මේ දවස්වල මුහුදු මාළු කන්න හොඳ ද?

මේ ලිපිය කියවලා සිතේ සැකය දුරු කර ගන්න.
ජුනි 30, 2021

 

රට වටකොට ඇති මහ මුහුද නිසා අපට මුහුදත් සමඟ ඇති ගනුදෙනු බොහෝ ය. ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරුදාවලිය ලත් අපේ මේ පුංචිම පුංචි දිවයින දෙස ලොව අනෙකුත් බොහෝ රටවල් එදා මෙන් ම අදටත් දෑස් දල්වා බලා සිටිනුයේ එහි ඇති නොයෙකුත් සුවිශේෂතා නිසාම ය.

 

සංචාරක ආකර්ෂණය නොඅඩුව පවතින්නේ සුන්දර වෙරළ තීරය නිසා ය. මාළු ඇල්ලීම තම ජීවිකාව කරගත් ධීවර ප්‍රජාව ධීවර බෝට්ටු රැගෙන පැය 24 මෙන්ම දින ගණන් ද මහ මුහුද සමඟ බද්ධ ව සිටියි. මේ නිසා කවදත් අප යහමින් මාළු කෑමට පුරුදු වූ අයයි. ඇඹුල් තියල් ක්‍රමයට, මිරිසට, තෙලට, ජාඩි, කරවල මේ ආදී මාළු ආශ්‍රිත නිෂ්පාදන කෙරෙහි කවදත් රුචිකත්වයක් දැක්වූ අපගේ බත්පතෙහි මාළු කෑල්ලක් දෙකක් වරදින්නේ නැති තරම් ය.

පසුගිය වසරේ පැලියගොඩ කොරෝනා පොකුර සමඟින් මාළු කෑමෙන් මදක් ඈත්වූ පිරිස මේ දිනවල නැවතත් මාළු කන්න දෝ නොකන්න දෝ යැයි සිතමින් කාලය ගත කරයි.

ඒ එක්ස්ප්‍රස් පර්ල් නම් සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවක් කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගැනීමත් සමඟිනි. මෙහිදී දිනෙන් දින කැස්බෑවන්, ඩොල්ෆින්, තල්මසුන් මෙන්ම තවත් නොයෙකුත් මාළුන් ගේ සිරුරු වෙරළට ගොඩ ගැසීම, මෙම මාළුන්ගේ කරමල්වල මයික්‍රෝ ප්ලාස්ටික් වර්ග අඩංගුව තිබීම වැනි කාරණා මාළු පරිභෝජනය අප කෙරෙන් තරමක් ඈත් කිරීමට හේතුව තිබේ.

 

මාළු පරිභෝජනය සම්බන්ධයෙන් බියවිය යුතු නැහැ

රසායන විද්‍යාඥ ආචාර්ය පියල් ආරියනන්ද

 

"එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලීම සිදුවුණේ ශ්‍රී ලංකාවට ඉතාම ආසන්න මුහුදු තීරයේ, කිලෝමීටර් 3, 4 ක වගේ ප්‍රමාණයකදී. කොළඹ, මීගමුව ආදී ප්‍රදේශවල මුහුද හැරුණු කොට දකුණ, නැගෙනහිර, මඩකලපු මේ ආදී ප්‍රදේශවල ඇත්තේත් මුහුද. ඒ ආශ්‍රිතවත් ධීවර ප්‍රජාව තම ජීවිකාවේ යෙදෙනවා. මුහුද යනු දියවැල් ඉතා විශාල ප්‍රමාණයක් ඇති තැනක්. මුහුදේ ඇති වතුර ප්‍රමාණයත් සමඟ සංසන්දනය කරද්දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඇති තැන පිනි බිංදුවක් තරම් කුඩා දෙයකි. එසේ යැයි කියා මුහුදට රසායනික දෑ මුසුවීම සරලව ගතහැකි දෙයක් නොවේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, නයිට්‍රජන්, ප්ලාස්ටික් සාදන දෑ මේ නෞකාවේ වැඩිවශයෙන් ම තිබුණේ. මෙහිදි මාළු මේවා ආහාරයට ගෙන ඇතැයි සිතන්නේ උන්ගේ කරමල්වල මේවාහි ඉතාම කුඩා මයික්‍රෝ ප්ලාස්ටික් කොටස් තැන්පත්ව තිබෙන්න පුළුවන් නිසායි. එසේ වුණු අවස්ථාත් අප දුටුවා. නෞකාව අවට සිටින මාළුන් ට මෙම තත්ත්වය ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක්. උන් මේ වතුර ගිලිමින් කරමල්වලින් පිටත දමයි. එහිදී කරමල්වල විවිධ කොටස් සිරවෙයි.

මෙවැනි අනතුරුදායක තැනක මාළු රංචු වශයෙන් නොසිටින බවත් අප සිතිය යුතුයි.

ට්‍රෝලර් යාත්‍රාවලින් මාළු ඇල්ලීමට යන ධීවර පිරිස් මාස ගණන් දියඹේ සිටිමිනුයි මෙම කර්තව්‍ය ඉටුකරනුයේ. ලංකාවේ සිට කිලෝමීටර් 140 ක් පමණ මුහුදු සීමාවක් (ලංකාවේ සාගර කලාපය) තිබේ. මෙහි ගැඹුරු මුහුදේ මාළු ඇල්ලීම සිදුවේ.

මේ දිනවල ගතවනුයේ නිරිත දිග මෝසම් සුළං කාලයයි. මේ නිසා බටහිර වෙරළ තීරයේ මුහුද කොහොමටත් රළුයි. ඒ නිසා ම මුහුදු යෑම සිදුවනුයේ නැගෙනහිර මුහුදු තීරයෙනි. බටහිර වෙරළ තීරයෙන් යන්නේ පෙර කියු පරිදි ඈත ගැඹුරු මුහුදට යි.

මහා සාගරය යනු සොබා දහමේ ඉතාම අගනා විස්මිත නිමැවුමකි. මුහුදට එකතුවන සියලුම අපද්‍රව්‍යයන් මුහුද ප්‍රතික්ෂේප කරමින් වෙරළට ගොඩ ගසයි. මේ නිසාම දියඹට යන ප්‍රමාණය අවම විය හැකියි. ධීවර ප්‍රජාව කිලෝමීටර් ගණන් ඈතට ගොස් මාළු ඇල්ලීම නිසා බොහෝ විට මාළු පරිභෝජනයේ අනතුරු ඇඟවීමක් ඇතැයි සිතන්නට බැහැ. විශාල මාළුන් කුඩා මාළුන් ආහාරයට ගත්තත් අප සාමාන්‍යයෙන් මාළුන්ගේ උදර ප්‍රදේශය කෑමට ගන්නේ නැහැ.

පෘථිවි තලය මත අපි මේ සප්ත මහා සාගරය ගතහොත් ඊට එකතුවුණු අපද්‍රව්‍ය දූපත් මෙන් ගොඩ ගැසී Garbage Patches ඇත. මේවා අභ්‍යවකාශයට ගිය විට පවා දක්නට ලැබේ. පැසිපික් ගාබේජ් පැචස් යනු ප්‍රංශය මෙන් හය ගුණයක් විශාල වූවකි. මේවා හි ඇත්තේ විශාල ප්‍රමාණයේ කුණු. ඒවා මයික්‍රො ප්ලාස්ටික් වලට කැඩී මුහුදු ජීවීන්ගේ සිරුරවලට එක්වෙයි. මේවා අපි ම කරන පරිසර දූෂණයේ කොටසක් ලෙස මෙය සිදුවුවත් මිනිසුන් මාළු කෑමෙන් ඈත්වන්නේ නැහැ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානියට අපට දැනෙන දෙයක් වුවත් නිතරම පාහේ නැවක් දෙකක් ගිනි ගැනීම සප්ත මහා සාගරය පුරාවට ම සිදුවෙයි. තෙල් රසායන ද්‍රව්‍ය මුහුදු ජලයට මුසු වෙයි.

රසායනික ද්‍රව්‍ය රැගත් මෙවැනි නෞකාවක් අනතුරට ලක්වීම වළක්වා ගත හැකිව තිබුණත් එසේ නොකිරීම නිසා සිදුවූ හානිය සුළු පටු නොවේ.

දැල්වලින් අල්ලන මාළු පරිභෝජනය යම් දුරකට හානිදායක වුවත් ඈත දියඹේ ටෝලර් යාත්‍රා හෙවත් බහුදින යාත්‍රා මඟින් ගෙනෙන මාළු පරිභෝජනය පිළිබඳව නම් සැක සංකා ඇතිකරගත යුතු නැහැ.

දැල්වලට පවා හසුවන්නේ ප්ලාස්ටික් කැබැලි ආදිය විනා රසායනික ද්‍රව්‍ය සියල්ල මුහුදු ජලයට මිශ්‍ර වී තනුක වෙයි. එම මිශ්‍ර වූ මොහොතේ ම මුහුදට විශාල තර්ජනයක් එල්ල වෙයි. එහෙත් ඉන්දියන් සාගරයේ ලංකාවේ සාගර කලාපය ගත්තත් එක්ස්ප්‍රස් පර්ල් වෙතින් මිශ්‍ර වූ තෙල් සහ රසායනික ද්‍රව්‍ය යනු පනිට්ටුවකට තෙල් බිංදුවක් දැමුවා හා සමාන වූවකි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම ගොඩබිමට ඉතා ආසන්නයේ සිදුවූ නිසා මාධ්‍ය ආවරණය වැඩියි. මේ හේතු නිසා මිනිසුන් කලබල වී ඇත්තේ. මෙය කිලෝමීටර් ගානක් ඈතින් ගැඹුරු මුහුදේ සිදුවූවා නම් අපට නොදැනී ම යා හැකියි.

 

කලපු ඉස්සන්ට යම් බලපෑමක්

අපි හිතමු මීගමු කලපුව, පුත්තලම් කලපුව ආදී තැන්වලින් ඉස්සන් අල්ලනවා යැයි කියා. මේ පිළිබඳ සැකයක් ඇතිවෙන්න පුළුවන්. කලපුවක වතුර බොහෝ විට එක තැන රැඳෙන නිසා නම් ඉස්සන්ට යම් බලපැමක් තිබේවි. එහෙත් අපි වැඩි වශයෙන් භාවිත කරන්නේ ෆාම් ඉස්සන් නිසා ඒ ගැනත් බියක් ඇතිකරගත යුතු නැහැ.