ඔයාට දැන් 20 ද? විසේකාර කෙල්ලන්ට නොවරදින හරි පාර

මාර්තු 25, 2024

 

මේ ඉන්න පොඩි එකී අනික් පැත්ත හැරිලා බලනකොට ලොකු වෙලා. කාටත් වඩා හදිස්සියක් තමයි කාලයට තියෙන්නේ. ඉතින් පොඩි උන් ලොකු වෙන්නේ බලන් ඉද්දි. එක එක වයස් සීමා පහු කරගෙන ලොකු වෙනකොට ජීවිතවලට එන ප්‍රශ්නත් පොඩි නැහැ.. ඒවත් ඒ විදිහටම ලොකු වෙනවා. ඒකට ගෑනු පිරිමි භේදයක් නෑ. ඒ දේවල් හැබැයි සමාන නෑ. ඉතින් ගෑනු ළමයින්ට වෙන වෙන දේවල් කොල්ලොන්ට තවත් දේවල්. අවුරුදු 20 කියන්නේ අපේ ජීවිතේ ෆවුන්ඩේෂන් කෑල්ල දාගන්න කාලේ. අවුරුදු 20 ගෙවුවා කියන්නේ ජීවිතයෙන් 1/3ක්ම ගෙවිලා ඉවරයි. මේ කියන්න යන්නේ මැරෙන්න ළං වෙනවා කියන එක නෙවෙයි. සතුටින් මැරෙන්න නම් මේ කාලේ හරි ෆවුන්ඩේෂම දාගත්තොත් මුළු ලයිෆ් එකම ෆුල් හැපනින්.

 

ලයිෆ් ගෝල් එකතුකර ගන්න

 ලයිෆ් ගෝල්ස් කියන්නේ බකට් ලිස්ට් ගැන නෙවෙයි. ඒ කියන්නේ අපි මැරෙන්න කලින් කරන්න ආසාවෙන් ඉන්න එවුවා නෙවෙයි. උදාහරණයක් විදිහට ගත්තොත්, කවදාහරි එවරස්ට් නඟිනවා කියන්නේ බකට් ලිස්ට් අයිටම් එකක් මිසක් ලයිෆ් ගෝල් එකක් නෙවෙයි.  ඊළඟට හොඳට මතක තියාගන්න, ලයිෆ් ගෝල්ස් කියන්නේ අපිට ජීවත් වෙන්න කරන්න සිද්ධ වෙන දේවලුත් නෙවෙයි. උදාහරණයක් විදිහට කිවුවොත්, හොඳ රස්සාවක් හොයාගන්නවා කියලා හිතන එක ලයිෆ් ගෝල් එකක් නෙවෙයි.

 ඉදිරි වසර දෙක ඇතුළත සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගොඩනඟා ගන්නවා කියන එක ලයිෆ් ගෝල් එකක්. මාස්ටර්ස් ඩිග්‍රිය ඉදිරි වසර දෙක තුළ සම්පූර්ණ කරනවා කියන එක ලයිෆ් ගෝල් එකක්. ඉදිරි වසර දෙක තුළ පොතක් ලියනවා කියන එක ලයිෆ් ගෝල් එකක්. ජීවිතයට ඒ වගේ ලයිෆ් ගෝල් එකතුකර ගන්න.

හව් ලෝන්ග්?

මෙන්න මේක ටිකක් හොඳින් හිතලා මතලා බලන්න ඕනෙ දෙයක්. ඇත්තටම අපි ලයිෆ් ගෝල්ස් හදාගත්තට වැඩක් නැහැ ඩෙඩ්ලයින් එකක් නැතුව. ඒ කියන්නේ, අපි නිශ්චිත කාලයකදී සම්පූර්ණ කරන්න ඕනෙ කියන අදහස නැතුව නිකම් බකට් ලිස්ට් එකක් වගේ ජීවන ඉලක්කයන් තියාගන්නවා කියන්නේ, ගොඩක් දුරට ඕවා නොවෙන පැත්තට තමයි බර. මොකද ගොඩක් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි උදාසීන කුසීතකම. අන්න ඒකත් එක්ක ඔය ලයිෆ් ගෝල්ස්වලට තියා මොනම දෙයක්වත් සම්පූර්ණකර ගන්න අමාරුයි. අන්න එතකොට ඒ කුසීතකම ජය ගන්නත් හොඳම ක්‍රමයක් තමයි ලයිෆ් ගෝල්ස් එක්ක ඩෙඩ්ලයින් තියාගන්න එක. ඒ කියන්නේ මොකක් හරි ලයිෆ් ගෝල් එකක් සම්පූර්ණ කරන්න යන කාලය හරියට ගණනය කරලා ඒකත් ඉලක්කය එක්ක තියාගන්න එක. මෙතැනදී පුළුවන් තරම් යථාර්ථවාදී වෙන්න ඕනෙ. උදාහරණයක් විදිහට මාසයක් ඇතුළත පොතක් ලියනවා කියලා ඉලක්කයක් තියාගත්තට, ඒක සාර්ථක වෙන්න තියෙන ඉඩ ඉතාම අඩුයි. අනික් පැත්තට යම් ඉලක්කයකට ඕනෑවට වඩා කාලයක් ඩෙඩ්ලයින් එක විදිහට දෙන්නත් එපා. ජීවිතේ කෙටියි, යන්න තියෙන ඉලක්කයන් බොහෝයි!

 

උසස් අධ්‍යාපනය කරන්නෙ කොහොමද ?

අවුරුදු විස්ස කියන්නෙ උසස් පෙළ කරලා ඉවර හෝ උසස් පෙළ කරන කාලය. ඔය කාලෙදි එන මූලිකම ප්‍රශ්නය තමයි උසස් පෙළෙන් පස්සෙ ඊළඟට පනින පිම්ම මොකක්ද කියලා. ඒකෙදී උසස් අධ්‍යාපනය කියන කාරණය උඩට එනවා. උසස් අධ්‍යාපනයක් හදාරන්න ඕනෙ කියලා හිතද්දී මොන විෂය ක්ෂේත්‍රයද තමන්ට වඩා ගැළපෙන්නෙ කියන කාරණය හිතන්නම වෙනවා ඔබට. නැත්නම් අකමැති නොගැළපෙන විෂයයක් තෝරගෙන තව ප්‍රශ්න ගොඩක් දාගන්න වේවි. ඒ නිසා යන්න ඕනෙ මොන පැත්තට ද කියලා හරියටම තීරණය කරන්න.

වෘත්තීමය සිහිනයක් හදාගන්න

ඊළඟ ප්‍රශ්නෙ සල්ලි. සල්ලි කියන්නෙ ලොකුම ප්‍රශ්නයනේ ඉතින්. මේ වයසෙදි එන ප්‍රශ්නෙ තමයි මට සල්ලි ලැබෙන්නෙ කොහෙන්ද..? කියන එක. ඒ කියන්නෙ යැපෙන්නෙ කාගෙන්ද කියන එක. අවුරුදු විස්ස වගේ වෙනකොට ඔළුවට එනවා අදහසක් ගෙදරින් යැපුණා ඇති කියලා. ගෙදරට වධයක් වුණා ඇති… ගෙදර මිනිස්සුන්ට වධ දුන්න ඇති…කියල හිතෙන්නෙ මෙන්න මේ කාලෙදියි. හැබැයි හරි වෘත්තීමය සිහිනයක් තිබ්බොත් සල්ලි කියන දේවල් හරිම සිම්පල් වෙයි.

බිස්කට් පොඟවන් තේ බිබී කාටුන් බලපු කාලේ නම් අපිට මොන අහවල් වෘත්තිමය සිහින ද කියලා හිතන්න පුළුවන්. ඒත් ලෝකය මනුස්ස හිතකට වඩා වේගයෙන් වෙනස් වෙනවා. රස්සා දියවු කියලා මහ ඈයෝ පාරේ යනකොට පොඩි දුවලා පුතලා වෘත්තීමය වශයෙන් ඉහළටම ගිහිල්ලා. එහෙම වෙන්නේ මෙහෙම සිහිනයක් තිබ්බාම. කෙල්ලෙක් වුණාම තියෙන්නෙ ඕනි එකම සිහිනය නැන්දම්මාව සතුටු කිරීම, මනාලියක් වීම කියන සාම්ප්‍රදායික චින්තනයෙන් මිදිලා වැඩ ලොවේ දී පිරිමි අයත් එක්ක කරට කර සටන් කරන්න නම් මුල ඉඳලම සිහිනයක් තියෙන්නම ඕනි. කොහොමත් දැන් ගොඩක් ලොකු කොම්පැනිවල වුණත් පුටු රන් කරන්නේ කාන්තා පාර්ශ්වය. ඒ බොහොමයක් අවුරුදු විසි ගණන්වල කෙල්ලෝ.

හොඳ යාළුවෙක්?

මනුස්සයෙක් සාර්ථක වෙන්න නම් ගෑනියෙක් පිටිපස්සේ ඉන්න ඕනිලු. එහෙනම් ගෑනියෙක් සාර්ථක වෙන්න කවුදෑ ඉන්න ඕනි? තවත් ගෑනු රංචුවක්. ගෑනු කෑල්ල නැතුව අවුරුදු විස්සේ බවලතුන් ගැන කතා කරන නිසා කෙල්ලෝ කියලා කියමු. අවුරුදු 20ට කලින් අපිට ලැබෙන යාළුවෝ. ඔක්කොම වගේ ඉස්කෝලේ නැත්නම් ටියුෂන් එකේ යාළුවෝ. ඒ අයව කාලාන්තරයක් තිස්සේ දන්න කියන අය. පිස්සු කෙළින්න වගේම තනියම ගොන් වැඩ කරද්දී ඒ දේවල් නොකරන්න කියන, ඒත් නැත්නම් තනියම කරන්න නොදෙන විදිහේ යාළුවෝ අවුරුදු 20 පහුවෙලා ලැබෙනවා නම් කැම්පස් එකක් පැත්තේ යන්න ඕනි. රැකියා ස්ථානයෙන් මේ වගේ යාළුවෝ සෙට් එකක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්නේ. තමන්ගේ සෙවණැල්ල වගේ ඉන්න යාළුවෙක් හොයා ගත්තා කියන්නේ රටක් රාජ්‍යයක් ලැබුණා වගේ තමයි.

 

ආදරේ වැට උඩද..?

ආදරේ හොඳටම දැනෙන කාලය තමයි යොවුන් කාලය කියන්නේ. ආදරේ වගේම විරහවත් හොඳටම දැනෙන්නෙ මේ කාලෙට. ඒ වගේම ගන්න තීරණ වැඩිය දුර දිග බලලා නොගන්න කාලයක් මේක. ඒ හන්දා ආදරය නිසා එන ප්‍රශ්න මේ කාලෙදී වැඩියි. හරි තීරණ නොගත්තොත් හැමවෙලේම හූල්ල හූල්ල ඉන්න වෙන කාලයක් මේ. හැබැයි උපාය දන්නෝ අපායේ වැටෙන්නැති නිසා සමහරු ලස්සනට ජීවිතෙයි ආදරෙයි බැලන්ස් කරගෙන යනවා.

අම්මලා තාත්තලාගෙන් කකා බිබී, සැහැල්ලු සරල ජීවිතයක් ගෙවාගෙන හිටපු දෙන්නෙක් පවුලක් පන්සලක් වෙන්න ගියාම මුලින්ම ඇතිවෙන ප්‍රශ්නයක් තමයි කොහොමද විය හියදම් ගාණට ප්ලෑන් කරගෙන අලුත් ජීවිතේ සාර්ථකව ගෙවන්නේ කියන එක. හුඟක් කොල්ලෝ කෙල්ලෝ කසාදයක් බඳිනකම්ම හාල් කිලෝ එකක, පොල් ගෙඩියකවත් ගාණ දන්නේ නැහැ. එහෙම අයට කසාද ජීවිතේ මුල් කාලේ විය හියදම් ප්ලෑන් කරගෙන ජීවිතේ පහසුවෙන් ගෙවන එක තරමක් දුෂ්කර කාර්යයක් වෙන්න පුළුවන්. එයත් එක්ක අනාගතය ගැන බඳින්න කලින්ම ප්ලෑන් ගහගෙන හරි සැලසුමකට ජීවත් වෙනවනම් ඒ තමයි ගැළපෙනම ජෝඩුව.

 

ගෙදර ප්‍රශ්න

අවුරුදු විස්ස කියන්නෙ ගෙදරක වගකීම් ටික ටික පැවරෙන කාලය. මෙන්න මේ ටික කරපන් කියලා කවුරුවත් නියම නොකළත් තමන්ටම ගෙදර වගකීම් ගන්න මේ කාලෙදී සිද්ධ වෙනවා. අම්මගෙ තාත්තගෙ අසනීප ගැන, ගෙදරට ඉතුරුවක් කරන එක ගැන, ගෙදර අයට සලකන එක ගැන, නංගිල මල්ලිලා ඉන්නවනම් ඒ අය ගැන ඔන්න මේ වයසෙදි බලන්න වෙනවා. ඒ ප්‍රශ්න ටිකත් මේ වයසෙ ඉන්න කෙල්ලෙක්ගේ ඔළුවට එනවා.

හැබැයි ඒ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන කෙල්ල ජීවිතය දිනන එක ශුවර්.

 

අලුත් බිස්නස් එකක්

ඇත්තටම දැන් කාලේ අපි හැමෝටම එක රැකියාවක් විතරක් කරලා ජීවත් වෙන්න අමාරු කාලයක තමයි ඉන්නේ. අන්න ඒ නිසාම තමයි අපිට සයිඩ් එකෙනුත් පොඩි හරි ආදායම් මාර්ගයක් තියෙන එක වටින්නේ. හැබැයි ගොඩක් දෙනෙක් හිතනවා, බිස්නස් එකක් වගේ දෙයක් පටන් අරගෙන දියුණු කරන්න නම් ඒක ජීවිතේ කලින්ම පටන් ගන්න. කියලා කතාවකුත් තියෙනවනේ. අපිට හොඳ බිස්නස් ප්ලෑන් එකක් තියෙනවා නම්, නවෝත්පාදන අදහස් තියෙනවා නම්, වෙනස් විදිහට හිතන්න පුළුවන් නම් මේ තරුණ ජවය ඒ වෙනුවෙන් යොදවන්න පුළුවන්.

මේ කාලේ අපි හැම තිස්සෙම අහන දෙයක් තමයි වර්ක් හාඩ්වලට වඩා වර්ක් ස්මාට් කියන එක තමයි වැදගත් වෙන්නේ කියලා. ඒක ඇත්තටම බොරුවක් නෙවෙයි. ඒ කියන්නේ අපි හැමතිස්සෙම උපරිම ශක්‍යතාවකින් වැඩ කරලා, වර්ක්-ලයිෆ් බැලන්ස් එක තියාගෙන ඉන්න හිතනවා නම්, ස්මාට් විදිහට වැඩ කරන එක ඉගෙන ගන්න ඕනෙ. අවුරුදු 20 පසුව ඔයත් ස්මාට් විදිහට හිතලා බලන්න.

ඉහත කතා කරපු හැම දෙයක්ම ෆෝකස් කරලා හරියට උත්තර හෙවුවොත් ඔයත් ජීවිතය දිනන කෙල්ලෙක් වෙන එක ශුවර්.

 

ඡායාරූප - ශාන් රූපස්සර