ආහාරයක් මෙන්ම විටෙක ඖෂධයක් වන ගැමි රසයෙන් අනූන කෑම

සැප්තැම්බර් 8, 2021

 

 ගමයි,පන්සලයි,කෙතයි,දාගැබයි,වැව් තාවුල්ලයි....ගැමි අසිරිය කියාපාන්න,ගම පිළිබඳ අපූරු සිත්තමක් මැවෙන්න මේ දේවල් හොඳටෝම ප්‍රමාණවත්.

එදා ගමේ අසිරිය අද අපෙන් තරමකට ගිලිහුණත් අදටත් ගැමි මුළුතැන්ගෙයින් නික්මෙන සුවඳට නාස්පුඩු ඉව අල්ලන්නේ නොදැනුවත්වම.ගමේ කෙතේ අස්වද්දලා ගන්න හාල් ටික බතක් ලෙසට පිළියෙල වෙද්දී පොල් සම්බෝලයක් එක්ක උණු උණුවේ බත් ටිකක් කෑවත් ඇතියි කියලා හිතෙන තරම්.මේ ගැමියන් එක බත් ඇටයක්වත් ඉවත දමන්න හිතන්නේ නැහැ.එතැන නිසැකව ම ඇත්තේ ඒ අයගේ දහඩිය මහන්සිය.

උණු උණුවේ බත් එකට ගැමි රසයට ම පිළියෙලවන සම්බෝලයක්, ලුණු මිරිසක්, මාළුවක් ගෙන එන්නේ දිව නහර පිනා යන රසයක්. එහි ගැබ්ව ඇත්තේ අපූර්වතම කෑම කලාවක්.මේ කෑම කලාව ඔබ උගත යුතුමයි.

මේ මඟ පෙන් වීමට අපත් සමඟ අත්වැල් බැඳ ගන්නේ විශ්‍රාමික ගුරු උපදේශිකාවක්. මාතර කඹුරුපිටියේ උපන් ඇය ගෘහ

ආර්ථික විද්‍යාව පිළිබඳ ගුරු උපදේශිකාවක්. දකුණේ ඇතුළු පාසල් කිහිපයකම දියණිවරුන්ට ගෘහ ආර්ථික විද්‍යාව ඉගැන්වූ

ඇය හැමවිටම ආහාරවල පෝෂණය රැක ගනිමින්, ලෙඩ රෝගවලින් මිදී නිරෝගි ජීවිතයක් ගත කරන්නට, වැඩි වැඩියෙන්

අප අරින් ගිලිහී යන කෑම පිළියෙල කිරීම සම්බන්ධයෙන් උනන්දු වන තැනැත්තියක්. 'කුස්සිය' Cuisine of Sri Lanka යූ ටියුබ් චැනලය

ඔස්සේ සමීපවන ඇය 'තරුණී' සමඟින් ද මෙලෙස සමීප කරගත්තෙමු.

 

 

ඉදිරිපත් කිරීම - විශ්‍රාමික ගෘහ ආර්ථික විද්‍යා ගුරු උපදේශිකා

ප්‍රේමාවතී අබේසේකර

ප්‍රතිශක්තිය වඩවන සුදුලූනු මාළුව

වසංගත රෝග බලාගෙන ඉද්දි පැතිරෙන මේ කාලේ සිරුරට අවශ්‍ය ම කරන්නේ ප්‍රතිශක්තිය. කොරෝනා රැලි පිට රැලි එද්දී මිනිසුන් ගේ දෛනික ජීවිතවලට බාධා කරන්න පටන් අරන්.

ඉතිං බෝවෙන රෝග පැතිර යෑම

අරුමයක් ද? හැකි හැමවිටම කෑමෙන් බීමෙන්වත් කිසියම් ආරක්ෂාවක් සපයා ගැනීම අපේ යුතුකමක්. ප්‍රතිශක්තිය

වැඩිකරන අපූර්වතම ව්‍යාංජනයක් සුදුලූනු.

 

අවශ්‍ය දේ

 

සුදුලූනු බික් අවශ්‍ය තරමට

මිරිස් කුඩු

අමු තුනපහ කුඩු

උළුහාල් ස්වල්පයක්

ගම්මිරිස්

කහ

රටලූනු

නයි මිරිස්

ඉඟුරු

රම්පේ

කරපිංචා

කුරුඳු පොතු

රස අනුව ලුණු

කහ දියකරගත් මිටිකිරි ස්වල්පයක්

 

සාදන ක්‍රමය

බඳුනක් ළිප තබා තෙල් ටිකක් දමන්න. රත් වූ තෙලට තලාගත් ඉඟුරු එකතු කරන්න. තලාගත් සුදුලුනු ටිකකුත් එකතු කර

රම්පේ, කරපිංචා, රටලූනු එකතුකර හොඳින් තෙම්පරාදු කරගන්න. කුරුඳු පොතු, නයිමිරිස්, උළුහාල්, මිරිස් කුඩු, අමු

තුනපහ දමා නැවත හොඳින් කලවම් කරගන්න. මේ වෙද්දි ගින්දර පාලනයත් වැදගත්. රස අනුව ලුණු, කෑලි ගම්මිරිස්,

සුදුලුනු බික් ටික දමා හොඳින් මිශ්‍ර කොට කහ දැමූ පොල් කිරි ටික දමන්න. සුදුලුනු වැහෙන තරමට උකු මිටි කිරි දැමීම

ප්‍රමාණවත්. පියනකින් වසා විනාඩි කිහිපයක් තබා නැවත හැඳිගාන්න. කිරි ටික යන්තමට හිඳිලා තියෙද්දි ළිපෙන්

බාගන්න. දැන් සුදුලුනු ව්‍යංජනය කෑමට සූදානම්.

---------------------------------------

වැරනිය මිරිස් ව්‍යාංජනය

වැරනිය මිරිස් යෙදූ ව්‍යාංජනය හරිම රසවත්. මින් පෙර ඔබ මෙය අත්හදා නොබලා ඇති.

කටට සැරට කන්න කැමැති අයට ගමේ තාලේට පිසෙන මෙවැනි විවිධ කෑම වර්ග බත්පතට එක්කර ගැනීමෙන් දිවගට දැනෙන්නේ අමුතුම රසයක්.

 

මේ සඳහා අවශ්‍ය

වෙන්නේ

 

වැරනිය මිරිස් කරල්

12 ක් පමණ

කරවල ග්‍රෑම් 10 ක්

රටලූනු ගෙඩි 1 ක්

තලාගත් ඉඟුරු, සුදුලූනු

ස්වල්පයක්

රම්පේ, කරපිංචා

කුරුඳු කැබැල්ලක්

කොච්චි කරල් 5, 6 ක්

බැදපු තුනපහ ස්වල්පයක්

වේළුණු මිරිස් කරල්

දෙක, තුනක්

මිරිස් කුඩු

උළුහාල්

ගම්මිරිස්

රස අනුව ලුණු

කහ මිශ්‍ර කරගත් පොල්කිරි

 

සාදන ක්‍රමය

පළමුව මැටි වළඳක් ළිප තබා එය රත්වීගෙන එද්දී පොල්තෙල් දමන්න. පොල්තෙල් රත්වන විට කුඩාවට කපන ලද

කරවල කෑලි දමා රන්වන් පැහැවනතුරු බැදෙන්න හරින්න.

එයට සුදුලූනු, ඉඟුරු, රම්පේ, කරපිංචා, කුරුඳු දමා තරමක් බැදෙද්දී රටලූනු, තුනපහ, මිරිස් කුඩු, උළුහාල්, ගම්මිරිස්, රස

අනුව ලුණු ද දමන්න. වැරනිය මිරිස් වෙන් නොවන සේ තැන් දෙකකින් පමණ යන්තමට පලා ගන්න. එය ද එකතු කොට

පියන වසා විනාඩි 8 - 10 ක් පමණ තබා බා ගන්න.

හිතේ හැටියට කටට සැරට මිරිස් රසය විඳින්න කැමැති අයටමයි ඔන්න මේ ව්‍යංජනය.

---------------------

මඤ්ඤොක්කා කොළ මැල්ලුම

මේ දවස්වල වැහිබර ගතිය වැඩි නිසා පලා වර්ග කෑමට බොහෝ දෙනා එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ.

පොළොවෙන් තරමක් උසට තියෙන කොළවර්ග මේ කාලේදී කිසිම බයක් සැකක් නැතිව කෑමට ගත

හැකියි.

 

අවශ්‍ය දේ

දල්ලේ සිට කොළ 5 ක් හැර කඩාගත් මඤ්ඤොක්කා කොළ

කෑලි මිරිස්

රම්පේ, කරපිංචා

රතුලූනු

ගම්මිරිස් ඇට

පොල්තෙල්

පොල්

තිබ්බටු

වැරනියා මිරිස්

 

සාදන අන්දම

මඤ්ඤොක්කා කොළ කඩා ගනිද්දි දල්ලේ සිට කොළ 5 ක් ඉතිරිවන්නට හැර කඩාගන්න. හොඳින් සෝදා තෙත බේරාගත්

මෙය වංගෙඩියකට දමා හොඳින් කොටා ගන්න. ග්‍රයින්ඩර් කර ගන්නත් පුළුවනි.

එය පසෙකින් තබා ඒ වංගෙඩියටම තිබ්බටු, රතුලූනු, රම්පේ, කරපිංචා, ඉඟුරු, සුදුලුනු, ගම්මිරිස් ඇට, ලුණු, මිරිස් කුඩු

එකතුකර හොඳින් කොටා ගන්න. ගාගත් පොල් ද එකතු කර නැවත කොටා ගන්න. දැන් මඤ්ඤොක්කා කොළ ටික නැවත

වංගෙඩියට දමා සියල්ල හොඳින් කොටා ගන්න.

මැටි ඇතිළියක් ළිප තබා රත්වූ පසු පොල්තෙල් ටිකක් දමන්න. එයට අබ ඇට දමා පිපිරෙන විට කෑලි මිරිස් දමන්න. රම්පේ,

කරපිංචා, ඉඟුරු, සුදුලුනු ස්වල්පය බැගින් තෙලට එකතු කරන්න. එයටම මඤ්ඤොක්කා කොළ දමා හොදින් මිශ්‍ර

කරගන්න.

දැන් මඤ්ඤොක්කා කොළ මැල්ලුම කෑමට සූදානම්.

 

-------------------------------------

කෝවක්කා ලුණු මිරිස

කෝවක්කාවලින් මේ තරම් දෙයක් කරන්න පුළුවන් කියලා ඔයාලා කවදාවත් හිතන්නේ නැතුව ඇති...

රුධිරයේ සීනි පාලනය කරන කෝවක්කා ලුණු මිරිස පිළියෙල කරන්නයි හේ සූදානම.

 

අවශ්‍ය ද්‍රව්‍ය

* කෝවක්කා කොළ මිටක්

* සුදු ලූණු බික් දෙකක්

* රතු ලූනු ගෙඩි තුනක් හෝ හතරක්

* උම්බලකඩ ග්‍රෑම් 10 ක්

* කොච්චි කරල් 4 ක් හෝ 5ක්

* අවශ්‍ය පමණ ලුණු

* ගම්මිරිස් ග්‍රෑම්10 ක්

*ඉඟුරු( අවශ්‍ය පමණ )

* දෙහි (අවශ්‍ය පමණ )

 

සාදන ක්‍රමය

පළමුව මිරිස් ගලට ගම්මිරිස් ,ලුණු ,උම්බලකඩ දමා හොඳින් අඹරා ගන්න.ඉන් පසු සුදු ලූනු ,රතු ලූනු ,කෝවක්කා කොළ, ඉඟුරු, කොච්චි දමා හොඳින් අඹරා ගන්න .අවශ්‍ය පමණ දෙහි එකතු කරන්න .ඉන්පසු එය හොඳින් මිශ්‍ර කරන්න.

මේ දියවැඩියා රෝගීන්ට සීනි පාලනය කිරීමට මහඟු ඔසුවකි.රස ගුණ සපිරි ලුණුමිරිසකි.

 

--------------------------

කැකිරි නියඹලාව

 

මෙය ඖෂධීය ගුණයෙන් යුතු වූවකි.මුත්‍රාශය සම්බන්ධ රෝගවලට දිව ඔසුවක් වන අතර මුත්‍රාශයේ ගල් දිය වීමට ද උපකාරී වෙයි.සෞම්‍ය ගුණයෙන් පිරිපුන් ආහාරයකි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

* කැකිරි ග්‍රෑම් 300 ක්

* කහ මිශ්‍ර දියකිරි හා මිටි කිරි අඬු කෝප්ප 1 බැගින්

 

 

 

 

* තුන පහ කුඩු අවශ්‍ය පමණ

* මිරිස් කුඩු අවශ්‍ය පමණ

* රතුලූනු, රට ලුණු

අවශ්‍ය පමණ

* අමුමිරිස් කරල් දෙකක් හෝ තුනක්

* රම්පෙ ,කරපිංචා, ගම්මිරිස්, ගාන ලද පොල් ස්වල්පයක්

* සුදුලූනු බික් දෙකක් හෝ තුනක්

* කුරුඳු පොත්තක්

* අවශ්‍ය පමණ ලුණු

* උළුහාල්

* වේලුණු කහ

* කැකුළු හාල් ස්වල්පයක් කැකිරි නියඹලාව

සාදන අන්දම

 

කැකිරි ගෙඩිය හොඳින් සෝදා හතරට පලා ඇට ඉවත් කර ගන්න .ඇට කබලේ රන්වන් පැහැය වන සේ බැදගන්න. එය බැදෙන විට ඉඟුරු සුදු ළුනු ගාගත් පොල් ,කැකුළු හාල් ස්වල්පයක් ,අබ ස්වල්පයක් ද දමා රන්වන් පැහැ වනතුරු බැදගන්න ළිපෙන් බා ගත් පසු එයටම ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු ,තුනපහ කුඩු, කුරුඳු, වේළුණු කහ, සියල්ල සිහින් වෙන තුරු ගලේ අඹරා ගුලියක් සකස් කරගන්න .මැටි ඇතිලියක් ගෙන කැකිරි කපා ඇතිලියට දමා ඊට රම්පෙ, කරපිංචා ,අමුමිරිස් ,උළු හාල් ,රට ලූනු ,රතු ලූනු, අඹරා ගත් ගුලිය ද දමා ලුණු කහ මිශ්‍ර දියකිරි දමා හොඳින් මිශ්‍ර කර ළිප තබා මද ගින්නේ තැම්බුණු පසු මිටිකිරි එක් කරන්න. ඉන්පසු හොඳින් තැම්බෙන්නට හැර බාගන්න.

 

-----------------------

 

අක්කපාන ලුණුමිරිස

 ඖෂධයක් මෙන්ම ආහාරයක් ලෙස ද යොදා ගනියි.පිළිකා රෝග සඳහා පවා ගුණ දෙන අක්කපාන මුත්‍රා පද්ධතිය ආශ්‍රිත සියලුම රෝග සඳහා ගුණ දේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

* අක්කපාන කොළ

හයක් හෝ හතක් පමණ

* රතු ලුණු ග්‍රෑම් 10 ක්

*ගම්මිරිස් අවශ්‍ය පමණ

* උම්බලකඩ අවශ්‍ය පමණ

* ලුණු අවශ්‍ය පමණ

*කොච්චි ග්‍රෑම් 10 ක්

* දෙහි ගෙඩියක්

 

සාදන අන්දම

පළමුව අක්කපාන කොළ කඩා සෝදා නාරටිය ඉවත් කර පසෙක තබා ගන්න. ගම්මිරිස්, ලුණු, උම්බලකඩ, කොච්චි ,රතුළූණු, අක්කපාන කොළ සිහින්ව අඹරාගත් පසුව දෙහි මිශ්‍ර කරන්න. දැන් අක්කපාන ලුණුමිරිස ආහාරයට සුදුසුයි...

---------------------

එරබදු කොළ මැල්ලුම

මේ ඖෂධීය ගුණයෙන් ඉහිරුණු තවත් කොළ මැල්ලුමකි.පණු රෝග සඳහා සුදුසුම වූ මෙවැනි මැල්ලුම් වර්ග සතියකට දෙකකට වතාවකි හෝ බත්පතට එක් කරගැනීම වැදගත්.

 

අවශ්‍ය ද්‍රව්‍ය...

* එරබදු කොළ මිටක්

පමණ (දලුත් සමඟ)

* හීනියට ගාන ලද පොල්

* ගම්මිරිස් ස්වල්පයක්

* රතුළූණු ග්‍රෑම් 20 ක්

* සුදුළූණු ග්‍රෑම් 10ක්

* රම්පෙ

* කරපිංචා

* කොච්චි ග්‍රෑම් 20 ක්

* මිරිස් කුඩු ස්වල්පයක්

* උම්බලකඩ ස්වල්පයක්

* අවශ්‍ය පමණ ලුණු

 

එරබදු කොළ මැල්ලුම

සාදන ආකාරය

 

එරබදු කොළ සෝදා දිය බේරෙන්නට තබා හීනියට ලියා ගන්න,

ඊට පොල් , රතු ළූණු , සුදුලූනු, කොච්චි හීනියට ලියාගෙන එක් කරන්න, ලුණු, ගම්මිරිස්, උම්බලකඩ, මිරිස් කුඩු, ස්වල්පයක් ද මිශ්‍ර කර දමා මද ගින්නේ පිසගන්න.

මැල වූ පසු ළිපෙන් බා ගන්න....