දිනකට දහස් ගණන් මියගිය ඉතාලියෙන් ඇහෙන කොරෝනා ගැන කතාවක්

ඉතාලියෙන් ඔබට ආදර්ශයක්
සැප්තැම්බර් 1, 2021

 

කොරෝනා නවත්තන්න නම් අපේ කැපවීම අවශ්‍යමයි

 

ඉතාලියේ කොරෝනා ඉවරද..?

කාටහරි එහෙම හිතෙනවාත් ඇති..

නෑ.. ඉතාලියේ කොරෝනා ඉවර නෑ.. ඉවරවෙන පාටකුත් නෑ..

හැබැයි රජයෙන් සියලු පියවර අරන් තියෙනවා. නීති පනවා තියෙනවා. ඒවට අනුගත නොවන අයට දඩ ගෙවන්න සිදුවෙනවා. ඒ නිසා බෝවීමේ අඩුවීම්, මරණ අඩුවීම් තියෙනවා. ඉතිං ඒ රටක්, රජයක් විදියටනේ..

එතකොට,

අපි මොකද කරන්නේ..

එදා වගේමයි අදත් අපි..

අපි කීවේ මේ අපේ ගෙදර, තාම ගෙට ගොඩවෙන්නේ සපත්තු ගලවලා ඇල්කොහොල් මිශ්‍ර වතුර ස්ප්‍රේ කරලා. ඒ සපත්තු තද අව්වටත් දාලා තමයි සපත්තු කබඩ් එකට දාන්නේ.

ගෙට ගොඩවුන ගමන් අත් පිරිසුදු කරගන්නවා hand sanitizer වලින්. ඒක ඒ මොහොතේ විතරක් නෙමේ නිතරම කරන දෙයක්. ඇහැ ගැටෙන්න දොරෙන් ඇතුල්වෙන තැන දෙපැත්තෙම තියලා තියෙන්නෙ ගෙදරට එන අමුත්තන්ටත් පෙනෙන විදියට. එළියට ගියොත් බඩු ගන්න යන්නේ අසේල විතරයි. නැත්නම් අපි දෙන්නම. දුවයි පුතයි තාමත් එක්ක යන්නේ නැතිම තරම්. ඇඳුම් ගෙනාවොත් ඒවයේ ටැග් කපලා ඒ වෙලාවෙම සෝදනවා. එළියට අඳින ඇඳුම් ඒ වෙලාවෙම සෝදන්න දානවා.

තාමත් ? සමහරුන්ට එහෙම හිතේවි.

ඔව් තාමත් අපි එහෙමයි..

ගෙන එන එළවළු , පලතුරු බේකිං සෝඩා ම්ශ්‍ර වතුරෙන් සෝදනවා. මස් මාළු ඇතුළු ඉටි කවරයෙන් වැහුණු හැමදේම උණුවතුරෙන් සෝදලයි ශීතකරණයේ තබන්නේ. සෝදන්න බැරි සීනී, පිටි පැකට් දවසක් එළියේ තියලා කබඩ්වලට දානවා.

මේක කියවද්දි අනේ තාමත් ඕවා කරන්න ඕනේද කියලා හිතේවි.

අපි පරිස්සම් වුණොත් අපිට.

මොකද අපේ අහිමිවීම අපේ ආදරණීයයන්ට දුකක් මිස වෙන කාටවත් නෙමේ.

එතකොට ගෙදරට අමුත්තෙක් ආවම. ඒ ආවම සතුටින් පිළිගන්නවා. සංග්‍රහ කරනවා. ගියාම ඔක්කොම බිම සෝදලා පිරිසුදු කරනවා.

ඒක අපේ ගෙදරට එන අයටත්, ඇවිත් ගිය අයටත්, එන්න ඉන්න අයටත් හිත් රිදවීමක් නෙවේවි. ඒ හැම හිතක්ම අවබෝධයෙන් තේරුම් ගනීවී මේ හැමදේම අපි හැමෝගෙම ආරක්ෂාවට කියලා.

අපි අදටත් පරිස්සම් වෙනවා. ඒ ඇයි අපි vaccine ලබාගෙන නැද්ද?

අපි දෙන්නම එන්නත් ලබාගෙන තියෙන්නේ. පුතාට තව එකක් විදින්න තියෙනවා. එහෙනම් ඇයි මෙච්චර බය, එහෙම හිතයි සමහරු.

බය නෙමේ පරිස්සම් වෙන එක අපිටම නේද හොඳ? එන්නත් ලබාගත් පමණින් වෛරසය ශරීර ගතවෙන්නේ නෑ කියලා හිතනවනම් මෝඩකම. එහෙම හිතලා තමනුත් අමාරුවේ වැටිලා අනිත් අයත් අමාරුවේ දාන අය තමයි මාස්ක් පහළට දාගෙන යන්නේ.

අපි ට්‍රිප් එකක් ගියත් කඩේ කෑම නෑ. ගෙදරම හදන් යන දේවල්. ඒ වගේමයි ෆොටෝ එකක් ගන්න මාස්ක් එක ගැලෙව්වත් පිරිස රැඳෙන තැනක නෙමේ මාස්ක් ගලවලා ෆොටෝ ගන්නේ.

අපි වගේම හොඳින් පරිස්සම් වෙන පවුල් හා මිස අපි එකතු වෙන්නෙත් නෑ..

මේ රටේ ගිය ටිකේම එක එක නීති. වාහනයේ යායුතු ගණන, එතකොට ගෙදරකට අමුත්තෙක් එනවනම් මාස්ක් දාගන්න ඕනේ, දුරස්ථ බව තියාගන්න ඕනේ, පමණට වඩා වැඩිනම් දඩ. සංචරණ සීමා. ඒ සියලු නීති නිසා කොරෝනා බෝවීම අවම වුණා. දැන් දැඩි රස්නය. අපි පරිස්සම් වුණාට සමහරු නෑ. ඉතිං සීත කාලය ආවම ආයෙම පැතිරේවි.

ඒ වුණත් එදා තරම්ම දරුණු නොවේවි.

මොකද එන්නත් ලබාගත් අයට green card එකක් දීලා තියෙනවා. ඒක නැතිනම් බොහෝ තැන්වලට ඇතුළු කරගන්නේ නෑ. රජයේ ආයතන, රෝහල් ඇතුළට යද්දි අපේ පුද්ගලික තොරතුරු ඇතුළු කරමින් පුරවන්න පත්‍රිකාවක් දෙනවා. ඒ මඟින් හැම වෙලේම තොරතුරු රැඳීමක් තියෙනවා ආ ගිය අය ගැන. බෝවිමක් සිදුවුණ ගමන් අර තොරතුරු හරහා අනිත් අයවත් දැනුවත් කරනවා. ඉතිං මේ තොරතුරු, එන්නත් ලබාගත්ත අය නේද කියලා නොගෙන ඉන්නේ නෑ.

අපි අදටත් පරිස්සම් වෙන බවයි මේ ලීවේ. ලංකාවේ ඉන්න ඔයාලා හිටියටත් වඩා පරිස්සමට ඉන්න සංචරණ නීති අරවා මේවා ගෙන එන්නේ ඔයාලගේ හොඳට.

පුළුවන් උපරිම පරිස්සම් වෙන කෙනෙක් දිහා අපහාසයෙන් එයා ඕනවට වැඩියි කියන සිතුවිල්ලෙන් බලන්න එපා. පරිස්සම් වුණ අයත් ජීවිතයෙන් සමු අරන් තියෙනවා. ඉතිං ඕනවටත් වඩා පරිස්සම තමයි ඕනේ.

ජීවිත ඔයාලගේ. ඒ ජීවිත වටින්නේ ඔයාලගේ ආදරණීයයන්ට. ඒ ජීවිතවල වටිනාකම, වගකීම ඔයාලට විතරයි තියෙන්නේ. දෙවියන්ට බාර දෙනවා කියන විහිළුවලින් පරිස්සම් වෙලා. තමන් වගේම ආදරණීයනුත් පරිස්සම් කරගන්න.

කෝවිඩ් කවදා කොහොම ලෝකෙන් තුරන් වෙයිද කියන්න අපි දන්නේ නෑ.

එදාට අපි ආදරය කරන ගොඩක් අය අපිට නැතිවෙලා ඉඳීවි. ආදරණීයයන් එක්ක එදා වගේම හිනාවෙලා ඉන්න හෙටක් අපිට ඕනේ..

ඉතිං ,

පරිස්සම් වෙන්න. අරයා මෙයා කරන කියන එක නොසිතා ඔයාලා ඔයාලා වෙනුවෙන් පරිස්සම් වෙන්න.

ඒක ඔයාලට වගේම තමන්ගේම අයට කරන යහපතක්..

නිදහසේ හුස්ම ගන්න හෙටක් හැමෝටම උදාවේවා!

 

 

ඉතාලියේ පර්මාහි හිඳින

ජනනි ගුරුසිංහ