අවුරුදු කාලේ කොටුවෙන් යනකොට මෙන්න මෙහෙම කොටු වෙන්නත් පුළුවන්

මාර්තු 25, 2024

සියලු හරස් වීදි සහ කෙළින් වීදි මෙන්ම දිගු වීදි අවුරුදු සමය සමඟ නේකවිධ ජනතාවගෙන් පිරී ගොසිනි.නේකවර්ණ ඇඳුමෙන් සහ ආයිත්තමෙන් සැරසුණු ඔවුහු තමාගේ බලාපොරොත්තුව ඉටුකර ගන්නා අටියෙන් උස් ගොඩනැඟිලි සහ හිස් අහස දෙස බලමින් උද්වේගකර ගමනේය. එක් අයකු සොයන්නේ කුඩා පුතුට අත් ඔරලෝසුවකි.අනෙකා දුවට බූල් බෝලයයි.කොණ්ඩා කටුවකි. තවත් අයකු වීදි පීරමින් සොයන්නේ අඩුම මුදලට ලොකුම රූපවාහිනියකි. මේ සියල්ලෝම ටොපි චොකලට් කඩ අසල නැවතී බලාසිටීමෙන්ම ඔවුහු අවුරුදු රැගෙන ගම්බිම් බලා දරුවන් සොයා කලාතුරකින් ගමරට යන අය බව පහසුවෙන් නිගමනය කළ හැකිය.

බදාම මිදුණු නිරුවත් දෙපා,කහට බැඳුණු නිර්ව්‍යාජ හිනාවෙන් පිරි දත්වහලු ,ඉරගින්න දවාලු පිලිස්සුණු සම සහිත මේ බොහෝ මිනිසුන් තම තමන්ගේ පඩිපතට සරිලන දේ එක්කාසු කරලමිනි. සියළුදෙනා බලාපොරොත්තු අහුලන මේ කොන්ක්‍රීට් කාන්තාරය අප හැමදෙනාම හඳුන්වන්නේ පිටකොටුව ලෙසටය. ග්‍රාමීය ජනයා තවමත් කොළඹ යැයි හඳුන්වන මේ අපේ කතාවේ ප්‍රධාන ස්ථානය මෙතැන් පටන් අප හඳුන්වන්නේ පිටකොටුව ලෙසටය.

කොටුව සහ පිටකොටුව හැදුණු ඉතිහාසය කතාන්දර නෙල්ලි මෙන් නේක රසවුවද මේ කියන්නට සැරසෙන කතාන්දරය මේරූ වෙනිවැල් කහට තරමටම තිත්ත වූ එකකි.

පිටකොටුවට බොහෝ ජනතාව දිනකට එක රැස් වන්නේ තමාට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් පිටකොටුවේ කවර හෝ තැනකින් මිලට ගැනීමට ඇති හැකියාවේ විස්වාසය නිසාමය."පිටකොටුවෙන් ගන්න බැරි අම්මයි තාත්තයි විතරයි. " ඇතැමුන්  එසේ කියන්නේද මේ හේතුව නිසාමය.මේ නිසාම දිනකට බොහෝ දෙසින් බොහෝදෙනා පිටකොටුවට පැමිණෙන්නේ තමාට මෙන්ම නිවෙසට අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙන්ම අනෙක් ස්ථානවල නැති සුකුරුත්තන් රැගෙන යාමටය. ඕනෑම ස්ථානයකට යාමේ ප්‍රධානතම කේන්ද්‍රීය නගරයවන පිටකොටුවට බොහෝවිට භාණ්ඩ රැගෙන යාමට පැමිණෙන්නේ කොළඹ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල රැකියාව නිමකොට වැටුප ලබා ගම්බිම් බලා යන අහිංසක මිනිසුන්ය. එසේත් නැතහොත් ග්‍රාමීය වශයෙන් කුඩා ව්‍යාපාරවල නිරත වන්නන් ය.

මේ අවුරුදු සමයේ වෙනදාටත් වැඩියෙන් පිටකොටුව සෙනඟින් පිරෙන්නේ තමා අත ඇති සොච්චමට ලබා ගත හැකි උපරිම දේ පිටකොටුවෙන් ගත හැකි බව බොහෝ දෙනා අනුමාන කරන හෙයිනි.

මෙසේ පැමිණෙන මිනිසුන්  මුළාකොට ඔවුන්ගේ සොච්චමට විදගන්නා පිටකොටුවේ වංචනිකයන් බොහෝය.කිසිවකුටත් අසු නොවන්නට ,කිසිම මොහොතක කොටු නොවන්නට වගබලාගන්නා මේ කොටුවේ අයියලා ඔවුන්ගේ බිස්නස් හරහා සිදු කරන වංචාව එදාමෙදාතුර නිමාවක් දකින පාටක් පෙනෙන්නට නැත.

දැන් අප හැරෙන්නේ පිටකොටුවේ වීදි දිගේ දක්නට ලැබෙන මේ "ජල්තර් බිස්නස් "වෙතටය.

අවංක වෙළෙන්දාගේ වංක කමිස වෙ‍ෙළඳාම.

 

මේ අවුරුදු සමයේ පිටකොටුවට පැමිණෙන බොහෝදෙනා තමාගේ පවුලේ උදවියගේ ගත සරසනු පිණිස ඇඳුම් ආයිත්තම් ලබාගැනීමට ප්‍රියතාවයක් දක්වන්නන් ය.ඒ නිසාම වීදිවල ගාටමින් මේ පිරිස් එකිනෙකාගේ ආශාවන් සපුරනු පිණිස ඇඳුම් මිලට ගන්නේ අතේ ඇති මුදලද ගැනද සිව්වරක් සිතමිනි. මේ බව හොඳින්ම දන්නා වංචනික වෙළෙඳ අවංකයන් පිටකොටුවේ කේසර් වීදියේදී සහ දෙවැනි හරස් වීදියේදී සිදු කරන්නේ රුපියල් හාරසීයට පමණ පැක් කරන ලද කමිස බුරුතු පිටින් සේල් කිරීමය. බැලූ බැල්මට මුද්‍රාව පවා ඉවත් නොකළ මෙම කමිස අලුත්ම පොලිතින් උරවල බහා ඇසුරුම්කොට ඇත්තේ කිසිවකුටද සැකයක් නොසිතන ලෙසටය. බෑන්ඩ් දමා රිබන් දමා සකසන ලද මෙම කමිස ඔවුන් අලෙවි කරන්නේ අවංක වෙළෙන්දා යන නමද පටලවාගනිමින් ය.

"මල්ලිට,අයියට,පුතාට,මස්සිනාට රුපියල් හාරසීයට බැංකොක් ෂර්ට් එකක්,කඩකුලී නෑ,සේවකයො නෑ,ඒසී නෑ,වාහන ලීසිං නෑ ඒක නිසා පොඩි ලාබෙට පොඩි මිනිහට........"

ඔවුන් ගිරිය පුප්පා කෑගසමින් විකුණන කමිස කඩා බැලීම තහනම් ය.පැකිං නොකඩන ලෙස කෑ ගසා කියන ඔවුන් මෙසේ විකුණන කමිස පරණ ඒවා බව දැකගත හැක්කේ නිවෙසට ගොස් ඒවා විවෘතකොට බැලූ පසුවය. එම කමිස පරණ ඇඳුම් කඩවලින් එක් කොට පිළිවෙළට නවා අසුරා අලුත් ලේබල් ගසා පොලිතින් වල අසුරණ ලද ඒවාය. එම ඇතැම් කමිසවල පිට පැත්තේ කහට පැල්ලම් ය. නැතහොත් විවිධ කඩතොළුය. මෙසේ අලෙවි කරන්නන් ඊළඟ දිනයේ එම ස්ථානයේ හෝ පැත්ත පළාතක හොයා ගැනීමට නොහැකිය.

ඔවුන් ගැනුම්කරුවන් වෙ‍ෙළඳාම වෙත පොළඹවා ගැනීමට සිදු කරන ක්‍රමවේද කිහිපයකි. ඉන් පළමුවැන්න එක් ගැනුම්කරුවකු කමිස පහක් එකවර මිලට ගැනීමය."රස දන්නෝ ගෙනියන්නෝ...මේ සර්ගේ කෑලි පහට සල්ලි ගන්න"කියමින් ඔවුන් අනෙකුත් ගැනුම්කරුවන් පොලඹවගන්නේ සූක්ෂම ආකාරයටය. තමා දුක් මහන්සියෙන් උපයාගන්නා මුදල දී ලබාගත්තේ පරණ කමිස බව ගැනුම්කරුවාට වැටහෙන්නේ පැය ගණනක ප්‍රමාදයකට පසුවය. එවිට පෙරහැර අවසන් ය.

බෝල බෝල සුපර් බෝල

 

මේ එන ගමනේදී දරුවන්ට අඩු මුදලට වැඩි වටිනාකමක් ඇති දෙයක් මිලට ගැනීමට පිටකොටුවට පැමිණෙන බොහෝදෙනෙක් අමතක නොකරති. ඒ නිසාම මේ කූට වෙළෙඳ රැළ  ඒ සඳහා සූදානම් වන්නේ පාපන්දු, අත්පන්දු සහ හුළං පුම්බන ලද අලංකාර පන්දු එළි බස්සමිනි. සාමාන්‍ය වෙළෙඳපොළේ රුපියල් දෙදහසක් පමණවන මෙම පන්දු පිටකොටුවේ වීදි කඩයේ අලෙවි වන්නේ රුපියල් හයසීය හත්සියය අතර මිලකටය. පළමුව බෝල හතරක් පහක් එළි බස්සන මේ සටකපටයෝ එය විකිණීමට බොරු තදබදයක් ඇති කරයි.

කඩේ දෙදාහයි තුන්දාහයි කියන ඒවා...මෙන්න කීපදෙනෙකුට රුපියල් හත්සීයයි..තව හතරදෙනාටයි...තව තුන්දෙනාටයි...කියමින් ඉක්මනින් විකුණා දමති. බැලූ බැල්මට

කිසිදු පළුද්දක් නොමැති මේ හුළං පුම්බන ලද බෝල පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ කාලයෙන් කාලයට දක්නට ලැබේ. මෙසේ කලඑළි බස්සන බෝල උණුකැවුම් ලෙස අලෙවි වන්නේ එය එතරමටම ලාභ බව දුටු පමණින් ඕනෑම අයකුට ඒත්තුගැන්වෙන නිසාමය. මෙසේ රැගෙන යන බෝල නිවෙසට යාමට මත්තෙන් හුළං බසින්නේ මිලට ගන්නාගේ සියලු බලාපොරොත්තු සුන් කරලමිනි.පිටකොටුවේ ක්‍රීඩා භාණ්ඩ අලෙවිසල් වලින් පළුදු නිසා ඉවත් කරනු ලබන මෙම බෝල කූට වෙළඳුන් විසින් නැවත හුළං පුරවා ඒ මොහොතට ඉතාමත් හොඳ තත්ත්වයට පත් කරනු ලැබේ. නමුත් මෙම බෝල වර්ග සෑම එකක්ම පාහේ පළුදු සහිත ඒවා බව ගැනුම්කරුවන් නොදනී. ඔවුන් රුපියල් හත්සියයක් ලබාදී මෙම බෝලය නිවෙසට රැගෙන යන්නේ ලද නිවාඩුවේ දරුවන් සමඟ ක්‍රීඩාවේ යෙදීම බලාපොරොත්තුව බවට පත්කර ගනිමිනි. නමුත් අවසානයේ නිවෙසට රැගෙන යාමට හැකිවන්නේ හුළං බැසගිය බෝලයකි. මේ කූට වෙළඳුන් නැවත සෙවීමද කළ නොහැකි දෙයකි. දිනෙන් දින තමාගේ ස්ථානය මාරු කරන ඔවුහු සීරුමාරුවට කාලයෙන් කාලයට කූට වෙළඳාමේ යෙදෙති.

 

සුවඳක් නැති පුසුඹ බොටල්....

 

ඕනෑම දෙයක් මිලට ගත හැකි පිටකොටුව සුවඳ විලවුන් සඳහා සුප්‍රකට ස්ථානයකි.අන්ඩර්ග්‍රවුන්ඩ් මාර්කට් හි ලෝකයේ ඕනෑම සුවඳ විලවුමක් වගකීමෙන් මිලට ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිකරදී ඇති අතර රතුපල්ලිය අවට ස්ථාවර වෙ‍ෙළඳසල් හිඳ වගකීමෙන් එම රාජකාරිය ඉටු කරනු ලැබේ. මේ අතර වීදි දිගේ ඇවිදයන ඔබට ඉඳහිට හමුවන  විලවුන් බෝතල් කිහියක් අතදරාගත් අයකු එය ඔබට අලෙවි කිරීමට පෙරැත්ත කරනු ලබන්නේ එම විලවුන් ඉතා අනර්ඝ උසස් ප්‍රමිතියෙන් යුතු ඒවා බව කියමිනි. ඒ සඳහා උදාහරණයක් පෙන්වමින් ඔහු අතේ ඇති එම වර්ගයේ විලවුන් බෝතලයෙන් මඳක් ඔබේ ඇඟමතට මුදාහරිනු ලැබේ. සැබැවින්ම එය එක්වරම ඔබව ආනන්දයට පත්කරවන සුවඳකි.එක්වරම ඔබට එය මිලට ගැනීමට තරම් හිත දෙගෙඩියා නොකරයි.

සර් .....තව දෙකයි තියෙන්නෙ සාධාරණ ගාණකට දෙකම කතා කරමු.

මෙම ජංගම වෙළෙන්දා විසින් පාරිභෝගිකයන් ක්‍රමයෙන් මුල්ලක් වෙත හෝ නිස්කලංක ස්ථානයකට රැගෙන යයි. ඒ මොහොතේ නැවත පාරිභෝගිකයන් ගේ ඇඳුම මතට විලවුන් ඉසින ඔවුන් බෝතල් දෙක සඳහා මිලක් නියම කරයි. එය හෙට්ටු කරමින් පාරිභෝගිකයන් ද සුවඳට වශීවී බෝතල් මිලට ගැනීමට පෙළඹෙති.

දෙකටම තුන්දාහක් දෙන්න ...කඩේ එකක් හත්දාහයි...

කතාව පටන් ගන්නේ එලෙසිනි. අවසානයේ පාරිභෝගිකයා බෝතල් දෙකම තුන්දහසට හෝ දෙදහසකට මිලට ගැනීමට එකඟවෙයි. ගනුදෙනුව එසේ නිමවන අතර මුදල් ලබා ගන්නා කූට වෙළෙන්දා වීදිය දිගේ නොපෙනී යනු ඇත. මිලදී ගැනීමේ කතාව එසේ නිමවුවද නියම කතාන්දරය ඇරඹෙන්නේ විලවුන් බෝතලය විවෘතකර එහි සුවඳ බැලූ විටදීය. වෙළෙන්ඳාගේ අතෙහිවූ බෝතලයේ සුවඳ වෙනුවට එහි ඇත්තේ පල්වූ මිනී සෙන්ට් දුඟදකි.අවසානයේ බැලූ විට එම විලවුන් කල් ඉකුත්වී වසර ගණනක් ගිය ඒවාය. සත්‍ය වටහා ගන්නාවිට අශ්වයා ඉස්තාලයට සමුදී අවසානය.පාරිභෝගිකයාගේ කතාව එසේ නිමවුවද වෙළෙන්දා නැවත වැඩ අරඹන්නේ පැරැණි කතාන්දරයේ අලුත් පිටුවක් පෙරළමිනි.මෙසේ වීදි සරමින් විලවුන් අලෙවිකරන ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත් වන්නේ එකම ආකාරයෙන් පැමිණෙන මිතුරන් දෙදෙනකු හෝ තිදෙනෙකි. ඔවුන් නිරතුරුවම පවසන්නේ "දෙන්න එක්ක දෙක අරන් බෙදාගන්න" යනුවෙනි.එය සැබෑම උපක්‍රමයකි.පිටකොටුවේ වීදි අතර අදත් හෙටත් අඩු වැඩි වශයෙන් මෙය ක්‍රියාත්මක වන්නේ අසරණ මිනිසුන්ගේ මුදල් වංචනිකව සූරා කමිනි.

චාර්ජ් කළොත් බඩු වැඩ...

 

පිටකොටුවේ වීදිවලට අලුතෙන්ම බැස්ස සෙල්ලම "හෑන්ඩ්ස්ෆ්‍රී " සෙල්ලමයි. අලුත්ම විලාසිතාවක් බවට පත්වූ ඉයර් බඩ්ස් සහ හෑන්ඩ්ස්ෆී මල්ලක් පුරවා රැගෙන එන කූට වෙළෙන්දන් එය අලෙවි කරනු ලබන්නේ රුපියල් පන්සියයට සහ රුපියල් දහසටය. පොදි කමින් පොරකමින් මෙම හෑන්ඩ්ස්ෆී තෝරන තරුණයන් අතරට ලියුම්කරුද මේ ගමන අතර එක්වූයේ එක් උපාංගයක් මිලට ගැනීමේ අරමුණිනි. නමුත් එහි කිසිදු උපාංගයක් ඒ මොහොතේ ක්‍රියාත්මක නොවෙයි. "පැය දෙකක් චාර්ජ් කරලා ගන්න. එතකොට වැඩ කරනවා. කඩේ නිකං තිබිල බැහැල තියෙන්නෙ" වෙළෙන්දා ගැනුම්කරුවනට පවසන්නේ විශ්වාසය ඇති කරමිනි.මේ අතර උපාංග දෙක තුන මිලට ගන්නා තරුණයන් මුදල් දෙන අවස්ථාවේ පවසන්නේ "ඊයේ අරන් ගිය එක සුපිරියටම වැඩ" යනුවෙන් උස් හඬිනි.

මෙසේ ඇතිවන සංවාදයනට ඇහුම්කන් දෙමින් තෝරන්නන් පොදි කමින් හෑන්ඩ්ස්ෆී සහ ඉයර්බඩ් මිලට ගනිති. පැය දෙකක් තියා පැය විසිහතරක් චාර්ජ් කළද ඒවාහි ක්‍රියාකාරීත්වයක් දක්නට නොලැබේ.

මෙලෙසම පිටකොටුවේ පදික වෙළඳාමේ යෙදෙන ඇතැමුන් කඩවලින් ඉවත් කරනු ලබන විදුලි උපකරණ අඩු මිලට වෙළඳාම් කරනු ලබන්නේ

ඒවාහි ක්‍රියාකාරීත්වය පාරිභෝගිකයන්ට පරීක්ෂා කිරීමට අවස්ථාව සලසා නොදෙමිනි. ඔවුන් නිරතුරුවම පවසන්නේ කඩයක් වැසූ බවත් එම භාණ්ඩ අඩු මුදලකට විකුණා අවසන් කළ යුතු බැවින් මෙසේ එම වාසිය සාමාන්‍ය ජනතාවට ලබාදෙන බවය.

මෙහිදී වෙළෙන්දා පිටම වරද පැටවිය නොහැකි අතර පාරිභෝගික ඔබද බුද්ධිමත්ව කටයුතු කළ

යුතුම වන්නේ පිටකොටුව පිළිබඳ අවබෝධයෙනි.මෙම වීදි අතර සැරිසරමින් භාණ්ඩ මිලට ගන්නා බොහෝදෙනා මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිවීම කූට වෙළඳුනට විශාල වාසි සහගත තත්ත්වයක් නිර්මාණයකර තිබේ. මේ වීදිවල සැරිසරන ඔබ භාණ්ඩ මිලට ගැනීමේදී මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුම වන්නේ භාණ්ඩයේ මිලත් භාණ්ඩයත් යන දෙකම ඔබට අහිමි වීමේ ප්‍රතිශතය විශාල බැවිනි.

 

නැවෙන් පන්නපු ඔරිජිනල් රොලෙක්ස්

 

ලෝකයේ ඔරලෝසු අතර රොලෙක්ස් නම් වෙළඳ සන්නාමයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.පිටකොටුවේ වීදි අතර ඒ මේ දේ සොයමින් පීරන බොහෝදෙනා නොදන්නා නමුත් මේ පිළිබඳ ඔරලෝසු පිළිබඳ කැමැත්තක් ඇති අය හොඳින් දනී.

නමුත් පිටකොටුවේ වරින්වර හමුවන වෙළෙන්දන් පිරිසක් විසින් පවත්වාගෙන යනු ලබන ඔරලෝසු ජාවාරම කලක පටන් පැවත එන්නකි.

ඔරලෝසු තුනක් අතින් ගත් හොඳින් ඇඳ පැලඳගත් අයෙකි. තරුණයන් දෙදෙනකු හෝ තිදෙනකු ගමන් කරන විට ඉදිරියට පැමිණෙන ඔහු පවසන්නේ නැවෙන් පැන්නූ ඔරිජිනල් රොලෙක්ස් ඔරලෝසු තුනක් ඇති බවත් අඩු මුදලට එය විකුණන බවත් ය. කෙසේ හෝ තරුණයන් කොටු කරගන්නා ඔහු ඔරලෝසු පෙන්වීම අරඹයි.

"මේක දාහතරදාහක් විතර වෙනවා. එකක් පහ ගානේ් දෙන්නම්. " කතාව ඇරඹෙන්නේ එතැනිනි.ඉන්පසුව මෙම මිල ක්‍රමයෙන් පහළ බසින්නේ තරුණයන්ගේ ඔරලෝසු ඇලුම නිසාමය. ඒ අතරතුර විශාල බෑගයක් කරලාගත් අයකු මේ කතාබහට ඇහැ දාන්නේ දුරක සිටය.

"මල්ලී ඔරිජිනල් රොලෙක්ස් ගන්නවද"

වෙළෙන්දා ඒ අතර පෙර කී තරුණයාද ව්‍යාපාරය සංවාදයට එක්කර ගනී. දැන් ගැනුම්කරුවන් තිදෙනෙකි. අලුතින් එක්වූ ගැනුම්කරුවා "මේක පට්ට ඔරලෝසුවක් දෙදාස් පන්සියයට ඉල්ලමු තුනම ගන්නවා කියල" යයි පළමු යෝජනාව ගෙනඑයි. තිදෙනාට කතා කිරීමට ඉඩ ලබාදී ජංගම වෙළෙන්දා එතැනින් හිතා මතා ඉවත්වෙයි.

තිදෙනාගේ කතාව අතරතුර ආගන්තුක තරුණයා කෙසේ හෝ අනෙකුත් දෙදෙනා ව්‍යාපාරය සඳහා එක්කර ගනී.

"අයියේ මොකද කියන්නේ තුනම හත්දාස් පන්සීයට ඉවර කරමුද?"

දැන් මූලිකයා අලුතින් එක්වූ තරුණයායි.

"බෑ තව නවසීයක් දෙන්න එකට තුන්සීය ගානේ"

වෙළෙන්දා ඔවුන්ගේ ඉල්ලීම තරයේම ප්‍රතික්ෂේප කරයි.

එහෙනම් අල්ලලා දාමු..

අලුත් තරුණයා ඉන් ඉවත්වී යාමට සැරසෙයි.

මේ අතර වෙළෙන්දා ඔරලෝසු පෙට්ටියට අසුරන අතර අලුතින් එක්වූ තරුණයා යළි ක්‍රියාත්මක වේ.

වටිනවා ඒ ගාණට ගමුද තුනම දෙනවනම් නේ අඩු කරනව කියන්නේ...

කෙසේ හෝ තරුණයන් තිදෙනාම මුදල් එක් කොට ඔරලෝසු ගැනීමට පෙලඹෙයි. ගනුදෙනුව එතැනින් අවසන් වන අතර මිතුරන් දෙදෙනා ඔරලෝසු මිලට ගෙන සුපුරුදු මාවතේ ගමන් කරයි. අනෙක් තරුණයා වෙනත් අතකට ගමන් කරයි.

මෙම ඔරලෝසු ව්‍යාජ බාල වර්ගයේ ඒවා බව ගැනුම්කරුවනට වැටහීමට කෙටි කලක් ගතවේ.එය පිටකොටුවේ රුපියල් දාහකට නොවැඩි මිලකට ගත හැකි ඔරලෝසු වන අතර ඔරිජිනල් රොලෙක්ස් නොවේ.

පෙර කතාවේ අලුතින් එක්වූ තරුණයාද කූට වෙළෙන්දාගේම ගෝලයෙකි. ඔවුන් දෙදෙනා අවසානයේ එක්ව ලාභය බෙදා ගනියි. එම ව්‍යාපාරයේ ස්වභාවය එය වන අතර කලකට පිටකොටුව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල මෙම ව්‍යාපාරය ජයටම සිදු වේ.

 

මහ රෑ මහ මඟ අඩුවට සපත්තු..

 

පිටකොටුවේ රාත්‍රියේ සිදුවන ජාවාරම් අතර සපත්තු ජාවාරම ජය වූ එකකි. එය සිදු වන්නේ මල්වත්ත පාර ආරම්භයේ සිට බෝගහ හන්දිය දක්වා ප්‍රධාන මාර්ගයේය. එම මාර්ගයේ රාත්‍රී කාලයේ සපත්තු ව්‍යාපාරය ජයටම කෙරෙන අතර ඇතැම් වෙළඳුන් සිදු කරනු ලබන්නේ කූට ව්‍යාපාරයකි.

එම මඟ දෙපස සපත්තු කූට්ටම් හතරක් පහක් ඉටි කොළයක් මත තබාගෙන අලෙවිකරන කිහිපදෙනෙකි.ඔවුන් නිතර තම අළෙවිහල බවට පත්කර ගන්නේ අඳුරු පෙදෙසකි. මෙම පෙදෙසේ සිට ඔවුන් සිදු කරනු ලබන්නේ පළුදුවූ සපත්තු ඉතා අඩු මිලකට විකිණීමයි. බැලු බැල්මට ඉතා අලංකාර මෙම ඇතැම්  සපත්තු ලැකර් හෝ ස්ප්‍රේ යොදා කලු පැහැ කරන ලද ඒවා බව දැකබලා ගැනීමට හැකි වෙන්්නේ ඉර එළිය වැටීමෙන් පසුවය. එවිට සිදුවිය යුතු දේ වී හමාරය. ඇතැම් සපත්තු අඩි ඉන්ටස් ඇණ යොදා සවිකොට ඊට උඩින් කවරය යොදා ඇටවූ ඒවාය. රුපියල් හයසීයට හෝ ඊට අඩු මුදලකට කාගේ හෝ ඇඟේ ගසන මෙම සපත්තු කිසිම මොහොතක භාවිත කළ නොහැකි ඒවාමය.

අඳුරු අහුමුළුවල මේ බිඳෙන්නේ කාගේ හෝ සොඳුරු සිහිනයක් වීම ඛේදජනකය.

වංචාවට අහු නොවෙන්න අවධානෙන් මිලට ගන්න

මෙවැනි වංචාකාරී ක්‍රියාවන්ගේ උපත පිටකොටුව ආශ්‍රිතව සිදුවීමට ප්‍රධාන වශයෙන් බලපාන කරුණු කිහිපයකි. ඉන් පළමුවැන්න මෙවැනි වංචනිකයන් පිළිබඳ කිසිදු දෙයක් නොදන්නා අවිහිංසක ග්‍රාමීය ජනතාව බහුතරයක් පිටකොටුව සහ ඒ ආශ්‍රිත වීදිවල සැරිසරමින් ගමට යන අතර භාණ්ඩ ලබාගැනීමයි. ඒ බව දන්නා වංචනිකයන් තම ගතම දියකර සොච්චමක් සොයාගෙන ගම්බිම් බලායන මේ මිනිසුන් තමාගේ ප්‍රධානතම ඉලක්කය බවට පත්කර ගනිති. දෙවැනි කරුණ පිටකොටුවේ මහා පරිමාණ වෙළඳසැල්වලින් ඉවත් කරන භාණ්ඩ විශාල ලෙස එසේත් නැතිනම් ලොට් පිටින් ඉතා අඩු මිලට ගැනීමට ඇති හැකියාවයි. තෙවැන්න ඕනෑම අයකුට ඕනෑම මොහොතක භාණ්ඩ අලෙවි කිරීම සඳහා පිටකොටුව යොදා ගැනීමට ඇති හැකියාවයි.

මෙවැනි කරුණු නිසාම පිටකොටුව වංචාකාරයන්ගේ පාරාදීසයක් බවට ක්‍රමානුකූලව පත්ව තිබේ. ඒ වංචනික වෙළෙන්දන් පිටකොටුවේ සාධාරණ සහ වගකීම් සහගත වෙළෙන්දන්ටද කැලැලක්වන පරිදි තමන්ගේ තක්කඩි බිස්නස් ජයටම කරගෙන යති.

මෙයින් මිදීමට පාරිභෝගික ඔබ ප්‍රවේසම් විය යුත්තේම මේ අසීරු කාලයේ රුපියලක් පවා සෙවීම දුෂ්කර ක්‍රියාවක්ම වන හෙයිනි.

මේ අලුත් අවුරුදු ඇරඹුම් සමයේ පිටකොටුවේ හොර කල්ලිවලට කොටු නොවී බඩු ගැනීම ඔබේ වගකීමකි.

 

ඡායාරූප - ලේක් හවුස් මාධ්‍ය පුස්තකාලය