ඩෙංගි මර්දනය නොකළොත් රටම අනතුරේ

කෝවිඩ් - 19 අතරේ ඩෙංගි වැලඳුණොත් ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගෙයි.
ඔක්තෝබර් 14, 2020

මේ දිනවල දනන් තුඩ තුඩ රැව් දෙන්නේ කෝවිඩ් - 19 වසංගතයයි එහෙත් ඒ සමඟම අප අමතක නොකළ යුතු, කෝවිඩ් - 19 අනතුර දෙගුණ තෙගුණයකින් භයානක කරන තවත් රෝග තත්ත්යවයන් ගණනාවක් ගැන අවධානය යොමු කළ යුතුයි.

බෝ නොවන රෝග වගේම බෝ වන රෝග ද ඒ අතර සුවිශේෂීයි. ඩෙංගි (කටවහරේ ඩෙංගු) ඉන්ෆ්ලුවෙන්සා ඉන් ඉතාම වැදගත් වන්නේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ විට ඇති වන ලකුණු බොහොමයක් එවැනි රෝග ඇති විට ද හටගන්නා නිසයි.

ඩෙංගි වැනි රෝග වැලඳීමෙන් වැළකී සිටිම කෝවිඩ් - 19 බඳු වසංගතයක් පවතිද්දී අත්‍යාවශ්‍ය වන තවත් කරුණක් තිබෙනවා. මෙවැනි කාලයක හැකි තරම් රෝහල් කරා යාම සීමා කළ යුතුයි. අනවශ්‍ය ලෙස රෝහල් පරිසරයේ ගැවසීමෙන් නැති විසබීජ ශරීරගත විය හැකියි. ඒ වගේම අපේ සෞඛ්‍ය සේවාවටත් දරා ගත නොහැකි තරම් කාර්ය භාරයක් පැවරීමෙන් තත්ත්වය වඩ වඩාත් බරපතළ වෙනවා. ලොව මහා බලවතුන් ලෙස පිළිගන්නා රටවල පවා සෞඛ්‍ය ආයතනවලට කෝවිඩ් - 19 නිසා ඉඩකඩ ප්‍රශ්න, සේවා සැපයුම් ගැටලු ඇතිවූවා නම් දියුණුවෙමින් පවතින අපේ රට ගැන කවර කතාද? එනිසා වළක්වා ගතහැකි රෝග වළක්වා ගැනීම අපේ යුතුකමක්. වගකීමක්. එය අපේ යහපත් ශරීර සෞඛ්‍යයට වගේම රටේ යහපතටත් හේතු වෙනවා.

මෙවරත් ඩෙංගි මර්දන සතිය යෙදී ඇත්තේ ඔක්තෝබර් මස එනම් මේ මස 14 සිට 20 වැනිදා දක්වායි.

වෙනදා අපට කෝවිඩ් වෙනුවට මේ කාලය වන විට අවදානය යොමු වන්නේ ඩෙංගි ගැනයි. ඒත් මෙවර කාට කාටත් ඩෙංගි අමතකවෙමින් පවතිනවා. නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි මාසවල පවතින ඊසාන දිග මෝසම් වැසි සමය යළි ඩෙංගි හිස ඔසවන අවදානම වැඩි වෙනවා.

මේ වන විට අප එක් අවදානම් කාලයක් පහුකරලා. ඒ ජුනි, ජුලි නිරිත දිග මෝසම් සමයයි. ඔක්තෝබර් මුල් සතිය වන විට ඩෙංගි රෝගීන් 27,886 ක් වාර්තා වී තිබෙනවා. තිස්තුන් දෙනෙක් මිය ගොසින්. පසුගිය වසරට සාපේක්ෂව අප මේ වසරේ යම් ප්‍රගතියක් ලබලා. පසුගිය වසරේ ලක්ෂයක් ඩෙංගිවලට ගොදුරු වෙලා. මිය ගිය ගණන 157 ක්.

2020 වසරේ අප යම් ප්‍රගතියක් ලැබුවත් තවදුරටත් අප ඩෙංගිවලට ගොදුරු වීම අඩු කළ යුතුයි.

දිනපතාම වාගේ නිවෙස් අවට පවිත්‍රකිරීම, ජලය පිරුණු තැන් ඉවත් කිරීම කළ යුතුයි. දින දෙකක් ගත වන විට මදුරු කීටයන් ජලය පිරුණු භාජනයක බෝවෙලා. කෝවිඩ් - 19 වසංගතය නිසා මහජන සෞඛ්‍ය නිලධාරින්ට ආරක්ෂක සේවයට නිවෙසින් නිවෙසට පැමිණ ජලය පිරුණු තැන් බලන්නට කාල වේලාවක් නොමැති වන්න පුළුවන්. ඒ නිසා සතියක් තුළ නොව දිනපතා ජලය පිරෙන තැන් බලා ඉවත් කරන්න.

මෙවර ඩෙංගි මදුරුවන් වැඩිපුරම බෝවී ඇත්තේ එනම් කීට ස්ථාන වැඩිපුර තිබී ඇත්තේ නිවෙස්වලටත් වඩා

ගොඩනැඟිලි ඉදිකිරීම්වල

පාසල්වල

කම්හල්වල

පොදු ස්ථානවල

ආගමික ස්ථානවල

හැකි අයුරින් මෙවැනි ස්ථාන පවිත්‍ර කිරිම අප සැමගේම ජාතික යුතුමකක්.

මෙවරත් වැඩිපුරම ඩෙංගි රෝගීන් වාර්තා වී ඇත්තේ සුපුරුදු පරිදි කොළඹින්. වෙනදා වැඩි වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෙවැනියට වැඩිපුරම ඩෙංගි රෝගීන් වාර්තා වුණත්. මෙවර දෙවැනියට වැඩි වශයෙන් ඩෙංගි රෝගීන් වාර්තා වන්නේ මහනුවරින්. සැප්තැම්බර් මාසයේදී කොළඹ දිස්ත්‍රික්කයට ද වඩා මහනුවරින් ඩෙංගි රෝගීන් වාර්තා වෙලා. රෝගීන් වාර්තාවීම වැඩි පළාත් මෙන්ම අඩුම පළාත් පවා දැඩි අවධානයකින් කීටයන් බෝවිය හැකි ස්ථාන පිරිසුදු කළයුතුයි. කෝවිඩ් සමඟ ඩෙංගි මාරයාත් හිස එසවුවහොත් ප්‍රතිඵල සිතා ගන්නට බැරි තරම් භයානකයි.

ඩෙංගි රෝගියකුට කෝවිඩ් - 19 වැලඳුණොත් කෝවිඩ් - 19 රෝගියකුට ඩෙංගි වැලඳුණොත් එය සෞඛ්‍යයට මොනතරම් තර්ජනයක්ද?

ඩෙංගි හා කෝවිඩ් - 19 ගැන අප දැනගත යුතු දේ.

බොහෝ පුද්ගලයන්ට ඩෙංගි සහ කෝවිඩ් - 19 තදබල රෝග ලකුණු පළ කරන්නේ නැහැ. නිවෙසේ ඇඳ විවේකයෙන් සිටීමෙන් වැඩි දෙනකු සුවපත් වෙනවා. දින කිපයකින්, සති කිහිපයකින් සුවය ලබනවා.

වැඩි දෙනකුට සුළුවෙන් රෝග දෙක බලපෑවත් මේ දෙකම බරපතළ ලෙස බලපාන රෝගීන් සිටිනවා.

ඕනෑම වයසක කෙනකු මේ රෝග දෙකටම ගොදුරු විය හැකියි.

වැඩිහිටියන්ට රෝගයෙන් සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙනවා. හෘද රෝග, දියවැඩියාව, වැනි බෝ නොවන රෝගයකින් පීඩා විඳිනවා නම් ස්ථුල නම් අවදානම ඉතා වැඩියි.

උණ, හුස්ම ගැනීමේ අපහසුතාව, හිසරදය, වෙහෙස, අතපය වේදනාව වැනි ලකුණු රෝග දෙකටම පොදුයි. රෝගවල සංකූලතා රෝග පරීක්ෂාවේ ප්‍රතිඵල දැන ගැනීමට කලින් ඇති වෙන්න පුළුවන්.

මෙහි බීජෞසන සමය දින 3 - 10 ක් පමණ වෙනවා. කෝවිඩ් - 19 ට දින 14 දක්වා බීජෞසන සමයක් පවතිනවා.

ඩෙංගි බෝ කරන්නේ ඊඩිස් වර්ගයේ මදුරුවකුගෙන්. ඩෙංගි වෛරසය ශරීරගතවූ පුද්ගලයකු දෂ්ඨ කිරීමෙන් මදුරුවාට රෝග බීජය ශරීරගතවන අතර ඒ මදුරුවා නිරෝගී කෙනකුට දෂ්ට කිරීමෙන් රෝගය බෝවෙනවා.

ඉක්මනින් හඳුනාගන්න

දැන් තමන්ට ඇත්තේ ඩෙංගි ද කියා ඉතා ඉක්මනින් හඳුනා ගැනීම වෙනදාටත් වඩා වැදගත්. කෝවිඩ් - 19, ඉන්ෆ්ලුවෙන්සා, මී උණ වැනි පවත්නා උණ ප්‍රධාන රෝග ලකුණක් වන රෝග අතරේ නැත්නම් විශාල ගැටලුවක් පැන නඟිනවා.

හඳුනා ගන්නේ කෙසේද?

උණ සැදී දින දෙකකට පසුව සම්පූර්ණ රුධිර පරික්ෂාවක් කරන්න (ජ්ඕඛ් - ජ්භතත ඕතධධඤ ඛ්ධභදබ) ඩෙංගි වෛරසය ශරීරගතවී ඇති බව තහවුරු කිරිමට ව්ඉ 1 හා ඩෙංගි ප්‍රතිදේහ පරීක්ෂාව සිදු කරනු ලබනවා. මේ පරීක්ෂාවන්ගෙන් ඩෙංගි උණත්, ඩෙංගි රක්තපාත උණත් වෙන්කර හඳුනාගත නොහැකියි.

ඩෙංගි කිහිපවතාවක් සෑදෙන්න පුළුවන්

ඩෙංගි වෛරස් ප්‍රභේද හතරක් තියෙනවා. යම් පුද්ගලයකු වරක් ඩෙංගු රෝගයට ගොදුරු වූ විට ප්‍රතිශක්තිය ඇති වන්නේ ඒ අදාළ ප්‍රභේදයට පමණයි. අනිත් ප්‍රභේද මඟින් රෝගී වීමේ අවදානම එලෙසින්ම තිබෙනවා. ඒ වගේම යළි යළිත් වැලඳීමේදී ඩෙංගි රක්තපාත තත්ත්වයට පත්වීමේ අවදානම වැඩියි.

රෝහලට යනතුරු නිවෙසේදී කළ හැකි දේ

රුධිර පරීක්ෂණ ප්‍රතිඵල එනතුරු හෝ රෝහල් ගතවනතුරු රෝගියාට උණ, වේදනාව සමනය කිරීමට පැරසිටමෝල් පෙති නියමිත වාර ගණනට නියමිත මාත්‍රාවට ලබා දෙන්න. ළදරුවන්ට හා දරුවන්ට පැරසිටමෝල් සිරප් වශයෙන් දුන්නත් වෛද්‍ය උපදෙස් අකුරට පිළිපදිමින් මාත්‍රාව, වාර ගණන වරද්දන්නේ නැතුව දිය යුතුයි. බීට්රූට්, කෝපි වැනි ආහාරපාන ගැනීමෙන් වැළකීමත් වැදගත්. මල, වමනය මඟින් රෝගය හඳුනා ගැනීම එවිට අසීරු වෙනවා.

අවදානම් ලක්ෂණ මොනවාද

ඩෙංගි කල් ඇතිව ඉක්මනින් හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමෙන් අවදානම් තත්ත්වයට පත්වීම වළක්වා ගන්න පුළුවන්.

 

අවදානම් ලකුණ

උදරයේ ඇතිවන තද වේදනාව

නොනවත්වා වමනය යාම

අධික නිදි මත (නොසන්සුන් බව/+අප්‍රාණික බව)

රුධිර වහනය වීම (විදුරුමසෙන්, නාසයෙන්) දුඹුරු රතු පැහැ වමනය, කළු පැහැ මළ පිටවීම)

පැය 6 කට වැඩි කාලයක් මුත්‍ර පිට නොවීම හෝ පිටවන මුත්‍රා පමාණය අඩුවීම.

 

උපදෙස් - ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ

වරුණ ජයවර්ධන

 

2020/10/14 තරුණි පුවත්පත බලන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.