ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතක පහසුවෙන් දැකගත හැකි මොණරකුඩුම්බිය යනු, මුල සිට අග දක්වාම ඖෂධීය ගුණයෙන් පිරිපුන්, ඉවතලීමට කිසිදු කොටසක් නොමැති වටිනා පැළෑටියකි. නිල් පැහැති මල් සහ සුදු පැහැති මල්වලින් යුතු ප්‍රභේද දෙකකින් යුත් මෙම ශාකය, දේශීය වෛද්‍ය විද්‍යාවේ මෙන්ම රසවත් ආහාර සැකසීම සඳහා ද බහුලව යොදා ගැනේ.
ඖෂධීය වටිනාකම සහ පාරම්පරික භාවිතයන් ලෙස ළදරු රෝග සඳහා ආයුර්වේදයට අනුව, ළදරුවන්ගේ මාන්දම් රෝගය සහ සෙංගමාලය වැනි තත්ත්වයන් සඳහා හීනටි සහල් සමඟ සැකසූ මොණරකුඩුම්බිය කැඳ ලබා දීම ඉතා ගුණදායක වේ. මූත්‍රා පද්ධතියේ රෝග සඳහා මොණරකුඩුම්බිය වෙනත් ඔසු සමඟ යෙදීමෙන් ශල්‍යකර්මයකින් තොරව මූත්‍රා ගල් දියකිරීමේ හැකියාවක් පවතින බවට දේශීය වෛද්‍ය විද්‍යාවේ සඳහන් වේ. එමෙන්ම, ශාකය තම්බා බීමෙන් මූත්‍රා පිටවීම පහසු කරයි. තුවාල සුව කිරීම සඳහා කැපුම් තුවාලවල මස් ලියලීම (පටක වර්ධනය) වේගවත් කිරීම සඳහා මොණරකුඩුම්බිය යුෂ ආලේපයක් ලෙස භාවිතා කෙරේ. ආහාර ජීර්ණ පද්ධතියේ රෝග සඳහා අර්ශස් සහ පණු රෝගවලින් පෙළෙන අයට මොණරකුඩුම්බිය යනු ආහාරයට එක්කර ගත හැකි ඉතා ගුණවත් ඔසුවකි.

මොණරකුඩුම්බිය රොටී
අවශ්‍ය ද්‍රව්‍ය
රතු කැකුළු හාල් පිටි කෝප්ප 1ක්
කුරක්කන් පිටි කෝප්ප 1ක්
සිහින්ව ලියාගත් මොණරකුඩුම්බිය කොළ තේ හැන්දක්
සිහින්ව ලියාගත් රතු ලූනූ මේස හැඳි 2ක්
සිහින්ව ලියාගත් අමු මිරිස් මේස හැඳි 2ක්
ගාගත් පොල් ස්වල්පයක්
රස අනුව ලුණු
වතුර
සාදන ක්‍රමය
හාල් පිටි සහ කුරක්කන් පිටි එකට මිශ්‍ර කරන්න. එයට ගාගත් පොල්, මොණරකුඩුම්බිය කොළ, ලුණු, අමු මිරිස් සහ ලුණු දමා හොඳින් කලවම් කරන්න. වතුර ස්වල්පය බැගින් එක් කරමින් අතේ නොඇලෙන පදමට මිශ්‍රණය අනා ගන්න. කුඩා ගුළි සාදා, තුනී කර රොටී තැටියක දෙපැත්ත පුලුස්සා ගන්න.

මොණරකුඩුම්බිය කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය
මොණරකුඩුම්බිය
යුෂ කෝප්ප 2-3ක්
කළු හීනටි සහල් මිටවල් 2ක්
වතුර කෝප්ප 5ක්
මිටි කිරි හෝ දිය කිරි
ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය
හීනටි සහල්, වතුර සහ ලුණු ස්වල්පයක් දමා භාජනයක් ළිප තබන්න. බත තැම්බීගෙන එන විට මිටි කිරි හෝ දිය කිරි එකතු කරන්න. කිරි උතුරන විට මොණරකුඩුම්බිය යුෂ එකතු කර විනාඩි දෙක තුනක් පමණක් රත් කර ළිපෙන් ඉවත් කරන්න.

මොණරකුඩුම්බිය ලුණු මිරිස්
අවශ්‍ය ද්‍රව්‍ය
වියළි මිරිස් කරල් 10ක්
රතු ලූනූ ගෙඩි 5-6ක්
ගම්මිරිස් ඇට ස්වල්පයක්
සුදු ලූනූ බික් 1
අමු ඉඟුරු කුඩා කැබැල්ලක්
මොණරකුඩුම්බිය දලු මිටක්
රස අනුව ලුණු
දෙහි ස්වල්පයක්
සාදන ක්‍රමය
දෙහි හැර අනෙකුත් සියලුම ද්‍රව්‍ය මිරිස් ගලක හෝ වංගෙඩියක දමා හොඳින් අඹරා ගන්න. අවසානයේ, රසය අනුව දෙහි යුෂ එක් කර කලවම් කරන්න.
TEXT – සඳලි සත්සරණි
