නිවෙසේදීම කෙරටින් සත්කාරයක් කර ගන්නේ කොහොම ද?

සැප්තැම්බර් 16, 2020

 

ප්‍රශ්නය

මා කිහිප විටක්ම කෙස් කලඹ ස්ට්‍රේට්කර ඇත්තෙමි. දැන් මගේ හිසකෙස් ඉතා වියළිය. කෙස් අග පැලී ඇත. නිවෙසේදී ම කළ හැකි ස්වභාවික කෙරටින් සත්කාරයකින් හානි වූ කෙස් කළඹ යථා තත්ත්වයට පත්කර ගත හැකි බව මා අසා ඇත. කෙරටින් සත්කාරය නිවෙසේදී කර ගන්නේ කෙසේද?

බදුල්ල - සුමාලි

 

පිළිතුර

කෙරටින් ස්ට්‍රේට් සහ ස්වාභාවික කෙරටින් සත්කාරය යනුවෙන් කෙරටින් ක්‍රම දෙකක් ඇත. කෙරටින් ස්ට්‍රේට් එකේ දී කෙස් කලඹට ස්ට්‍රේට් බවක් සහිතව පෝෂණයක් ලබා දෙන අතරම එය මිලෙන් අධිකය. එය තනිව කළ හැකි දෙයක් නොවන අතර රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙතම යා යුතුයි. ස්වාභාවික කෙරටින් සත්කාරයේදී කෙස් කලඹට පෝෂණයක් පමණක් ලබා ගත හැකියි. එසේම එය නිවෙසේදීම කර ගත හැකියි.

සත්කාරය කිරීමට ප්‍රථම කොණ්ඩය ෂැම්පුකර හොඳීන් සෝදා ගන්න. කන්ඩිෂනර් කිරීමෙන් වළකින්න.

මේ සත්කාරය සඳහා කෝමාරිකා කැබැල්ලක්, දෙහි, විටමින් E කරල්, ඔලිව් තෙල්, කෝන් ෆ්ලවර් මේස හැඳී දෙකක් සහ පොල් කිරි අවශ්‍යයි.

මේ කෝමාරිකා කැබැල්ල හොඳීන් බ්ලෙන්ඩ් කර එයට කෝන් ෆ්ලවර් එක් කරන්න. පොල් කිරි තේ හැඳී දෙක තුනක් සහ ඔලිව් ඔයිල් මේස හැඳී දෙකක් එයට එකතු කරන්න. මේ මිශ්‍රණය හොඳීන් බ්ලෙන්ඩර් කර, ළිප තබා විනාඩි පහක් රත් කරන්න.

එය නිවාගෙන දෙහි බෑයක යුෂ සහ විටමින් ඊ කැප්සියුල් දෙකක් දමා ගන්න.

එසේ සාදා ගත් මිශ්‍රණය හොඳීන් හිසේ තවරා ගන්න. බ්‍රෂ් එකක් භාවිතා නොකර අතින් තවරා ගන්න. කොණ්ඩය හිසේ රඳවාගෙන පැය දෙකක් තබන්න.

ඉන්පසු හිස සෝදා ගන්න. ට්‍රීට්මන්ට් එකට පෙර පාවිච්චි කළ ෂැම්පු එක පාවිච්චි කරන්න එපා. බේබි ෂැම්පු එකක් පාවිච්චි කරන්න. ඉන්පසු කොණ්ඩය Blow dry කර ගන්න. අවශ්‍ය නම් කොණ්ඩය අයන් කර ගන්න. මේ ප්‍රෝටීන් සත්කාරයෙන් කෙස් කලඹට අවශ්‍ය පෝෂණය ලබා ගත හැකියි.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

නීශා මනහාරි

 

2020/09/16 තරුණි බලන්න