සෞඛ්‍ය රැක ගන්න දරුවන්ට ම කියා දෙන්න

නොවැම්බර් 11, 2020

පැතිරි යන අතිශයින් භයානක වෛරස් රෝගයන්ගෙන් දරුවන් ආරක්ෂා වීමට මාපියන් සේම දරුවන් ද දැනුවත්ව සිටීම ඉතාම වැදගත්.

දරුවන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළ සහ ළදරු /දරු මිතුරු ක්‍රමවේද හඳුන්වා දීමේ අවශ්‍යතාව හොඳීන්ම දැනෙන කාලයකි මේ. දරුවන්ට සනිපාරක්ෂකව සිටීමට දැනුවත් කිරීම සිදු කරන්නේ කෙසේද යන්න මාපියන් දැන සිටිය යුතුමයි.

වැඩිහිටියකුට යම් කිසි දෙයක් හුරු කිරීමට වඩා දරුවකුට හුරු කිරීම ඉතා පහසු ය.

දරුවන් යනු අනුකාරකයින් සේම ඕනෑම ආකාරයකට ඉතා පහසුවෙන් හැඩ ගැස්සවීමට හැකි ජීවීන් කොටසකි.

කුඩා කාලයේදී ලබාගත් යහපත් හැසිරීම් රටාව දරුවා වැඩෙත් ම නොදැනීම ඒවා ජීවන පුරුදු බවට පත් වේ. මේ නිසා හැකි කුඩාම කාලයේ සිට යහපත් පුරුදු, හොඳ සනීපාරක්ෂක පුරුදු සහ හැසිරීම් දරුවකුට පුරුදු කිරීම අවශ්‍ය වේ.

වසරක, දෙකක පමණ වයසේ දරුවන් කුඩා දරුවන් ලෙස සලකා සනීපාරක්ෂක පුරුදු හා යහපත් හැසිරීම් පුරුදු පුහුණු නොකිරීමෙන් දරුවා තේරෙන කාලය වන විට පුහුණු කිරීම අපහසු විය හැක.

දරුවන්ට හොඳ සෞඛ්‍ය පුරුදු හුරු කළ හැකි ක්‍රම

*ඉතාම කුඩා කල සිට ජීවන පුරුදු ඇති කිරීම තුළින්

*අනුකරණය කිරීම තුළින්

*හොඳ පුරුදු අගය කිරීම තුළින්

*කවි සහ සින්දු ඇසුරෙන්

*පින්තූර කාඩ්පත් මඟින්

*කතන්දර මඟින්

*තරු ලකුණු ලබා දීම සහ සුළු තෑගි දීම මඟින්

*අවශ්‍යම අවස්ථාවල වීඩියෝ දර්ශන මඟින්

*විවිධ කෙළි සෙල්ලම් ඇසුරෙන්

දරුවා අවදිවීමේ සිට පිරිසුදු කිරීම, කෑම කැවීම ,වටපිටාව පිරිසිදු කර ගැනීම, ආගමක් ඇදහීම වැනි දේ වසරකට අඩු කාලයේ සිටම පුරුදු පුහුණු කිරීම, ආභාසය ලබා දීම මාපියන්ට පහසුවක් ගෙන දේ.

අත් සේදීම

අත් සේදීම යනු දරුවාට ඉතාම කුඩා කල සිට පුරුදු පුහුණු කළ යුතු ඉතාම හොඳ සෞඛ්‍ය පුරුද්දකි.

පැතිරී යන භයානක වසංගත රෝගවලින් මෙන් ම ජීර්ණ පද්ධතිය, ස්වසන පද්ධතිය ආශ්‍රිතවත් වෙනත් බොහොමයක් රෝගාබාධවලිනුත් දරුවා ආරක්ෂා කිරීමට නිවැරදි ලෙස අත් සේදීම වැදගත් වෙයි.

අත් සේදීම කළ යුතු ප්‍රධාන අවස්ථා

*ආහාර ගැනීමට පෙර හා පසු

*ආහාර පිසීමට පෙර හා පසු

*වැසිකිළි භාවිතයෙන් පසු

*පොදු ස්ථාන, අපිරිසුදු ද්‍රව්‍ය හෝ පෘෂ්ඨයක් ස්පර්ශ කිරීමෙන් පසු

*කිවිසුම් යෑමේදි,

*කහින විට හෝ නාසයෙන් සොටු සීරීමට අත් භාවිත කිරීමෙන් අනතුරුව

*සතුන් ස්පර්ශයෙන් පසු නිවැරදිව අත් සෝදන ක්‍රමය

*දෑත් වතුරෙන් තෙමා ගන්න.

*සබන් අතේ හොඳීන් ගාගන්න.

* තත්පර විස්සක් පමණ හොඳීන් අතුල්ලන්න.

*තත්පර දහයක් විස්සත් අතර වතුරෙන් සෝදන්න.

*ටිෂූ එකකින් හෝ තුවායකින් පිසින්න.

මෙම ක්‍රමය දරුවන් කැමැති පින්තූර ආශ්‍රිත ව දරුවන්ට පෙනෙන ලෙස වතුර කරාමය අසල කුස්සියේ බිත්තියේ වැසිකිළියේ දොර වැනි තැන්වල ඇලවිය හැක.

 

 

2020/11/11 තරුණි පුවත්පත බලන්න