Wednesday, December 10, 2025
Epaper
Home Highlightsඖෂධීය ගු ණ පිරි කොල්ලු

ඖෂධීය ගු ණ පිරි කොල්ලු

by Shanaka Lakehouse

අතීතයේ අපේ මුතුන් මිත්තන් ආහාරයට ගත් බොහෝ ධාන්‍ය වර්ග අතරින් කොල්ලුවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. දහසකුත් එකක් ශරීරයේ ලෙඩ රෝගවලට විසඳුම් ලැබෙන ධාන්‍ය වර්ගයක් ලෙස මෙන්ම අශ්ව ශක්තිය ලබාදෙන ආහාරයක් ලෙසත් කොල්ලු ප්‍රසිද්ධයි.

බටහිර රටවල මෙම ධාන්‍ය වර්ගය horse gram ලෙසින් හඳුන්වනු ලබයි. යකඩවලින් අනූන ආහාරයක් බැවින් දරු ප්‍රසුතියෙන් පසු ඇතිවන යකඩ උෟනතා සඳහා මෙන්ම කාන්තාවන්ගේ ආර්තව කාලවලදීත් ආහාරයට ගත හැකි ඉතා වටිනා ආහාරයක් ලෙස කොල්ලු හැඳින්විය හැකිය. මෙහි තන්තු සහ ප්‍රෝටීන බහුලව තිබෙන නිසා මලබද්ධයට මෙන්ම අර්ශස් රෝගවලටත් ඉතා හිතකර ආහාරයක් සේම රුධිරගත සීනි පාලනයටත්, වකුගඩුවල ගල් දිය කිරීමටත් කොල්ලුවලට හැකියාවක් ඇත. මෙතරම් දහසකුත් එකක් ගුණ සහිත මෙම ධාන්‍ය වර්ගය වර්තමානයේ පෙරදිග මෙන්ම බටහිර රටවලත් වඩාත් ප්‍රචලිත ආහාරයක් වී ඇත්තේ එහි ඇති මේදය දහනය කිරීමේ හැකියාව නිසාවෙනි. තෙල් සහ පිටි අධික ආහාර ශරීරගත වීම නිසා බොහෝ දෙනා අධික ස්ථුලතාවට ලක්ව ඇති කාලයක කොල්ලු යනු ශරීරයේ බර අඩු කළ හැකි වටිනා ආහාරයකි. එසේනම් අද අප ඔබට ගෙන එන්නේ මෙම ඖෂධිය වටිනාකමින් යුතු ධාන්‍ය වර්ගය පිළියෙල කරගත හැකි ආකාර කිහිපයකි.

කොල්ලු පානය

කොල්ලු කෝප්ප 1/2 ක්

හබල පෙති කෝප්ප 1/2ක්

සූදුරු තේ හැඳි 1/2ක්

සාදන ක්‍රමය

කොල්ලු හොඳින් සෝදා වතුර බේරෙන්නට තබා මඳ වෙලාවක් අව්වේ තබා වේළාගන්න.එසේ වේළාගත් කොල්ලු තාච්චියකට දමා ඇට පුපුරන තෙක් බැදගන්න. මේ ටික ළිපෙන් බාගෙන එම තාච්චියටම හබල පෙති සහ සූදුරු ටික දමා මඳක් බැදගන්න. මෙම හබල පෙති, සූදුරු, සහ කොල්ලු සියල්ල එකට දමා හොඳින් කුඩු කරගන්න. මෙම මිශ්‍රණය පෙනේරයකින් හලාගෙන හොඳින් නිවුණු පසු බෝතලයක අසුරාගන්න. කොල්ලු පානය සෑදීමට අපට අවශ්‍ය වන්නේ මෙයින් තේ හැඳි 2කි. හොඳින් නටන උණුවතුර ඔබේ කෝප්පයට දමා එයට මෙම කොල්ලු මිශ්‍රණයෙන් තේ හැඳි 2ක් සමඟ ලුණු ස්වල්පයක් දමා වසා හොඳින් තැම්බෙන්නට හැර ඉන්පසු පානය කරන්න.

කොල්ලු අග්ගලා

කොල්ලු කෝප්ප 1ක්

ගාගත් පොල් කෝප්ප 1ක්

ඕනෑම හකුරු වර්ගයකින් කෝප්ප 1/2ක්

ලුණු කුඩු තේ හැඳි 1/2ක්

සාදන ක්‍රමය

කොල්ලු හොඳින් සෝදා ගරාගෙන පැය 12ක් පමණ පෙඟෙන්නට තබන්න. හොඳින් පෙඟුණ කොල්ලු කෝප්පය වැහෙන මට්ටමට ටිකක් වැඩිවන ලෙස වතුර දමා විනාඩි 15ක් පමණ හොඳින් තම්බාගන්න. හොඳින් තැම්බි ඇතිදැයි දැනගැනීමට කොල්ලු ඇටයක් ඇඟිලි අතර තබා තදකර බලන්න. එවිට එය හොඳින් පොඩි විය යුතුයි. කොල්ලු ඇට හොඳින් පෙරාගෙන උණුසුම තිබියදීම අනෙක් කළමනා සියල්ලම සමඟ එකට බ්ලෙන්ඩරයකට දමා මිශ්‍ර කරගන්න. වංගෙඩියක් භාවිතයෙන් කොටාගන්නටත් හැකියි. හකුරු සොයාගත නොහැකි නම් ඒ වෙනුවට දුඹුරු සීනි භාවිත කළ හැකියි.

අවසානයේ මෙම මිශ්‍රණයෙන් කුඩා කොටස් ගෙන ගුළි කරගන්න.


කොල්ලු තෝසේ

සුදු කැකුළු හාල් කෝප්ප 3ක්

කොල්ලු කෝප්ප 1ක්

උළුහාල් තේ හැඳි 1ක්

ලුණු

සාදන ක්‍රමය

හාල් හොඳින් සෝදා උළුහාල් මිශ්‍ර කර වතුර දමා පැය 6ක් පෙඟෙන්න තබන්න. මේ අයුරින්ම කොල්ලු කෝප්පයද හොඳින් සෝදා පැය 6ක් පෙඟෙන්න තබන්න. පැය 6කට පසු මෙම දෙක වතුර ලාවට දමා වෙන වෙනම ග්‍රයින්ඩර් කරගන්න. අවසානයේ මිශ්‍රණ දෙකම එකට එක් කර නැවත පැය 8ක් පමණ වසා පිපෙන්නට තබා තෝසේ පුච්චාගන්න.

තැටිය හොඳින් රත් වන විට තෝසේ මිශ්‍රණය දමා හැන්දෙන් රවුමට තුනී කරගැනීමෙන් ක්‍රිස්පි තෝසේ සාදාගැනීමට ඔබට පුළුවනි.

කොල්ලු කැඳ

පැය 12ක් පොඟවා තම්බාගත් කොල්ලු කෝප්ප 1/4ක්

උකු පොල්කිරි කෝප්ප 2ක්

කිතුල් හකුරු ග්‍රෑම් 50ක්

රතු කැකුළු බත් 1/4ක්

කරදමුංගු කරල් 4ක්

ලුණු

සාදන ක්‍රමය

හොඳින් තම්බාගත් කොල්ලු ටිකට වතුර මේස හැඳි 4ක් පමණ දමා ළිප තබා එයටම බත් සහ තළාගත් කරදමුංගු දමා හොඳින් කළවම් කරන්න.

මෙම මිශ්‍රණයෙන් වතුර ටික භාජනයේ තිබෙද්දීම කොල්ලු සහ අනෙක් ද්‍රව්‍ය සියල්ල යම් මට්ටමකට ග්‍රයින්ඩ් කරගන්න. දැන් මේ මිශ්‍රණය නැවත ළිපේ ඇති වතුර සමඟ මිශ්‍ර කරන්න. එයටම හකුරු සහ පොල්කිරි දමා හොඳින් කළවම් කරන්න. හොඳින් නටන විට ළිපෙන් බාගන්න. රස අනුව ලුණු එක් කරගන්න.

TEXT – සඳලි සත්සරණී

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?