තිස් වැනි කෝවිඩ් මරණය කියා දුන් පාඩම

නොවැම්බර් 18, 2020

මෙන්න දැන් ලැබුණු ඉතා කනගාටුදායක පුවතක්. නව කොරෝනා වෛරසය ආසාදිත විසිතුන් හැවිරිදි තරුණයකු මියගොස් තිබෙනවා. ඔහු මියගොස් ඇත්තේ වෛරසය ආසාදිත වීමෙන් පසු හටගත් දියවැඩියා සංකුලතාවක් හේතුවෙනි. “

එසේ වාර්තා වූයේ අපේ රටේ තිස්වැනි කෝවිඩ් - 19 මරණයයි. මේ මරණය අපට පාඩම් රැසක් කියා දුනි. මූලිකම පාඩම නම් ඝන ආහාර දීමට පටන් ගත් දිනයේ සිට දරුවාට කෘත්‍රිම ආහාර, ක්ෂණික ආහාර නොදී සමබල ආහාරයක් ලබාදීමය. අනෙක් වැදගත් පියවර වන්නේ දිනපතා දරුවාට සෙල්ලම් කිරීමට, ව්‍යායාම කිරීමට කාලයක් වෙන් කිරීමය. මාපියන් පමණක් නොව මුත්තණුවන්, මිත්තණියන් පවා ජීවත්ව සිටියදී දරුවන් මියයාමේ අලුත්ම ප්‍රවණතාවට ප්‍රධාන හේතූන් වන්නේ අයහපත් ජීවන රටාවය. දරුවන් අඩු වයසින් බෝ නොවන රෝගවලට ගොදුරු වෙයි. කෝවිඩ් -19 වැනි වසංගත රෝගයක් දියවැඩියාව, හදවත් රෝග, ඇදුම වැනි නිදන්ගත රෝග ඇති අයට පහසුවෙන් වැලඳෙනවා පමණක් නොව සංකූලතා ඇතිවී මියයාමේ ඉඩ ද වැඩි කරනවා. මේ දක්වා වැඩි දෙනෙක් මිය ගොස් ඇත්තේ හෘදයාබාධ, පිළිකා වැනි නිදන්ගත බෝ නොවන රෝගයකිනි. සෞඛ්‍ය බලධාරීන් දිගින් දිගටම බෝ නොවන රෝග නොවැලඳෙන ලෙස ජීවත් වීමටත් එවැනි රෝගයකින් පීඩා විඳීනවා නම් රෝගය පාලනයකර ගන්නා ලෙසටත් උපදෙස් ලබා දෙන්නේ ඒ නිසාය.

නිදන්ගත බෝ නොවන රෝග අතරින් වැඩිම පිරිසක් පීඩා විඳීන්නේ දියවැඩියා රෝගයෙනි. එබැවින් ඒ පිළිබඳ දැනුවත් කරන විශේෂ ලිපියක් අපි පසුගිය සතියේ පළ කළෙමු. අද අපි තව දුරටත් මේ නිදන්ගත රෝගය ගැන දැනුවත් වෙමු.

දියවැඩියා රෝගය සුලබ මෙන්ම ඒ සම්බන්ධව ඇති මිථ්‍යා මත ද රාශියකි.

දියවැඩියාව සහ කොලෙස්ටරෝල්

“මට කොලෙස්ටරෝල් තිබුණට දියවැඩියාව නම් නැහැ.“ සමහරු කියන්නේ අභිමානයකිනි. එහෙත් එසේ ආඩම්බර වීම මොන තරම් අනුවණකමක්ද? ඔවුන් එසේ පුරසාරම් දොඩන්නේ ඒ ගැන නිසි අවබෝධයක් නොමැති නිසාය.

රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම දියවැඩියාවටත් බලපායි.

අද අපේ ආහාර රටාව වෙනස් වී ඇත. වැඩිදෙනෙක් ආහාරයට ගන්නේ තෙල්, ලුණු, සීනි අධික ආහාරයි. ඔවුහු දියවැඩියාව නිසා සීනි, පිටි අඩංගු ආහාර සීමා කළත් සිතේ හැටියට ලුණු, තෙල් අඩංගු ක්ෂණික ආහාර කෑමට ගනිති.

සීනි අධික කෑම බීම නීරෝගී අයකු වුවත් කෑමට ගතයුත්තේ පමණ දැනගෙනය. සීනි අධික ආහාර ඉක්මනින් ජීර්ණය වෙයි. එනිසා ඉක්මනින් රුධිරයට සීනි එක් වෙයි. බත්, එළවළු වැනි ආහාර ජීර්ණය වී රුධිරයට එක් වීමට ඊට වැඩි කාලයක් ගතවෙන අතර රුධිරයට සීනි එක්වන්නේ ක්‍රමානුකූලවය. නිතර නිතර සීනි, පිටි අඩංගු කෑම බීම ගන්නා විට රුධිරයේ වැඩි සීනි පාලනය කිරීමට වැඩිපුර ඉන්සියුලින් නිපදවෙයි. වැඩි සීනි මේදය ලෙසින් උදරයේ, උරිස් පිටුපස, තට්ටම්වල තැන්පත් වෙයි. ව්‍යායාමයක් නොකෙරෙන නිසා වැඩි සීනි වැය වීමට මඟක් නොතිබීම මීට ප්‍රධාන හේතුවකි. තැන්පත් වන මේදය ප්‍රයෝජනයට නොගැනීම නිසා උසට වඩා බර වැඩිවෙයි. මේදය තැන්පත් වීම වැඩිවන විට රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවෙයි. ගැඹුරු තෙලේ බඳීන ලද ආහාර ගැනීම නිසා ට්‍රාන්ස්මේදය ද වැඩිවෙයි. රුධිරවාහිනීවල තැන්පත්වූ තෙල් ඛාදනය කිරීමට, වෙන් කිරීමට ට්‍රාන්ස්මේදයට පුළුවන. එවිට රුධිර කැටියක් සිරවීමට, මේද කොටසක් ගැලවී යාමට ඉඩ තිබෙයි. එහි අවසන් ප්‍රතිඵලය හෘදයාබාධයක් ඇතිවීමය.

රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩිවන්නේ රුධිරයේ සීනි මට්ටම වැඩිවූ විටය. මෙවිට තරබාරු බව වැඩිවෙයි. නිතර නිතර ඉන්සියුලින් නිපදවීමට සිදුවන නිසා අග්න්‍යාශය දුර්වල වෙයි. සීනි මට්ටම පාලනය කිරීමට අවශ්‍ය තරම් ඉන්සියුලින් නිපදවීමට අසීරු වෙයි. මේ නිසා වැඩි අහිතකර කොලෙස්ටරෝල් දියවැඩියාවට ප්‍රබලවම බලපායි.

අග්න්‍යාශය දුර්වල වුව ද ආහාර ගැනීම එක් වේලක්වත් මඟ නොහැරී කෙරෙන්නක් නිසා වැඩි සීනි පාලනය නොවෙයි. රුධිරයේ සීනි මට්ටමට වැඩිවී හිසේ සිට දෙපතුල දක්වා සෑම ශරීරාංගයකටම හානිවෙයි. මොළය, හදවත, වකුගඩු, අක්මාව, ස්නායු ඇතුළු සියලු වැදගත් අවයවවලට ඉන්ද්‍රියවලට හානි සිදුවෙයි. මොළයට සීනි අඩුවෙන් ලැබුණත් වැඩියෙන් ලැබුණත් හානිකරය. කෝමා තත්ත්වයක් ඇතිවීමට පුළුවන.

කෝවිඩ් -19 නිසා පළාත් වසා දැමීම නිසා වැඩිදෙනෙක් වැඩිපුරම කෑමට පෙලඹෙන්නේ පිටි සහිත ආහාර සහ පැණි රස කෑමය. එය කෙතරම් භයානකදැයි තේරුම් ගැනීමට කාලය එළඹී තිබෙයි. චූන් පාන්කරු ළඟට දුවගෙන යන පුරුද්ද නතරකර නිවෙසේම පිළියෙලකර ගත් ආහාර පාන ගැනීම පුරුද්දක්කර ගැනීමට කාලය එළඹී ඇත.

 

උපදෙස් - ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය

ශාන්ති ගුණවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.