දරු දැරියන් බිලි ගන්නා සමාජ නිරුවත...

ජූලි 14, 2021

 

(පසුගිය දින කිහිපයේ දී බොහෝ දෙනාගේ කතා බහට ලක් වූයේ මිනිසත් බවට තරම් නොවන සිද්ධියකි. එය එක් සිදුවීමක් ලෙස අපට පෙනුණද මෙය සැකසී ඇත්තේ සිද්ධි දාමයකිනි. 15 හැවිරිදි දැරියක් සිය මවගේ ද අනුදැනුම ඇතිව අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ කාමාතුරයන්ට විකිණෙන පුවත බොහෝ ළතෙත් සිත් ඇත්තන්ගේ හදවත් කම්පනයට පත් කළ පුවතක් විය. අම්මා යන නාමයට පවා අගෞරවයක් වන සේ හැසිරුණු ඒ අම්මා දරුවකු කුසින් බිහි කළ ගැහැනියක් පමණි. )

 

රටක දැයක අනාගතය වන්නේ දරුවන් ය. මිනිසුන් අතර පමණක් නොව, සතා සිව්පාවෝ වුවද තම දරුවන් පණ සේ රකිති. ඇතැම් සත්තු තම රැලේ සිටින සෑම පැටවකු ම තමාගේ දරුවකු ලෙස සිතා ආරක්ෂාව සපයති.

මෙය ලෝකයේ පැවැත්මට, සත්ත්ව සංහතියේ පැවැත්මට අවැසි වූ ගුණධර්මයකි. සතුන්ට වඩා මනසින් උසස් යැයි කියා ගන්නා මිනිසුන් ඇතැම් විට සතුන් තරමටවත් ලෝකයේ පැවැත්මට අනුගතව කටයුතු කරන්නේ දැයි සිතෙන කරුණු කාරණා එමට ය.

පසුගිය දින කිහිපයේ දී බොහෝ දෙනාගේ කතා බහට ලක් වූයේ මිනිසත් බවට තරම් නොවන සිද්ධියකි. එය එක් සිදුවීමක් ලෙස අපට පෙනුණද මෙය සැකසී ඇත්තේ සිද්ධි දාමයකිනි. 15 හැවිරිදි දැරියක් සිය මවගේ ද අනුදැනුම ඇතිව අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ කාමාතුරයන්ට විකිණෙන පුවත බොහෝ ළතෙත් සිත් ඇත්තන්ගේ හදවත් කම්පනයට පත් කළ පුවතක් විය. අම්මා යන නාමයට පවා අගෞරවයක් වන සේ හැසිරුණු ඒ අම්මා දරුවකු කුසින් බිහි කළ ගැහැනියක් පමණි.

ගනිකා වෘත්තියේ යෙදී තම දරුවන් පෝෂණය කරන අම්මාවරුන් අප සමාජයේ නැතුවා නොවේ. වෙන කරන්නට යමක් නොමැතිකම නිසා දරුවන්ගේ කුස පිරවීමට වෙන මඟක් නොමැති නිසා දරුවන්ට හෝ තම වෘත්තිය ගැන නොදැනෙන්නට එම වෘත්තියේ යෙදෙන අසරණ මව්වරු සිටිති. එහෙත් අසා දැක ඇති පරිද්දෙන් එවැනි අම්මාවරු තමා ගිය මඟ තම දියණියන්ට යාමට නොතබා හැකි අයුරින් ඔවුන් සුරක්ෂිත කරති. අපේ රටේ සිටින්නේ දරුවන් විකුණා තම කුස පුරවා ගන්නා මව්පියවරුන් නොවේ. කුලී වැඩ කිරීමෙන් තම දරුවන් පස් හය දෙනා පෝෂණය කළ මව්වරු අපේ සමාජයේ කොතෙකුත් වෙති. මේ ගැහැනිය සැබෑම මවක්දැයි සිතෙන්නේ ඒ නිසයි.

ඕනෑම දරුවෙක් තමාට වන යම් අපහසුතාවකදී, අසාධාරණයක දී, සිත් රිදවීමක දී, රෝගපීඩාවක දී රැකවරණය සොයන්නේ තම මව්පියන්ගෙනි. විශේෂයෙන් ම මවගෙනි. මේ දියණියට තමාගේ රැකවරණයට සිටිය යුතු මව විසින්ම තමා වෙළෙඳ භාණ්ඩයක් කොට ඇත්නම් වෙනත් පිළිසරණක් කොයින් ද?

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව. මෙවැනි ආප්තෝපදේශ සිහියට නැගෙන්නේ දරුවන් රැකිය යුතු, සමාජ මෙහෙවරක යෙදෙන වෘත්තීන්හි නියැළි පුද්ගලයන් ද තම කාම පවස නිවා ගැනීමට තමාගේ දියණියක වන් දැරියකගේ සිරුරකට ලොල් වූ බව ඇසෙන විටයි. සමාජයේ ඉහළ යැයි කියන වෘත්තීන් හි නියැළෙන, සමාජ රක්ෂිත වෘත්තීන්හි නියැළෙන පුද්ගලයන්, සමාජ ශෝධකයන් යහමඟ පෙන්වන්නන් ලෙස ගැනෙන ආගමික පූජකයන් පවා මේ දැරියගේ සේවා දායකයන් වී තිබීම කනගාටුවට කරුණකි. එය අපට සිතන්නට පොලඹවන්නේ පිටින් පෙනෙන සංස්කෘතික සමාජයට වඩා යටින් දිවෙන මජර සමාජ තත්ත්වයක අංගෝපාංගයන් ඇති බවය.

ඇතැම් පුද්ගලයන් මෙය කඩයෙන් බඩුවක් මිලදී ගන්නා සිද්ධියක් සේ ලඝුකොට තැකීමට උත්සාහ දරති. විකිණීමට තිබූ බඩුවක් මිල දී ගැනීම වරදක් නොවන බවට මත පල කරති. එහෙත් සිතා බලන්න, ඔබේ දියණිය කඩයක තබා විකිණීමට ඔබට හැකි ද? එවිට ඇයද විකිණීමට ඇති අනෙකුත් භාණ්ඩ හා සමාන ලෙස සිතීමට ඔබට හැකියාව ඇත්නම් මේ දෙස ද එලෙස බැලුවාට කම් නැතැයි මම ඔබට යෝජනා කරමි.

ලිංගිකත්වය අපේ සමාජයට තහනම් වදනක්දැයි තවත් අය තර්ක කරති. නැත, ලිංගිකත්වය ජුගුප්සාජනක, අමුතු දෙයක් නොවේ. ඔබත් මමත් අප හැම දෙනා මෙලොව එළිය දැක ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එය සෑම සත්ත්වයකුට ම පොදු, සාමාන්‍ය සංසිද්ධියකි. තමාට ගැළපෙන, සමාජ ආචාර ධර්මයන්ට පටහැනි නොවන ලෙස එම හැඟීම් සන්තර්පණය කරගැනීමට බාධාවක් නැත. එහෙත් ලෝකය ගැන තවමත් හරි වැටහීමක් නැති, බාල වයස්කාර ගැහැනු දරුවකු සමඟ ලිංගිකව එක්වීමට කැමැත්තක් ඇති පුද්ගලයන් විකෘති මානසිකත්වයකින් පෙළෙන පිරිසකි.

කාන්තා දිනවල දී පමණක් එළියට එන කාන්තා සංවිධාන අපේ රටේ කොතෙකුත් ඇත. එහෙත් කාට හෝ සම්මානයක් යැයි කියනා ලෝහ කැබැල්ලක් උත්සවශ්‍රීයෙන් අතමිට මොළවා තමාගේ මඩිය තරකර ගන්නවා මිස ඔවුන් අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් කළ යමක් නොමැති තරම් ය. මෙවැනි බාලවයස් දැරියන් අපයෝජනය කළ අවස්ථාවක දී වත් එයට පෙරවත් ඔවුන් රටේ කාන්තාවන් ගැන සිතා කළ යමක් තිබුණා නම්, අපට මෙතරම් අවාසනාවන්ත සිද්ධීන් ගැන කතා කරන්නට සිදු නොවනු ඇත.

මේ එක් සිද්ධියක් පමණි. එහෙත් මේ සති තුනක පමණ කාලය ඇතුළත බාල වයස්කාර දරුවන්ට සිදු වූ අපයෝජන සිද්ධි කිහිපයකි. තමාගේ මවගේ අනියම් සැමියකු අතින් දූෂ්‍ය වූ බාලවයස්කාර දැරියක් පිළිබඳ අසන්නට ලැබුණු පුවත ද අනුවණ මවකගේ ක්‍රියාකලාපය නිසා වූ සිද්ධියකි. මව්පියන් වූ විට තමා ගන්නා තීරණ තම දරුවන්ට බලපාන ආකාරය ගැන දහස්වරක් සිතිය යුතුය. තමාගේ ක්‍රියා කලාපය නිසා තම දරුවාගේ ජීවිතය අනතුරකට වැටුණහොත් එය කොතරම් පාපකර්මයක්දැයි සිතා බලන්න.

තවත් දැරියක් තමාට සිදු වූ අකටයුත්තක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට මව සමඟ පොලීසියට ගිය අවස්ථාවේ මවගේ ඇස්බැල්ම දුරස් වූ ඇසිල්ලේ පොලිසියේ දී ම ඇයව අතපත ගා සිප ගැනීමට කළ උත්සාහයක් පිළිබඳ සිදුවීමකි. නීතිය රකින්නට සිටින අයම නීතිය අවනීතිය කරයි නම් එවන් විටෙක සමාජයට ඇතිවන පීඩනය කොතරම් ද? තවත් සිදු වීමක් වූයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සිටින ආයතනයක එම දරුවන් වෘත්තීය පුහුණුවක් සඳහා යොමු කළ ආයතනයක දී සිදු වූවකි. එහිදී පිරිමි දරුවන් තිදෙනෙකු එම ආයතනයේ සිරකොට තබාගත් කාන්තාවක් එම දරුවන් අපයෝජනය කොට තිබුණි. ගැහැනුකමට නිගා දෙන මෙවන් ගැහැනුන් ස්ත්‍රී අංගෝපාංග පිහිටි නාමමාත්‍රික ගැහැනු පමණකි. මවක් වුවත් නොවූවත් සෑම ගැහැනියකට ම මව්වත්කම තිබිය යුතුය. නියම ගැහැනුකම එයයි.

අන්තර්ජාලයේ සැරිසැරූ වීඩියෝවක් ඇතැම්හු තලුමරමින් රස බැලූහ. එය බාලවයස්කාර දැරියක් ලිංගික කාර්යයේ යෙදෙන ආකාරය වීඩියෝකර තිබූවක් බව පැවසේ. මේ දරුවා රිසි සේ හැසිරෙන්නට ඇත්තේ ඇගේ මව්පියන්ගේ සොයා බැලීමේ යම් අඩුපාඩුවක් පවතින නිසයි. කෑම-බීම, ඇඳුම්-පැලඳුම්, අධ්‍යාපනය පමණක් දරුවන්ට ලබා දී ඵලක් නොවන බවට මෙය සාක්ෂියකි. දරුවන්ට කුඩා කල සිට ම හරි වැරැද්ද තේරුම් කරදීමත් අධ්‍යාත්මික සංහිඳියාවක් ලබා දීමත් පසුකාලීනව යහපත් දරුවකු සමාජයට දායාද කරලීමේ පදනමයි. මේ අපයෝජනයන්ට දායක වූ පුද්ගලයන්ට ස්වයං විනයක් තිබිණි නම් මෙවන් අවස්ථාවකට මුහුණ දීමට ඔවුනට සිදු නොවේ. මනස, හැඟීම් පාලනය කිරීමේ බලය පුද්ගලයකු සතුව තිබේ නම් ඔහු හෝ ඇය නියම මනුස්සයෙකි.

මේ දරුවන්ට බාල වයසේ දී ම මෙවන් කාර්යයන්ට යොමු වන්නට හේතු වූ කාරණා අප සමාජයක් ලෙස සොයා බැලිය යුතුය. එක් වරදකාරයකුට දඬුවම් පැමිණවීමෙන් පමණක් මෙය අවසන් කළ නොහැකි ය.

කාන්තා කටයුතු අමාත්‍යංශය, ළමා ආරක්ෂක අධිකාරිය, කාන්තා සංවිධාන ආදී එකී මෙකී නොකී අටෝරාසියක් ආයතන මේ ලක් දිවේ නොපිහිටි අස්සක් මුල්ලක් නැති තරම් ය. සෑම පොලිසියක ම කාන්තා හා ළමා කටයුතු කාර්යාංශයක් පවතී.

එහෙත් හිංසනයට පත්වන දරුවන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වනවා මිස අඩුවක් දකින්නට නැත. පැමිණිල්ලක් පැමිණි විට එය විභාග කරනවා පමණක් වෙනුවට සමාජයේ සිදු වන මෙවන් සිදු වීම් ගැන සෙයා බලා එවැනි දේ සිදු නොවන තැනට වැඩ කිරීම එම ආයතනවල වගකීම විය යුතුය.

සමාජයක් ලෙස අප හැම දෙනා ද මෙම වගකීමේ කොටස්කරුවන් විය යුතුය. තමාගේ දරුවා ගැන පමණක් නොව, අනෙක් දරුවන් ගැන ද තමාගේ දරුවකු ලෙස සිතා කටයුතු කළ යුතුය. සමාජයේ දී යම් අකටයුත්තක් සිදු වනවා නම් ඒ පිළිබඳ හඬ අවදි කළ යුතුය. අනුන්ට සිදු වන වැරැද්දක දී වුවද මුනිවත රැකීම එම වැරැද්දට අනුබල දීමකි. එම නිසා එවැනි වැරැදි සම්බන්ධයෙන් ඔබට ඇති වගකීමෙන් මිදීමට නොහැකි ය.