විවිධ ක්‍රමයට කුකුළු මස් රස විඳීමු

නොවැම්බර් 18, 2020

මුළුතැන්ගෙයි ඉහුම් පිහුම් කලාව තරමක් වෙනස් වෙලා. අපේ ගෘහණියෝ කෑම මේසය රස ගන්වන්න වෙනස් ක්‍රම සොයනවා. මේ කාලයේ මාළු මිලදී ගැනීම තරමක් අපහසු වෙලා තිබෙන නිසා කුකුළු මස් පාරිභෝජනය තරමක් වැඩිවෙලා තිබෙනවා. ඇති වී තිබෙන වසංගතය හමුවේ අපේ ගෘහණියෝ තම මුළුතැන්ගෙයි කටයුතු කළමනාකරණය කර ගන්න හරිම දක්ෂයි.

ඒ දක්ෂතාවට අත්වැලක් වෙන්න අප මෙවර ඔබ වෙත කැදවාගෙන එන්නේ ජේ්‍්‍යෂ්ඨ සූපවේදිනියක්. තරුණි සමඟ නිබඳවම අත්වැල් බැඳගත් ඇය දැන් වඩාත් ම ජනප්‍රිය සමාජ මාධ්‍ය හරහා ඉවුම් පිහුම් කලාව උගන්වන ගුරුවරියක් ලෙසයි. සෑම සතියකම රූපවාහිනිය හරහා ඔබේ නිවෙසට පැමිණි ඇය ප්‍රවීණ සූපවේදිනී

මල්ලිකා ජෝෂප් මහත්මියයි.

ඇය මෙවර ඔබට තිළිණ කරන්නේ කුකුළු මස් යොදාගෙන කෑම මේසය රස ගන්වන කෑම වට්ටෝරු පෙළක්. මේ කෑම වට්ටෝරු ඔබට සාදා ගැනීම සඳහා යූටියුබ් ඔස්සේ නැරැඹීමටත් අවස්ථාව තිබෙනවා. දරුවන් සමඟ ගතකරන මේ කාල පරාසය ඒකාකාරීව ගෙවී යන මොහොතක මෙම කෑම වට්ටෝරුවලින් එකක් දෙකක් සාදා ඔබේ කැම මේසයත් හැඩ කරන්න පුළුවන්. එය ඔබේ මුළු පවුලටම වෙනස් ම අතදැකීමක් වේවි. එසේම මුළු පවුලම හරිම කැමැත්තෙන් මෙම කෑම රසවිඳීවි.

 

උපදෙස්

ප්‍රවීණ සූපවේදිනී

මල්ලිකා ජෝෂප්

**********************

කුකුළු මස් තන්දූරි

 

අවශ්‍ය ද්‍රව්‍ය

යෝගට් පයින්ට් 1 ක් (මි.ලි.500)

සුදුලූනු බික් 2 ක්

ගම්මිරිස් කුඩු හා ලුණු රස අනූව

අඹරාගත් කොත්තමල්ලි තේ හැඳී 1 ක්

සූදුරු තේ හැඳී 2 ක්

අඹරාගත් ඉඟුරු තේ හැඳී 1 ක්

දෙහි ඇඹුල් මේස හැඳී 1 ක්

කුකුළු මස් (පපුව පෙදෙස) ග්‍රෑම් 500 ක්

 

සාදන ක්‍රමය

සුදුලූනු බික් දෙක පොතුහැර තළාගන්න. යෝගට් බඳුනකට දමා එයට සුදුලූනු, අනෙකුත් කුළු බඩු හා දෙහි ඇඹුල් එකතුකර කලවම් කරන්න. කුකුළු මස් කොටු හැඩයට කපාගෙන විනාඩි කිහිපයක් තම්බාගන්න. එයට පදමට ලුණු ගම්මිරිස් දමා රස කර ගන්න. මස් කැබලි කූරුවල අමුණා ඒ මත කලින් පිළියෙල කර ගත් යෝගට් මිශ්‍රණයේ බහා පැය 2 ක් පමණ තබන්න. දැන් ග්‍රිල් එක සකසා ගසාගත් මස් කූරු එහි තබා විනාඩි 8-10ක් ග්‍රිල්කර ගන්න. ඒ අතරතුර ඉතිරි සෝගට් මිශ්‍රණය වරින් වර මස් කෑලිවල තවරන්න. බත් සහ පිපිඤ්ඤා සලාදයක් සමඟ මෙය පිළිගන්වන්න.