නව යොවුන් සිසුන් සමඟ ගනුදෙනු කිරීමට පටන් ගෙන දැනට වසර තිහක්. ශිෂ්‍ය උපදේශන හා මාර්ගෝපදේශන විෂය සම්බන්ධව කටයුතු කිරීමට පටන්ගෙන දැනට වසර විස්සක්. එදා මෙදාතුර දරුවන් සම්බන්ධයෙන් ලැබූ අත්දැකීම් අපමණය. මේ අත්දැකීම් එකතුකර බොහෝ දෙනාගේ හිත සුව පිණිස විශේෂයෙන් ගුරුවරුන්ගේ හා මවුපියන්ගේ අවධානය පිණිස ලිපි මාලාවක් ලිවීමට අදහස් කරමු. මෙම ලිපි මාලාව අප නම් තබන්නෙ මෙරු නමිනි.
වේයාට තටු ලැබෙන්නේ ජීවිතයේ අවසානය ලබාදීමටය. තටු ලැබුණු පසු නම වෙනස්කර මෙරුවා ලෙස හඳුන්වයි. වේයා මෙන් නොව මෙරුවාට ආයුෂ අඩුය. ඒ වේයා කායිකවත් මානසිකවත් ඉතාම වේගයෙන් වෙනස් වූ නිසාය. එලෙසම මිනිස් දිවියේ නව යොවුන් විය යනු කායිකවත් මානසිකවත් තටු ලැබෙන වයසයි. නිවැරදිව ජීවිතය ගෙව්වොත් මිය යන තුරාවටම ලැබෙන ඉතාම වටිනාම කාලය මේ නව යොවුන් වියයි. එසේම තටු ලැබුණේ පියාඹන්න පමණක් කියා ගුරු දෙගුරු අවවාද, උපදෙස් හා මඟ පෙන්වීම් නොසලකා හරිමින් දිවි ගෙවන්නේ ද ? දරුවාට සිදුවන ආපදාවන් අපමණය. එසේ ආපදාවන්ට පත්වුණු තරුණ ජීවිත පිළිබඳව අපට අසන්නට දකින්නට ලැබුණු සිද්ධි මෙරු ලිපි මාලාව ඉදිරියේදී තරුණී පුවත්පත මඟින් ඔබ අතට පත් කිරීම අපගේ අරමුණයි. මෙහි සඳහන් කරන සිදුවීම් සියල්ල සත්‍ය වුවත් ලියවෙන සෑම කතාවකම නම් ගම් සියල්ල මනඃකල්පිත බව සලකන්න.
අද කතාව දැනට වසර ගණනාවකට පෙර සිදුවූවකි. අපි ඇයට සඳුනි යයි අමතමු. සඳුනි මට හමුවෙද්දි හිටියේ දහය ශ්‍රේණියේ. සඳුනි පන්තියේ ගොඩාක් දක්ෂම ළමයෙකුත් නෙවෙයි. දුර්වලම ළමයෙකුත් නෙමෙයි. කොහොම වුණත් ගුරුවරු සඳුනිට ගොඩාක් ආදරේ දැක්වූයේ ඇයගෙ විනීතකමටයි හැදියාවටයි. පුංචි කාලෙ ඉඳලම සඳුනි බොහෝ අයගේ ආදරය දිනා ගත්තෙත් ඒ නිසාමයි.
සඳුනිගෙ තාත්තා අංශභාග රෝගියෙක් අම්මා බොහෝම අමාරුවෙන් සඳුනිටත්, සඳුනිගේ මල්ලිටත් ඉගැන්වූයේ යාන්තමින් පවත්වාගෙන ගිය තේ කඩයෙන් ලැබුණු සාමාන්‍ය ආදායමෙන්ය.
කාලය හෙමින් ගලාගෙන ගියේ ජීවිතවල අපහසුතාවය තිබුණත් .කිසිදු මානසික පීඩාවකින් තොරවය. සඳුනි දහය පන්තියට සමත් වී ගෙවුණේ මාස කිහිපයයි. ඇයගේ පාසල ඉදිරිපිට මාර්ගය කාපට් යොදා ඇතිවීමේ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ විය. ගමේ වගේම පාසලේ සියලු දෙනාටම ඉමහත් සතුටක් ගෙන දුන්නේ ගමටත් පාසලටත් ඉන් අමුතු එළියක් ලැබෙන නිසාය.
සඳුනි හැමදාම පාසලට පැමිණියේත් පාසල නිමවීමෙන් පසු නිෙවසට ගියේත් මේ අලුතින් සංවර්ධනය වෙන පාර දිගේය. කාපට් අතුරන යන්ත්‍රය ක්‍රියාත්මක කරවූයේ තරමක නව යොවුන් විය පසු කළ තරුණයෙකි. අපි ඔහුට නුවන් යයි කියමු. නිතරම එහා මෙහා ගමන් කරන සඳුනි නෙත ගැටී ඇය පිළිබඳ සිතක් පහළවීමට නුවන්ට ගත වූයේ දින කිහිපයක් පමණි. සඳුනි ගේම පන්තියේ සිටි යෙහෙළියක් හරහා සඳුනි හා නුවන් අතර සම්බන්ධතාවයක් පටන් ගත්තේ කාටත් හොර රහසෙනි. ගෙවුණේ දින කිහිපයකි ජංගම දුරකතනයක් රහසේ සඳුනි අතට පත් කිරීමට නුවන් කටයුතු කළේ ය.
අම්මාටත්, තාත්තාටත් හොරෙන් සඳුනි රාත්‍රී කාලය පුරාම නුවන් හා පෙම්බස් දෙඩූයේ මේ දුරකතනය හරහාය. සඳුනිට නුවනුත්, නුවන්ට සඳුනිත් නැතුවම බැරි තැනට පත්විය. සඳුනි තවම 15 වැනි වයසේ වීම නිසා ඇයගේ නොමේරූ සිත වසඟ කර ගැනීමට නුවන්ට එතරම් අපහසු වූයේ නැත. සඳුනි යහළුවන් සමඟ ප්‍රකාශ කර සිටියේ. කවදා හෝ තමන්ට නුවන් නැති වුවහොත් එක මොහොතක් හෝ ජීවත් නොවන බවයි.
නමුත් මේ දෙදෙනාට තමන්ගේ සම්බන්ධය එතරම් කාලයක් රහසිගතව කරගෙන යාමේ හැකියාව ලැබුණේ නැත. රාත්‍රී කාලය පුරාම අවදියෙන් සිටින සඳුනි පාසල් කාලය තුළ නිදා වැටුණි. පාඩමට තිබුණු උනන්දුවද අඩු විය.
මේ තත්ත්වය ඉතා වැඩි අවධානයකින් සිටි. පන්තිභාර ගුරුතුමියට සඳුනිගේ හා නුවන්ගෙන් පෙම් පලහිලව්ව ආරංචි වූ අතර ගමේ සිටි අයගෙන් අම්මාටද මේ ආරංචිය ලැබී තිබුණි. අම්මාත්, අසනීපෙන් සිටි තාත්තත් සඳුනිට බොහෝ අවවාද ලබා දුන්නද ඒ හැම මොහොතෙම සඳුනි ඔවුන් ඉදිරියේ පොරොන්දු වූයේ සම්බන්ධතාවය නවත්වන බවටයි. පාසලේ ගුරුවරුන් හා විදුහල්පතිතුමාද වරින් වර සඳුනිට මඟ පෙන්වීම් කරනු ලැබුවේ. අනවශ්‍ය සම්බන්ධකම් ඉවත් කර පාසලේ අධ්‍යාපන කටයුතුවල නිරතවන ලෙසයි. ඒ හැමදෙනා ඉදිරියේම සඳුනි දිගටම කීවේ සම්බන්ධතාවය නවත්වා ඇති බවයි.
සත්‍ය වශයෙන්ම සඳුනි සම්බන්ධතාවය නවත්වා දැමීමට නුවන් සමඟ දෙවතාවක් කතා කළද නුවන් දිගින් දිගටම කියා සිටියේ සම්බන්ධතාවය නැවැත් වුවහොත් තමාගේ ජීවිතය නැති කරගන්නා බවයි. මට ඔයාගෙන් තොර ලෝකයක් නෑ මට ඔයාව අමතක කරන්න බෑ. බැරි වෙලාවත් සම්බන්ධතාවය නැවැත්තුවොත් එදිනම තමා වස පානය කරන බව නුවන් සඳුනිට කියා තිබිණි.
මවුපියන්ටත්, ගුරුවරුන්ටත් තමාගේ සම්බන්ධතාවය නැවැත් වූ බව සඳුනි කියා සිටියද එම සම්බන්ධතාවය නැවැත්වූයේ නැත. නැතහොත් සම්බන්ධතාවය නැවැත්වීමට නුවන් ඇයට අවස්ථාව ලබා දුන්නේ නැත.
දිනක් පාසල ඇරී එන අතරමගදී නුවන් හා සඳුනි කතා කරමින් සිටින බව ගම්වැසියකුගෙන් මවට ආරංචි විය. සඳුනි නිෙවසට ආ විගසම අම්මා මේ බව ඇයගෙන් විමසූ අතර සඳුනි කිසිදු උත්තරයක් ලබා දුන්නේ නැත.
“හිටපල්ලකෝ. උඹලගේ සම්බන්දෙ නතර වෙන්න මම දේවාලෙට ගිහින් පලි ගහනවා”
යනුවෙන් ප්‍රකාශ කළ සඳුනිගේ අම්මා සාරියකුත් ඇඳගෙන ගෙදරින් පිටත් වූවාය. තේ කඩය මල්ලිට බලාගන්නා ලෙස දන්වමින් අම්මා හනිකට ගමේ දේවාලය දෙසට යනවා සඳුනි, බලාගෙන සිටියාය.
සඳුනි සුදු ඇඳුම පිටින්ම තම ඇඳ මත සිට කල්පනා කළේ දෙවියන් විසින් සම්බන්ධය නැවැත්වුවහොත් ජීවත් වීමෙන් කිසිදු පලක් නැති බවයි. ඇය නැති වුවහොත් නුවන්ද ජීවත් නොවන බව ඇයට මැවී පෙනුණි. දෙවියන් විසින් සම්බන්ධය නැවැත්වීමට පෙර ජීවිතයෙන් සමු ගැනීමට සඳුනි තීරණය කළාය. ගෙයි පිටිපස තිබුණු ලණු කැරැල්ලක් රැගෙන සඳුනි වත්ත පහළට ගියේ සියදිවි නසා ගැනීමටය. තරමක උස පස් කණ්ඩියක් මතට නඟින සඳුනි තරමක් ඈතින් වූ කෝපි ගසක අත්තක් ඇද අත්තට ලණුව දමා තමන්ගේ ගෙලටත් ලණුව දාගන්නවා. සඳුනිගේ සැලැස්ම වන්නේ අඩි දොළහක් පමණ වූ පස් කණ්ඩියෙන් පහළට පැනීමයි. එවිට ගෙල සිරවී ඇය මිය යාවි යැයි සිතනවා. මොහොතක් හෝ බලා නොසිට තමාගේ ප්‍රේමවන්තයා වෙනුවෙන් ජීවිතයේ පුද කිරීමේ අපේක්ෂාවෙන් ඇය ඉහළ සිට පහළට පනිනවා. නමුත් සිදුවන්නේ සඳුනි අපේක්ෂා නොකළ දෙයකි. ලණුව ශක්තිමත් ලණුවක් නොවේ. ලණුව මැදින් කඩාගෙන සඳුනි බිම ඇද වැටෙනවා. පස් කණ්ඩියට පහළින් ඇත්තේ විශාල කානුවකි. සඳුනි ඇද වැටෙන්නේ ඒ විශාල කානුවටයි. ඇයගේ කොන්ද කානුවට හිරවි දෙකට මැදින් බිඳෙනවා. නැඟිටීමටවත් එහා මෙහා වීමටවත් නොහැකි වූ සඳුනි කෑ ගැසීමට උත්සාහ දැරුවත් ඇයගේ කටහඬ ද ශබ්දයක් නොනැගෙන සේ පිටවෙයි. එම ස්ථානයේම දෙතුන් වතාවක් සිහිසුන් වන සඳුනි හවස් ජාමේදී අම්මා විසින් සොයා ගන්නා විටත් සිටියේ ඇද වැටුණු විලසින්මය.
නිවැසියන් හා අසල්වැසියන් සඳුනි රෝහල්ගත කළද සදාකාලික අබ්බගාත වීම වළක්වා ගැනීමට කිසිවකුටත් හැකියාව නොලැබෙන්නේය.
ඇය මා හමුවට රැගෙන එන විටත් සිටියේ සමාජ සුභසාධන අමාත්‍යාංශයෙන් ඇයට පිරිනැමූ රෝද පුටුවකය. සිද්ධිය වී මා හමුවට එන විට මාස හතක් ගත වී තිබුණත් එක් දිනක් හෝ නුවන් ඇය බැලීමට පැමිණ සිටියේ නැත. මුලදී ඔහු පොරොන්දු වූ පරිදි ඔහුගේ ජීවිතයට හානියක් කරගෙන තිබුණේ ද නැත. ගුරු දෙගුරු අවවාද නොතැකු සඳුනිට සිදුවූයේ ජීවිත කාලයම අබ්බාගාතයකු ලෙස ජීවත් විමටයි.
කායිකවත් මානසිකවත් නොමේරූ වයසක සිටි නිසා තමාට ඇතිවන අභියෝගයකට මුහුණ දීමට තරම් පරිණතවභාවයක් සඳුනිට නොතිබුණි. දේවාලයක පලි ගැසූ පමණින් කිසි දෙයක් සිදු නොවන බව තේරුම් ගැනීමට තරම් වත් මානසික ශක්තියක් නව යොවුන් වියේ දරුවන්ට නොමැති බව මවුපියන් හා ගුරුවරුන් වන අප හැමදෙනාම සිහියේ තබාගත යුතුය.
සඳුනිට අවවාද කර චෝදනා නඟමින් ඇය ප්‍රතික්ෂේප කර ඈතින් තැබීම වෙනුවට තවත් ඇයට ළං වූයේ නම් මේ මහා විපතින් ඇය බේරා ගැනීමට මවුපියන්ටත් ගුරුවරුන්ටත් හැකියාව තිබුණි.
