කුඩා ඉඩක ලස්සන ගෙවත්තකට වෙනස්ම අදහසක්

නොවැම්බර් 18, 2020

කොරෝනා වසංගතයත් සමඟම අපි හැමෝගෙම ගමන් බිමන් සීමාසහිත වුණා. අත්‍යවශ්‍යම කටයුත්තකට හැර පිටතට නොපැමිණෙන බොහෝ පිරිසක් තම නිවෙස් තුළම රැඳෙමින් රැකියා කටයුතුවල යෙදෙන්නට මේ වනවිට පුරුදු පුහුණු වී අවසානයි.

විශේෂයෙන් ම නාගරිකව ජීවත්වන බොහොමයක් දෙනාට තම ගෙතුළින් පිටතට පවා පැමිණීමට නොහැකි වෙලා. ඒ නිසා තමන්ට නොසිතූ මොහොතක හිමි වූ මේ කාල වේලාව ප්‍රයෝජනවත් අන්දමින් ගත කිරීමට ඔවුන්ට අවස්ථාව උදාවුණා. මෙහිදී කෙනකු තම විනෝදාංශය ලෙස පතපොතට යොමු වීම, අන්තර්ජාලයේ සැරිසැරීම වැනි දෑ තෝරා ගත් අතර තවත් කෙනකුගේ විනෝදය වූයේ වගාවට යොමු වීමයි.

නමුත් ගමක ජීවත්වන පුද්ගලයකුට තම නිවෙස වටා තරමක් විශාල ගෙවත්තක් පිහිටා තිබුණද නගරාසන්න නිවාස බොහොමයකට ඇත්තේ කුඩා ඉඩකඩකි. තව තවත් නගරය තුළට වන්නට තට්ටු නිවාස, නිවාස සංකීර්ණ ආදියේ ජීවත්වන්නවුන් හට ගෙමිදුලක් දක්නට නොලැබෙන අතර ඔවුන්ගේ ගෙමිදුල බවට පත් වන්නේ කුඩා සඳැල්ලක් එහෙමත් නැතිනම් පටු කොරිඩෝ තීරුය. නමුත් වගාවට සිතැත්තකුට ඒ කුඩා ඉඩ වුවද ප්‍රමාණවත් බව හැඟෙන්නේ මෙවැනි පින්තූර දකින විටදීය. බලන්න කුඩා ඉඩකඩක වුවද මේ විදිහට වගා කළහොත් අපූරු අස්වැන්නක් ලබාගත හැකියි නේද ?

තරමක් විශාල බඳුන්වල මේ ආකාරයට ඔබට තක්කාලි, අමුමිරිස්, මාලුමිරිස් මෙන්ම පිපිඤ්ඤා, කරවිල, වැටකොළු, මෑ ,බෝංචි ආදිය ද වගාකළ හැකියි. එම වැල් ඉහළට ඇදී යාමේ දී සවිමත් ආධාරක සවි කිරීම තුළින් වැල් මනාව වර්ධනය වී හොඳ අස්වැන්නක් නෙළිය හැකිය.

ඊට අමතරව තාප්පවල, කොරිඩෝ වැටෙහි සැහැල්ලු බඳුන්, පොල් ලෙලි ආදිය එල්ලා ඒවායෙහිද විවිධ දේ වගා කළ හැකිය. එමෙන්ම මේ කොරිඩෝවක වගා කුලුණක් සකසා ගතහොත් ඔබේ දිනපතා පාවිච්චියට අවශ්‍ය ගොටුකොළ, මුගුණුවැන්න, සාරණ, කන්කුන්, සලාද වැනි පලා අවශ්‍යතාව සම්පූර්ණ කරගත හැකිය. තරමක ප්‍රමාණයේ ලී පෙට්ටි,විශාල බඳුන් ආදියට පස් පුරවා මේ කොරිඩෝ මත තැබීම එහෙමත් නැතිනම් රාක්ක තනා ගැනීම හරහා ඔබට මේ කුඩා ඉඩකඩෙහි වුවද හොඳීන් වගා කරගත හැකි බව අමතක කරන්න එපා.

ඡායාරූප- අන්තර්ජාලයෙනි