒ ගිහින් අපි බොරලැස්ගමුව මොරටුව ආදි ප්‍රදේශවල තමයි පදිංචි වෙලා හිටියෙ. ඔය කාලෙ මට අර්ධකාලීන නැටුම් ගුරුවරියක් විදිහට මොරටුව ශාන්ත සෙබස්තියන් බාලිකා විද්‍යාලයේ සහ වාද්දුව රෝමානු කතොලික පාසල්වල සේවය කරන්න අවස්ථාව ලැබුණා. කැපවීමෙන් වැඩ කළ නිසා කතෝලික පරිසරයෙ මට හොඳ ගෞරවයක් ලැබුණා. මට සවස පන්තියක් කරන්නත් දේවස්ථානයේ ශාලාව දීලා තිබුණා. මම උගන්නවපු ළමයි අතර දැන් නැටුම් ගුරුවරු වෙලා ඉන්න කිහිප දෙනෙක් ඉන්නව.

නිල්මිණි තෙන්නකෝන් මගේ නැටුම් පන්තියේ හිටි ශිෂ්‍යාවක්.

මම උදේ ඉස්කෝලෙ ගිහින් හවස ගුවන්විදුලියට යනවා. එක දවසක කුසුම් පිරිස් අක්කා මට කිව්වා ‘‘නංගි සහන නිවේදිකාවන් ගන්නව ඔයා මේකට දාන්නම ඕනෑ‘‘ කියලා. ‘‘අනේ අක්කා මම නිවේදිකාවක් වෙන්න නම් කැමති නැහැ නිවේදනය කරනව බලා ඉන්න නම් ආසයි. මගේ බලාපොරොත්තුව නැටුම් ගුරුවරියක් විදිහට පත්වීම ස්ථිර කරගන්න එකයි කියල‘‘ මම පැවසුවා. ‘‘පිස්සු නටන්න එපා මෙචච්ර හොඳ කටහඬක් තියාගෙන ඔයාට හොඳ අනාගතයක් තියෙනව‘‘කියල එයා මට සැර කළා. ඒත් මම අයදුම්පත දාන එක මඟහරිමින් ඉන්නකොට කුසුම් අක්කා මට ටොක්කකුත් ඇනලයි සහන නිවේදිකාවන් බඳවා ගැනීමේ පරීක්ෂණයට අයදුම්පත දැම්මෙව්වෙ.

ගුවන් විදුලිය හැරුණම චිත්‍රාට වේදිකා නාට්‍ය තුළත් යම් ගමනක් තිබුණා නේද?

ඔය කාලෙම මම වේදිකා නාට්‍ය කිහිපයකත් රඟපෑවා.

 

2020/12/02 තරුණි පුවත්පත බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.