සයිබර් වංචනිකයන්ගෙන් පරෙස්සම් වෙමු

දෙසැම්බර් 4, 2019

මිනිසා සඳ මත පා තබා විද්‍යාවේ මහා පෙරළියක් කර වසර 50 ක් ගතවී ඇත. ගෙවී ගිය ඒ කාලය දෙස ආපසු හැරී බැලූ විට සඳ මත පා තබන තෙක් සිදුවුණු විද්‍යාවේ දියුණුවට සාපේක්ෂව ඉන්පසු ගතවුණු වසර 50 පුරා ඉතා ශීඝ්‍ර දියුණුවක් ලබා ඇති බව කිවයුතු නොවේ.

සෞඛ්‍යය, ප්‍රවාහන, නාවික ආදී සෑම ක්ෂේත්‍රයක්ම වර්තමානයේ ඉතා විස්මිත දියුණුවක් ලබා ඇත.

එහෙත් අපට වඩාත්ම පෙනෙන්නට, දැනෙන්නට තිබෙන්නේ සන්නිවේදන ක්ෂේත්‍රයේ සිදුවී ඇති මහා පෙරළියයි. විස්මිත දියුණුවයි.

අද ඕනෑම කෙනකු අත ජංගම දුරකතනයක් ඇත. ලොකු කුඩා වයස් භේදයකින් තොරව ජංගම දුරකතනය භාවිත කරන අතර, ස්මාර්ට් ෆෝන් ඔස්සේ බොහෝ දෙනෙක් ක්ෂණයකින් අන්තර් ජාලයට සම්බන්ධ වෙති.

අතීතයේ විදෙස් රටක සිටි තම සැමියාට, දරුවාට, නෑයාට දුරකතනයෙන් හෝ ඇමතුවේ බොහෝ අපහසුවෙනි. එසේම එය ඉතා විශාල මුදලක් වැයවූ දෙයකි.

එහෙත් අද ඇඟිලි තුඩක ස්පර්ශයකින් තත්පරයකටත් වඩා අඩු කාලයකදී ලොව ඕනෑම තැනක සිටින අයකු හා සම්බන්ධවිය හැකිය. විශේෂයෙන් විවිධ සේවාවන් ඔස්සේ ඒ පුද්ගලයා සමඟ මුහුණ බලා කතා කිරීමේ වාසනාව හිමිවී ඇත.

දැන් දැන් ගෘහණියන් තම ඉවුම් පිහුම් කටයුතුවලට අවශ්‍ය දැනුම පවා ලබාගන්නේ ස්මාර්ට් දුරකතනය මඟිනි.

අද මගේ සටහන මෙලෙස ආරම්භ කළේ ස්මාර්ට් දුරකතනය භාවිත කරමින් විවිධ සේවා ලබාගන්නට පෙලඹී සිටින අයට පුංචි අවවාදයක් දෙන්නටය. ඒ කුමක්දැයි පවසන්නට පෙර මගේ මිතුරකු මුහුණ දුන් සිදුවීමක් පිළිබඳ පවසා සිටිමි.

ඔහු එක්තරා පාසල් නිවාඩුවකට බිරිය සහ දරු දෙදෙනා සමඟ නුවරඑළියේ සංචාරයක් යන්නට තීරණය කළේය. ඒ අනුව නවාතැන් ගන්නට තැනක් සොයා අන්තර් ජාලය පිරික්සද්දී දර්ශනීය වටපිටාවක් සහිත නවාතැන්පොළක් හමුවිය. එහි තිබූ දුරකතන අංකයට කතාකර විස්තර අසා අත්තිකාරම් මුදලක් ද ගෙවීය.

නියමිත දිනට නුවර එළියට ළඟාවුණු ඔවුනට නවාතැන්පොළ සොයාගන්නට නොහැකි විය. එහි සඳහන්ව තිබූ තැන නවාතැන්පොළක් තිබූ නමුත් එය අන්තර්ජාලයේ සඳහන් නම නොව වෙනත් එකකි. දුරකතන අංකයෙන්ද ප්‍රතිචාරයක් නැත. මිතුරා අසරණ විය. කරන්නට දෙයක් නැති තැන ඔහු වෙහෙස වී සොයා මුදල් ගෙවා වෙනත් තැනක නතර විය.

ඒ එලෙස වාර්තා වුණු එක් වංචාවක් පමණි.

දැන් අපි කතාවට පිවිසෙමු. පසුගිය දිනෙක පුවත්පතක දුටු පුවතකට ඔබේ අවධානය යොමු කරවමි.

‘අන්තර් ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු ප්‍රවේසමෙන්’ මහ බැංකුව ඉල්ලයි. යන සිරසින් යුතුව එය පළකර තිබිණි.

එම පුවතට අනුව සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය පදනම් කර ගනිමින් සිදුවන මූල්‍ය වංචාවන්හි වැඩිවීමක් මෑතකදී නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව පවසයි.

මෙවැනි මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු මහ බැංකුවට ලැබී ඇති බවත් මේවා බොහොමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා සෙසු ණය යෝජනා ක්‍රම හරහා සිදුකරන බවත් මහ බැංකුව පවසයි.

මේ නිසා අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාකාරයන්ගෙන් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුªවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව මහජනතාවට අවවාද කර සිටී.

විශේෂයෙන් තම බැංකු මුරපද හා පෞද්ගලික හැඳුනුම් අංක වෙනත් පාර්ශ්වයන් සමඟ හුවමාරු කරගැනීමෙන් වළකින්නැයිද මහ බැංකුව ඉල්ලා සිටී.

අද බොහෝ දෙනකු පහසුවත්, ලෙහෙසියත් සොයා හැමදේම තාක්ෂණයට බාර දී සිටී. එයින් සිදුවන ලාභය ගැන පමණක් සිතා කටයුතු කරනවා විනා පාඩුවක් පිළිබඳ සිතන්නේ නැත.

මේ නිසා ඉහත සඳහන් කළ පුවත පිළිබඳව ඔබේ අවධානය යළිත් යොමු කරන්න. තමන්ගේත්, තම පවුලේත් දියුණුව රඳා පවතින්නේ උපයන සෑම සතයක්ම අරපිරිමැස්මෙන් යුතුව වියපැහැදම් කළවිට පමණි. එය වංචනිකයන්ට පැහැර ගන්නට ඉඩ නොදීමට ඔබ වගබලා ගතයුතුය. ඒ වංචනිකයන් එන්නේ අපට සිතාගන්නට පවා නොහැකි අන්දමට නිසාය.