“අනේ නංගි ඔයා ගෙදර ආවද? මම මේ හවස් වෙලා කෝල් එකක් දෙන්න හිටියේ.”ඉස්තෝප්පුවේ ඉඳගෙන පත්තරේ බල බල හිටපු මාලා කතා කළේ ගේට්ටුව ඇරගෙන බරට එළවළු මල්ලකුත් අරන් ආව සුදාරිට.
“අද උදේ ආවා අක්කෙ.”
කලින් සතියේ සුදාරි හදිසියේ මහ ගෙදර ගියේ එයාගෙ අම්මාට තද කොන්දෙ අමාරුවක් හැදිලා හෙළවෙන්නවත් බැරිව හිටිය නිසායි. මහත්තයා සිතුම්ටයි, අවුරුදු දොළහේ පුතා අශිකටයි කෑම බීම දෙන්න මාලයි, අනිත් ස්කීම් එකේ කාන්තා පාර්ශ්වයයි බාර ගත්තු නිසා සුදාරිට ටක් ගාලා යන්න ප්‍රශ්නයක් වුණේ නෑ. අවුරුදු පහළොවක් විතර දුක සැප බෙදාගෙන ඉන්න කට්ටියනෙ. ඔය වගේ වෙලාවක ඉක්මනින්ම පිහිට වෙනවා.
“කොහොමද දැන් අම්මට?”
“හොඳයි අක්කා. දැන් සෑහෙන අඩුයි. මම ගියාම ඉතින් වෙලාවට තෙල් ගාලා සාත්තු කරලා, ගෙදර වැඩ ටිකත් බලන නිසා අම්මාට විවේකෙන්ම ඉන්න පුළුවන්නෙ. අපේ ළඟ අක්කා කෙනෙක්වත් නවත්තලා ආවා. උයන අතුපතු ගාන ටික එයා කරයි මේ ටිකේ.”
“ආ එහෙනම් හොඳයි. සිතුම් මල්ලයි, පොඩ්ඩයිත් හොඳට ඉඳලානෙ නේද? මාත් හවසට හවසට ගිහින් බැලුවා.”
“අනේ අක්කා පින් ඇත්තටම. ඒකනෙ මටත් ඔළුව නිදහසේ යන්න පුළුවන් වුණේ.”
“මම දවස් දෙකයි නංගි කෑම ගෙනිච්චෙ, පස්සෙ අර සිතුම් මල්ලිලගෙ අක්කා කෙනෙක් ඇවිත් හිටියනෙ එයා උයනවා කිව්වනෙ.”
“ඔව් ඔව්. මල්කාන්ති අක්කා සිතුම්ලගෙ ලොකු අම්මගෙ දුව. අපි කාටවත් කරදර කළේ නෑ අක්කා. පුතාත් ලොකුයිනෙ දැන්, අක්කලා කෑම දුන්නම වෙන ප්‍රශ්නයක් නෑනෙ. දන්නැද්ද ඉතින්, සිතුම්ලගෙ අම්මට මං ගෙදර ගියා කිව්වම බොහොම විස්සෝප වෙලා හැරෙන තැපෑලෙන් ඔය මල්කාන්ති අක්කව එවලා තිබුණෙ.”
මාලාට මතක් වුණා ඒ ඇවිත් හිටපු කාන්තාව සුදාරි සිතුම්වයි, පුතාවයි දාලා අම්මව බලාගන්න ගිය එක ගැන අප්‍රසාදයෙන් කතා කරපු හැටි.
“එයා නම් කිව්වා අම්මව මෙහෙ ගෙනැත් සාත්තු කළා නම් හරිනෙ සුදාරි නංගි. හදිසියේ ඔහෙ දුවන්නෙ නැතුව කියලා. ඇත්තටම මටත් ඒක කල්පනා වුණේ නෑනෙ. නංගිටත් ලේසිනෙ එහෙම කළා නම්.”
“ඔව් අක්කා මට ලේසියෙන්ම අම්මව මෙහෙ එක්ක එන්න තිබුණා. ඒ වුණාට අම්මට ඔය අසනීපෙටත් වඩා තියෙන්නෙ වයසට අවධානය අඩුකම නිසා එන හිතේ අමාරුනෙ. මේ කොල්ලගෙ ක්ලාස්, ස්විමිං ප්‍රැක්ටිස් එහෙම එක්ක මට ළඟදි ගෙදර යැවුණෙත් නෑ. ඒවායින් එන අමාරුනෙ ඔය. මං ඔක්කොම දාලා සතියක් ගිහින් සාත්තු කළාම ආයෙ මාස ගාණකට ඇඟේ අමාරුත් නෑ හිතේ අමාරුත් නෑ. මේ ටිකෙත් බලන්න ඕනෑ අපේ දුව ඔක්කොම වැඩ දාලා මාව බලාගන්න ඇවිත් කියලා උජාරුවෙන් ගමේ අයට කිය කිය හිටපු හැටි.”
සුදාරි හිනා වුණා.
“ඒව ඉතින් මැනේජර් මල්කාන්තිට තේරුම් කරන්න බෑනෙ. සුදාරි නංගිට මෙහෙම කරන්න තිබුණනෙ අරහෙම කරන්න තිබුණෙනෙ කියලා අනියමාර්ථයේ අසම්භාව්‍යයෙන් මං ආවට පස්සෙත් සෑහෙන උපදෙස් දීලා ඔන්න ගියා.”
“එයා මැනේජර් කෙනෙක්ද? මං හිතුවෙ නෑ රස්සාවක් කරනවා කියලා.”
මාලා කිව්වේ පුදුමයෙන්. ඒ කාන්තාවගෙ ඇඳුමෙන්, පෙනුමෙන් එහෙම ලොකු රස්සාවක් කරන බවක් පෙනුණෙ නැති නිසා.
සුදාරි හයියෙන් හිනා වුණා.
“අනේ නෑ අක්කා. ඔය අපේ සිතුම්ගෙ නංගිලා දාලා තියෙන නම. ඇයි ඉතින් එයාගෙ රස්සාව අපි ඔක්කොම ජීවත් වෙන්න, ළමයි හදන්න ඕනෑ විදිහ එහෙ ඉඳන් කළමනාකරණය කරන එකනෙ. අපි පුතාව එක වසරේ ඉඳන් ආනන්දෙට දැම්මම නහින්න හැදුවා පොඩි එකා පාන්දර යවනවා, ටිකක් තේරෙද්දි දාන්න තිබුණෙ, නැත්නම් මට පුතා එක්ක ගෙයක් කුලියට අරන් ඉස්කෝලෙ ළඟට යන්න තිබුණෙ කියලා. හැබැයි සිතුම්ලගෙ නංගි ළමයව ගමේ ඉස්කෝලෙට දාද්දි මැරෙන්න හැදුවා සිතුම්ගෙවත් උදවු අරගෙන කොළඹ ඉස්කෝලෙකට නොදා ළමයව නාස්ති කරනවා කියලා. ඔය වගේ අපි කරන කියන හැම දේකටම එයාට තියෙනවා ඒක ඊට වඩා කරන්න හොඳ විදිහක්.”
“අප්පේ ඔහොම නොමිලේ උපදෙස් දෙන උන්දැලා අපෙත් ඉන්නවා. අපි මොනවා කළත් එහෙම නෙවෙයි මෙහෙමයි කළන්න තිබුණෙ, ඒ වෙලාවෙ නෙවෙයි මේ වෙලාවෙ යන්න තිබුණේ කිය කියා උපදෙස් දෙන්න. එතකොට ඔය මල්කාන්ති එයාගෙ ළමයි හරියට හදාගෙනද?”
“එයා බැඳලා නෑ අක්කා. ඒකනෙ අනිත් මිනිස්සු පවුල් කන්න ඕනෑ විදිහයි, රස්සා කරන්න ඕනෑ විදිහයි ගැන උපදෙස් දිදී මත පළ කර කර ඉන්න වෙලාව තියෙන්නෙ.”
නිමි.
