රංගනයෙන් ඉවත් වෙන්න සිදු වුණේ මට දියණිය ලැබෙන්න සිටි නිසා

රංගන ශිල්පිනී මහේෂී මධුසංකා
අගෝස්තු 4, 2021

 

පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේද අහිංසක පෙම්වතිය මහේෂි මධුසංකා ප්‍රේක්ෂක කාගෙත් ආදරය දිනාගත් ආදරණීය චරිතයක්. කෙටි කාලයක් රංගනයෙන් ඈත්ව සිටි මහේෂි නැවතත් පුංචි තිරයෙන් දක්නට ලැබෙන්නේ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන ‘ඇය‘ ටෙලි නාට්‍ය තුළිනි. දුක් කම්කටොලු මැදින් ජීවිතය ගෙන යන මවකගේ භූමිකාව නිරූපණය කරන එම රංගනය ප්‍රේක්ෂක සිත් ඇද බැද ගත්තේ සෑබෑ ජීවිතයෙත් එවන් මව්වරුන් මේ මිහිපිට සිටින නිසයි.

 

‘ඇය‘ ට රංගනයෙන් දායක වන ඇයත් මේ වන විට දරු දෙදෙනකුගේ ආදරණීය මවක්. මේ ඇය සමඟින් කළ කතා බහයි.

මහේෂි ඉතිං කොහොම ද ?

මේ කෝවිඩ් තත්ත්වයත් එක්ක සෞඛ්‍යාරක්ෂිතව ඉන්නවා. කෝවිඩ් වලින් පරෙස්සම් වෙලා ඉන්න එක තමයි වැදගත්ම දේ.

ඇය ටෙලියෙන් ඉවත් වෙලා.. නැවත ඇය නාට්‍යට ඔබ එකතු වුණා...

අකැමැත්තෙන් වුණත් මම රංගනයෙන් දායක වෙමින් හිටපු ‘ඇය‘ නාට්‍යයෙන් ඉවත් වෙන්න සිදු වුණේ මම මවක් වෙන්න සූදානමින් හිටපු නිසා. ‘ඇය‘ ටෙලි නාට්‍යයේ මට වැටෙන, ගුටි කන දර්ශනවලට මුහුණ දෙන්න තිබුණා. මම එවකට ගැබිනියක් නිසා ඒ වගේ දර්ශන කරනවාට නාට්‍යයේ අධ්‍යක්ෂවරයා බය වුණා. ඔය කාරණා එක්ක තමයි මම ‘ඇය‘ නාට්‍යයෙන් ඉවත් වුණේ. දැන් නැවත මට ඇය ටෙලි නාට්‍යයටම සුපුරුදු විදිහට සම්බන්ධ වෙන්න ලැබිලා තියෙනවා. එය සතුටට කාරණාවක්. මම ගොඩක් ආදරය කළ නාට්‍යයක් තමයි ‘ඇය‘.

 

ඇය‘ ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය නිරූපණය කරමින් සිටි මේනකා පීරිස් නාට්‍යයෙන් ඉවත් වීම නිසා ද ඔබට නැවත ඒ නිර්මාණයට එකතු වෙන්න ලැබෙන්නෙ ?

නාට්‍යයකින් කෙනෙක් අයින් වුණාම ඒ චරිතය වෙන කෙනෙක් කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. මම ඉවත් වුණාට පස්සේ මේනකා ඒ චරිතය හොඳින් කළා. මේනකාට දැන් ඇගේ ජීවිතේ වටිනම දෙයක් නිසා ‘ඇය‘ ටෙලි නාට්‍යයෙන් ඉවත් වෙන්න සිදු වුණා. ඒත් එක්ක නාට්‍යයේ මම කරමින් හිටපු චරිතයටම මට නැවත එකතු වෙන්න ලැබුණා. සාමාන්‍යයෙන් නම් ඉවත් වුණු කෙනකුට ඒ චරිතයම නැවත ලැබෙන අවස්ථා දකින්න නැහැ. නමුත් ඒ නිර්මාණය වෙනුවෙන් මම කළ කැපකිරීම් එක්ක ඒ අවස්ථාව ලැබුණා වෙන්න පුළුවන්. ඉතින් ඒ ලැබුණු අවස්ථාව මම සතුටින් බාර ගත්තා.

මහේෂිව නැවත ‘ඇය‘ ඔස්සේ දකින්න ලැබීම ගැන ප්‍රේක්ෂකයෝ සතුටුද ?

මම ආයෙත් රංගනයට එකතු වීම ගැන බොහෝ අය සතුටු බව ලැබෙන ප්‍රතිචාරවලින් තේරෙනවා. මාව නැවත රංගනයට ආදරයෙන් පිළිගන්නවා කියලා කාන්තාවෝ බොහෝ දෙනෙක් මුහුණු පොතේ ප්‍රතිචාර දක්වා තිබුණා.

 

ඔබ දරුවන් දෙදෙනකුගේ මවක්. ඉතිං රංගන කටයුතුවලට කාලය වෙන් කරගන්නේ කොහොම ද?

 

දැන් මගේ පුතා තෙනුල්ට අවුරුදු තුනහමාරයි. දුව කෙනුලිට මාස හතරයි. ඒ දෙන්නව මගේ අම්මා තමයි බලාගන්නේ. දුව එයාගේ තාත්තාටත් ගොඩක් එකතුයි. ඒ නිසා මගේ සැමියා ගෙදර ඉන්න වෙලාවට එයත් දරුවෝ බලා ගන්නවා. ඒ නිසා මට බයක් නැහැ. මගේ රංගන කටයුතු වලට උපරිම උදවු කරනවා. ඔහු පයිලට් කෙනෙක්. රාජකාරිවලට ගිහින් ඇවිත් වුණත් මාව රූගත කිරීම්වලට එක්ක යනවා. ඒ වගේ උදවුවක් ශක්තියක් ලැබෙන කෙනෙක් මගේ ජීවිතයට එකතුවීම වාසනාවක්. මමත් රූගත කිරීම් ඉවර වුණු ගමන් දරුවෝ දෙන්නා ළඟට දුවන්න බලාගෙන ඉන්නේ.

 

ඉදිරියේදී පුංචි තිරයෙන් මහේෂිව දිගටම දකින්න ලැබෙයිද?

කලින් හිටපු විදිහට මගේ සිරුර හදාගෙන සුපුරුදු විදිහට රංගනයට එකතු වෙන්නයි හිතාගෙන ඉන්නේ. බොහෝ වෙලාවට අවුරුද්දකට හොඳ එක නිර්මාණයකට හරි මම සම්බන්ධ වේවි.

 

ඔබ පෞද්ගලික ජීවිතය වසන් කරගන ජීවන් වෙන්න උත්සහ කළ කෙනෙක්. ඊට හේතුවක් තිබෙනවා ද?

ඒකට හේතුවක් තියෙනවා. ඕනෑම හොඳ දෙයක් ප්‍රසිද්ධ කළාම ඒ දේ නැති වෙනවා. එහෙම නැත්තම් ප්‍රශ්න ඇති වෙනවා. ඒ කියන්නේ ප්‍රේම සබඳතාවයක් වුණත් මුහුණු පොතේ ෆොටෝ දැම්මාම වැඩි කල් තියෙන්නෙ නැහැ. සමහර අය ඒ හොඳ දේවල් නැති කරන්න උත්සහ කරනවා. මං අත්දැකීමෙන් මේ දේවල් කියන්නේ. මගේ සැමියා වුණත් මං කියන්නේ නැහැ සීයට සීයක්ම ගැලපෙනවා කියලා. නමුත් ඔහු මට හොඳ යහළුවෙන්. අපි විවාහ වෙලා.. අපිට දැන් දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඉතිං දැන් අපි අපේ පෞද්ගලික ජීවිතය ගැන ප්‍රසිද්ධ කළාට කමක් නැහැ. මං කියන්නේ ඕනම දෙයක් මුල් කාලේ ප්‍රසිද්ධ කරන එක සුදුසු නැහැ. ඉතිං ඒ දේවල් ප්‍රසිද්ධ කරන්න සුදුසු කාලය එනකම් සිටියා.

 

දරුවොත් දිනෙක ඔබ මෙන් කලාව තෝර ගනියි ද?

මං කවදාවත් එයාලට බල කරන්නේ නැහැ මේ දේ කරන්න කියලා. එයාලට සුදුසු දේ තෝර ගනියි. මේක කාන්තා පුවත්පතක් නිසා මං මේ පුවත්පතට කිව යුතුම දෙයක් තියෙනවා. මීට පෙර මං ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරලා නැහැ. මගේ පාසලේ ගුරුවරු මට දැන් හරි ආදරෙයි. මොකද මං ඇඳුම් නැතුව ෆොටෝස් දාලා, වැරැදි දේවල් කරලා ප්‍රසිද්ධ වුණු කෙනෙක් නෙවෙයි. මං ගියේ අනුරාධපුරේ පාසලකට. නමුත් මං කවදාවත් මගේ පාසල ගැන කතා කළේ නැහැ. සමහරු හිතුවා අනුරාධපුරේ පාසලක් නිසා මං කියන්න අකැමැති ඇති කියලා. ඒකට හේතුව මට පාසලෙන් වෙච්ච අසාධාරණයක්. ඒකත් එක්ක මං මානසික පීඩාවෙන් හිටියේ. පාසල් යන කාලයේ එක්තරා රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට මං සහභාගි වුණා. ඒක හැමෝම බලපු ප්‍රසිද්ධ වැඩසටහනක්. ඒකට සහභාගී වුණෙත් පංතිභාර ගුරුතුමියගේ කැමැත්ත ඇතුව. නමුත් වැඩසටහන විකාශය වෙලා පහුවදා පාසල් ගිහාම උදේ රැස්වීමේදී වේදිකාවට ගෙනැල්ලා විදුහල්පතිනිය මාව අපහසුතාවට පත්වෙන විදිහට ගොඩක් දේවල් කිව්වා. එතැනින්ම මගේ රංගන හීනය කඩාගෙන වැටුණා. ඒ වන තෙක්ම පාසල් අවුරුදු කුමරිය වුණේ මම. ඒ සිදුවීමෙන් පස්සේ මාව පාසලේ අවුරුදු කුමරිය කළේ නැහැ. ඉතිං මං කියන්නේ හැම දරුවම එක වගේ නැහැ. එයාලා යන පැත්තට යන්න දෙන්න ඕනේ. ගුරුවරු, වැඩිහිටියන් එයාලට උදව් කරන්න ඕනේ. මොන දේ කළත් අධ්‍යාපනය තියෙන්න ඕනේ. උගත්කම නැත්තම් රඟපෑමවත් හරියට කරන්න බැහැ.

 

පෞද්ගලික ජීවිතය තුළ වගේම රංගන ජීවිතය තුළත් ඔබට ළඟා කර ගැනීමට තවත් ඉලක්ක තිබෙනවා ද්?

ඇත්තටම ඒ අංශ දෙකෙන්ම මගේ ඉලක්ක මා සපුරාගෙන අවසන්. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මං හරි ආසාවෙන් හිටියේ පුතෙකුටයි දියණියකටයි. ඒ දේවල් මට ලැබුණා ඒ මගේ ජීවිතේ වටිනාම වස්තු. මගේ ජීවිතේ දැන් සම්පූර්ණයි වගේ. දැන් මම උත්සාහ කරන්නෙ දරුවන්ට හරි මඟ පෙන්නලා ඔවුන්ට ගුණ යහපත් විදිහට හැදෙන්න පසුබිම නිර්මාණය කරන්නයි.

අනෙක් ක්ෂේත්‍ර වලට වඩා රංගන ක්ෂේත්‍රයට බොහෝ දෙනෙක් ගරු කරනවා. මාව අදුරන්නේ නැති අය පවා මාව දැක්කම ළඟට ඇවිත් කතා බහ කරලා පවුලේ කෙනෙක්ට වගේ සලකන්නේ. ඒ රූපවාහිනියෙන් දැකලා ඇති වෙච්ච ලෙන්ගතුකමට. ඇඳුමක් ගන්න ගියත් අනුග්‍රහය දක්වන්න ඕනතරම් ඉන්නවා. මෙවර තරුණී කවරයේ අපේ බතික් ඇඳුම් ටිකත් එහෙමයි. රෝ බතික් රොලන්කා මහන්සි වෙලා හරිම ලස්සනට අපේ ඇඳුම් ටික කරලා දුන්නා. ඒ වගේ රංගන ක්ෂේත්‍රයේ අයට බොහෝ දෙනා ආදරය කරනවා. ඒ වගේම ගරු කරනවා.

 

ඔබේ ජීවිතයේ ඉදිරි සැලසුම් මොනවා ද?

ඇත්තටම කෝවිඩ් එක්ක අපි කාටවත් ඉදිරි සැලසුම් කියලා දෙයක් නැති තරම්. එන විදිහකට සැලසුම් හදාගන්නවා. කොහොම වුවත් දරුවෝ දෙන්නයි සැමියයි එක්ක සතුටින් ඉන්න එක තමයි එකම සැනසීම.

 

ඡායා - ශාන් රූපස්සර