ඔබට දැනුම දෙන ඈ

මාර්තු 25, 2024

ඇය ඉෂාරා කෝරළගේ. තරුණි පාඨක ඔබ සමඟ එක්ව දැනටමත් දැනුම බෙදා ගනී. රුව අලංකරණය පිළිබඳ දැනුම බෙදා හදා ගන්නා ඇය අද පටන් රූපලාවණ්‍ය කෙරෙහි නොතිත් ඇල්මක් දක්වන ඔබ වෙත සමීප වන්නේ තව තවත් අලුත් වෙමිනි.

NVQ Level 4 උපදේශිකාවක් ලෙස සහ මනාලියන් හැඩගැන්වීමේ ආචාර්යවරියක් ලෙස ඇය දශකයකට අධික කාලයක් පුරාවට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නියැළෙමින්, අධික සිසුන් පිරිසක් බිහිකර තිබේ.

විශේෂයෙන්ම මනාලියන් හැඩගැන්වීමේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස, එහි නියැළෙන ශිල්පීන්, මනාලියන් හැඩගැන්වීමේ කලාවේ නවමු මානයකට රැගෙන යන්නට ඇය සමත් විය. ඇය විසින් ලංකාවට හඳුන්වා දුන්, බැක්කෝම්බ් නොකර සිදුකරන, kandyan හෙයාර් සැකසුම හෙවත් 'I CAP' ක්‍රමවේදය නිසා, Kandyan හෙයාර් සැකසුම, අද වන විට මනාලියන්ට කිසිදු හිරිහැරයක් නොමැති දෙයක් බවට පත්ව තිබේ.

රූපලාවණ්‍ය සහ මනාලියන් හැඩගැන්වීමේ ඉගැන්වීම් කලාවට අලුත් වටිනාකමක් එක් කරමින් ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කැප වූ ඇය, අද සිට තරුණී පුවත්පත සමඟ එක් ව, NVQ රූපලාවණ්‍ය පාඩම් මාලා තරුණී පාඨකයන් වෙත රැගෙන එයි.

***********************

පාඨමාලා අන්තර්ගතය

BM -01 පාඨමාලා අන්තර්ගතය සැලකීමේදී, පළමු පාඩමෙන් අප අවධානය යොමු කරන්නේ රූපලාවණ්‍ය පාඨමාලාවක් හැදෑරීමේ වැදගත්කමේ සිට රූපලාවණ්‍ය ශිල්පියකු විසින් වැඩි දියුණු කරගත යුතු, ගුණාංග සහ ආකල්පයි. රූපලාවණ්‍ය ශිල්පියකුගේ පෞරුෂත්වය, ශාරීරික සහ මානසික පැවැත්ම උසස් තත්ත්වයකට දියුණුකර ගැනීම, වෙලාවට කාර්යවල නිරතවීම, කාර්යය කිරීමේදී නිවැරදි ඉරියව්වෙන් සිටීම, එනම්, ඇවිදින විට, වාඩිවී සිටින විට, සිටගෙන සිටින විට හා නැවෙන විට නිවැරදි ඉරියවු අනුගමනය කිරීම, ස්වයං පාලනයක් වර්ධනය කිරීමේ වැදගත්කම සහ මිත්‍රශීලී වැඩ වාතාවරණයක් ඇති කිරීමේ හැකියාව, පෞද්ගලික සනීපාරක්ෂාව ආදී කරුණු මෙම මොඩියුලය තුළදී සාකච්ඡා කෙරේ.

 

BM -02 දෙවෙනි මොඩියුලේ යටතේ අපි සාකච්ඡා කරන්නේ, භාණ්ඩ භාවිත කිරීමේ දැනුමයි. උපකරණ පිරිසුදු කිරීම, දෛනිකව නඩත්තු කිරීම මේ යටතේ ඉගැන්වේ.

සම විශ්ලේෂණ යන්ත්‍රය, මැග්නිෆයින් ලාම්ප්පුව, ස්ටීමරය, මෙනිකියු උපකරණ, හිස ආවරණ පටි, තුවා සහ බ්‍රෂ් ආදිය විසබීජ නාශක යෙදීම, ජීවානුහරණය කිරීම සහ පවත්වා ගැනීම පිළිබඳව මෙම පාඩමේ දී සාකච්ඡා කෙරේ.

 

BM - 03 වෘත්තීය සෞඛ්‍ය, ආරක්ෂිත ක්‍රියා පටිපාටි සහ පුහුණුව පාඩමේදී අප සාකච්ඡා කරන්නේ, සේවකයින්ගේ සහ සේවා යෝජකයින්ගේ අයිතිවාසිකම් වගකීම් සහ යුතුකම්, පුද්ගලික ආරක්ෂක උපකරණ භාවිතය, අනතුරු ඇඟවීම් අවවාද ප්‍රවේශම් සහ අවධානය සඳහා ආරක්ෂිත සලකුණු සහ සංකේතයෙදීම සහ පුද්ගලික ආරක්ෂිත පණිවිඩ, හදිසි අවස්ථාවල භාවිත කරන උපකරණ පිහිටීම හා භාවිතය, ගිනි වැළැක්වීම හා ගිනි නිවන උපකරණ, අනතුරු අවස්ථාහිදී ඉවත් කිරීමේ ක්‍රියා පටිපාටි, කාර්යයට අදාළ මූලික කාර්යක්ෂමතා ප්‍රමිතීන්, වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය උපකරණ, මූලික ප්‍රථමාධාර ක්‍රියා පටිපාටිය සනීපාරක්ෂක පහසුකම් ඇතුළු අවට ප්‍රදේශය පිළිබඳ දැනුම

 

M -01 අලංකාරවත් රුපලාවණ්‍යාගාර පරිසරයක් පවත්වාගෙන යෑම පිළිබඳව මෙම මොඩියුලයේ දී අවධානය යොමු කරමු.

රූපලාවණ්‍යාගාරයේ පෙනුම පිළිබඳ සේවා දායකයාගේ පළමු හැඟීමේ වැදගත්කම, රූපලාවණ්‍යාගාරයක ප්‍රධාන මෙහෙයුම් ප්‍රදේශ, රූපලාවණ්‍යාගාරයේ ආරක්ෂිත අංග, රූපලාවණ්‍යාගාරයේ භාවිත කළ යුතු ආරක්ෂිත පිරිසුදු කිරීමේ කාරක, පිරිසුදු කිරීමේ ක්‍රම, ගබඩා කිරීම, රූපලාවණ්‍යාගාරයකදී අනුගමනය කළ යුතු සනීපාරක්ෂක ප්‍රමිතීන්, උපකරණ, අපද්‍රව්‍ය වර්ග කිරීමේ ක්‍රම

 

M -02 යටතේ පෞද්ගලික ඇඳුම් පැලඳුම්වල වැදගත්කම, වාර්තා තබා ගැනීම, සේවාදායකයා හැසිරවීම, දුරකතන සන්නිවේදනය සඳහා නීති, රූපලාවණ්‍යාගාර සේවා සඳහා අදාළ ගාස්තු, ගණනය කිරීම් සහ මූලික ගණිතය, මුදල් ගනුදෙනු පිළිබඳ දැනුම ලබාදේ.

 

M - 03 සේවාදායකයින්ට උපදේශනය සිදු කිරීම

 

සම නිය සහ කෙස්වල ව්‍යුහය, ප්‍රතිවිරෝධතා දැක්වීම සහ ප්‍රතිවිරුද්ධ ක්‍රියා, සම වර්ග සහ තත්ත්වයන්, නිය වර්ග සහ තත්ත්වයන්, සේවා දායකයින් හැසිරවීම, වාර්තා තබා ගැනීම, උපකාරක සේවා පිළිබඳ විස්තර

 

M 04 - අනවශ්‍ය රෝම ඉවත් කිරීම මොඩියුලේදී, කෙස් පිළිබඳව, සම පිළිබඳව අවධානය යොමු කෙරේ. මේ යටතේ අසාත්මිකතා පරීක්ෂණ ක්‍රියාවලිය, ප්‍රතිවිරුද්ධ ක්‍රියා සහ ඇඟවීම්, අනවශ්‍ය රෝම ඉවත් කිරීම, පසු සත්කාර උපදෙස්, සත්කාර කළ ප්‍රදේශ පිරිසුදු කිරීම, රෝම ඉවත් කිරීමේ ක්‍රම, සේවා දායකයා හැසිරවීම, කාර්යක්ෂම ප්‍රමිතීන්, ප්‍රථමාධාර පිළිබඳ අවධානය යොමු කෙරේ.

 

M -05 මුහුණ හැඩගැන්වීම යටතේ වර්ණ චක්‍රය හඳුනා ගැනීම, වර්ණ මිශ්‍ර කිරීම, වර්ණ ඉස්මතු කිරීම, මුහුණේ විවිධ හැඩයන් හඳුනා ගැනීම, මුහුණ හැඩගැන්වීම, නිෂ්පාදන, අවශ්‍ය ද්‍රව්‍ය පිළිබඳ සාකච්ඡා කෙරේ.

 

M - 06 දෙඅත් සහ දෙපා සත්කාර කිරීම යටතේ නියවල ව්‍යුහය, නියවල වර්ධනය, නිය බෙදීම සහ එය වළක්වා ගන්නා ආකාරය, නියවල රෝග සහ ආබාධ, නිවැරදි සම්බාහන ශිල්ප ක්‍රම ඉගෙනුමට හැකිය.

 

M - 07 සම විශ්ලේෂණය, යටතේ සමේ ව්‍යුහය, සම වර්ග, සම විශ්ලේෂණ ක්‍රම පිළිබඳව අවධානය යොමු කෙරේ.

 

M - 08 සම රැකවරණ ප්‍රතිකාර කිරීම යටතේ

සම වර්ග සහ තත්ත්වයන්, සමේ රෝග සහ ආබාධ, ප්‍රතිවිරුද්ධ ඇඟවීම් සහ ප්‍රතිවිරුද්ධ ක්‍රියා, සේවාදායකයා ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුද යන්න තීරණය කිරීම, සමේ විවිධ තත්ත්වයන් සඳහා සම ආරක්ෂණ ප්‍රතිකාර, විදුලියේ මූලික අංග, අක්ෂි සම්බාහන ක්‍රම, ගැල්වනික් යන්ත්‍රය, අක්ෂි සම්බාහන ක්‍රම, නිෂ්පාදන පිළිබඳ දැනුම, විෂබීජහරණය සහ සනීපාරක්ෂාව.

 

M - 09 රූපලාවණ්‍යාගාර කළමනාකරණය යටතේ රූපලාවණ්‍යාගාරයක් පිහිටුවීමේදී සැලකිය යුතු කරුණු, ගිණුම්කරණයේ අංග සහ පිරිවැය පාලනය, නිෂ්පාදන මිලදී ගැනීම සහ ගබඩා කිරීම, රූපලාවණ්‍යාගාර සේවා සහ නිෂ්පාදන අලෙවිකරණය, විකුණුම් කළමනාකරණය, කාර්ය මණ්ඩල කළමනාකරණය, රජයේ ව්‍යාපාර රෙගුලාසි ආදී කරුණු පිළිබඳව මොඩියුලයේදී අවධානය යොමු කෙරේ.

***********************

NVQ සහතිකය යනු කුමක්ද?

ජාතියේ වෘත්තීය සුදුසුකම මත පදනම්ව ලබා දෙන සහතිකයයි. NVQ යන්නෙහි අදහස වන්නේ එනම් National Vocational Quelification තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව(TVEC) විසින් නිකුත් කරනු ලබන සහතිකයයි.

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යනු තෘතීයික හා වෘත්තීය අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සැලසුම් කිරීම නියාමනය සහ සංවර්ධනය සඳහා වගකිවයුතු ශ්‍රී ලංකා රාජ්‍ය ආයතනයයි.

මෙම TVES ලියාපදිංචි සහිත ඕනෑම ආයතනයකින් NVQ හැදෑරිය හැකි ඔබට පාඨමාලා සමඟ සම්බන්ධ වීමට පාසල් අධ්‍යාපනය අතරමග නතර වූ දරුවාගේ සිට ඕනෑම අධ්‍යාපන මට්ටමක, ඕනෑම ක්ෂේත්‍රයක නිරත වන, ඕනෑම අයකු සඳහා සම්බන්ධ විය හැකියි. සුදුසුකමෙහි සෑම මට්ටමක්ම සම්පූර්ණ කිරීමෙන් පසු ක්ෂේත්‍රයෙහි සුදුසුකම් ලබන්නන්ට වඩා වැඩි වැටුපක් සහිතව වෘත්තීය රැකියා වෙළඳපොළට ඇතුළත් වීමට සුදුසුකම් ලැබෙයි. මෙම පාඨමාලා හැදෑරීම තුළ ඔබට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට විදේශ රැකියා අවස්ථාවන් සඳහා අයැදුම් කිරීමට මෙන්ම ඒ තුළින් තම නිපුණතාවයට වටිනාකමක් එකතු කර ගැනීමට හැකිවේ.

මෙවන් වටිනාකමකින් යුත් පාඨමාලා අන්තර්ගතය සමඟ රටේ තරුණ පරපුර බලගැන්වීමේ ජාතික මෙහෙවරට උරදෙමින් අද සිට තරුණි පුවත්පත සමඟ අප මෙලෙස අත්වැල් බැඳගන්නේ ජාතික නිපුණතා සම්මතය කරා පැමිණීමට අවශ්‍ය නිපුණතාවයේ න්‍යායාත්මක කොටස සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය නිසි මඟ පෙන්වමින් ඔබව දැනුමින් සන්නද්ධ කිරීමේ අරමුණ ඇතිවයි.