මම ආයෙමත් නැඟිට්ටේ ගින්දර මැද්දෙන්

කෙනෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිනි බුද්ධිකා දිසෝජා සමරසිංහආරච්චි
නොවැම්බර් 13, 2023

 

ඉවසීම සහ දරාගැනීම කියන්නේ ජීවිතයේ සාර්ථකත්වයට මඟ පෙන්වන හරි අපූරු මෙවලම්. ඉවසලා ඉවසලා බැරිම තැන තවත් මොහොතක් හරි ඉවසන්න පුළුවනි නම්, කොයිතරම් අසීරු අවස්ථාවක, කඩා වැටීමකදී වුණත් හිත හයියට දරාගන්නට පුළුවන් නම් ජීවිතයේ සාර්ථකත්වය අත්විඳින්න අපට පුළුවන්. මොකද අද දවසේ අප අත්විඳින සාර්ථකත්වය පිටුපස සැඟවුණු එකම රහස මේ ඉවසීම සහ දරාගැනීම.

ජීවිතයේ අසීමිත කඩාවැටීම් හමුවේ මඳක් හෝ නොසැලෙමින් හරි අපූරුවට හිත හයිය කරගත් ඔවුන් නැඟී සිටින්නේ සිටියාටත් වඩා ශක්තිමත් වෙමිනි. නිවෙසේ පුංචි කාමරයකින් ආරම්භ කළ තමන්ගේම කුඩා ව්‍යාපාරය අද වනවිට ව්‍යාපාර ජාලයක් බවට පත්වී හමාරයි. ඉතින් එන්න, කෙනෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිනිය බුද්ධිකා දිසෝජා සමරසිංහආරච්චි මේ ඔබට කියන්නේ වැටෙන්න, වැටෙන්න නැඟිටින ඔවුන්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ රහසයි. සැබැවින්ම එය ඔබේ ජීවිතවලට ද පූර්වාදර්ශයක් සපයනවා නොඅනුමානයි.

“ගොතටුවේ ඉපදුණු මම මූලික අධ්‍යාපනය හැදෑරුවේ කොලොන්නාව බාලිකාවෙන්. පහ වසර ශිෂ්‍යත්වය සමත් වෙලා තමයි කොළඹ ආනන්ද බාලිකාවට ආවේ. ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගත්තත් මගේ තාත්තාගේ කැමැත්ත වුණේ බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකට. ඒ වෙනකොට කොල්ලුපිටියේ සසකාවා ආයතනයෙන් ජපන් භාෂාව හදාරා සුන්දර සකුරා දේශයට පියාඹන්න සිහින මවාගෙන හිටිය මම අන්තිමට තාත්තාගේ කැමැත්ත මත බැංකු ක්ෂේත්‍රයේම රැකියාවකට යොමුවන්න තීරණය කළා.

 

විවාහය

අපේ බැංකුවෙම ගම්පල ශාඛාවේ වැඩ කළ අමිල ශානක හේරත් අඳුර ගන්නෙ ඔය අතරතුරේ. කතාබහට සීමාවුණු අපේ හිතවත්කම ආදර සබඳතාවයකට හරවා ගන්න ඔහුට අවුරුදු දෙකක් ගතවුණා. විදුහල්පතිනියක් විදිහට සේවය කළ අමිලගේ මවගේ පිළිකා රෝගී තත්ත්වය හමුවේ අපේ විවාහය ඉක්මන් කරන්න සිදුවුණා. අමිලගේ ගම පිළිමතලාව. නමුත් මට මාරුවක් නොලැබුණු නිසා සතියේ දින පහේම කොළඹත් සති අන්තයේ පිළිමතලාවේ යන්නත් වුණා. ඇත්තටම ඒක හරිම වෙහෙසකර කටයුත්තක්. අපි දෙන්නා දෙපැත්තක. එයාට කොළඹට එන්න ක්‍රමයකුත් නෑ. අන්තිමට එයාගේ ඉල්ලීම වුණේ රැකියාවෙන් ඉවත් වෙන්න කියලයි.

රැකියාවට සමු දෙන්න අපහසු නොවුණාට මට කොළඹට සමුදීලා යෑම නම් තරමක් අසීරු වුණා. ඒත් ශානක අපි දෙන්නා වෙනුවෙන්ම හදපු නිවෙසේ වැඩ කටයුතු වාගේම එයාගේ අම්මාගේ අසනීපය සමඟ මට කාර්ය බහුල වෙන්න වුණා. ඇත්තටම කිව්වොත් මගේ මහත්තයාට හිතේ නිදහසෙන් රැකියාව කරන්න එයාගේ පවුලේ යුතුකම්, වගකීම් මා වෙත පවරාගත් එකට ඔහු තව අදටත් මට ගෞරව කරනවා.

 

ව්‍යාපාරයකට යොමුවීම

ශානකලාට තේවතු කිහිපයක්ම තිබුණා. මේවායේ තේ දළු කඩලා වෙනත් ෆැක්ට්‍රියකට තමයි ලබා දුන්නෙ. ශානකට හොඳ ව්‍යාපාරික දැනුමකුත් තිබුණු නිසා අපි කුඩාවට තේ කම්හලක් පටන් ගත්තා. මේකට තේ දළු දෙන අයට අපි මුලින් ණයට මුදල් දෙන්න ඕනේ. එයාලා මාසෙකට ලබාදෙන දළුවලින් ඒවා පියවනවා. ටික කාලයක් වැඩේ කරගෙන යද්දි අපි හිරවෙනවා කියලා තේරුණා. අත්දැකීම් අඩුකම, ණයදීම වාගේ හේතු නිසා අපේ තේ ව්‍යාපාරය කඩාගෙන වැටුණා.

 

තාත්තාගේ සහයෝගය

මේ වෙලාවේ පිහිටට ආවේ මගේ තාත්තා. ඔහු හෝටල් සංස්ථාවේ පුංචිම තනතුරක ඉඳන් ඉහළම තනතුරකට ආපු හරිම ධෛර්යවන්ත පුද්ගලයෙක්. මගේ අම්මත් ඒවා‍ගේ. තාත්තා හම්බ කරන මුදල හරි පරෙස්සමට විය පැහැදම් කරලා අපේ ජීවිත ලස්සනට ගොඩ නැඟුවා. ඉතින් ශානකට රැකියාවෙන් ඉවත් වෙලා කොළඹට ඇවිත් ව්‍යාපාරයක් කරන්න කියලයි ඒ දෙන්නම කිව්වේ.

 

අලුත් ව්‍යාපාරයක්

තාත්තා අපිට ගෙයක් හදලා දීලා තිබුණා. කොළඹට ආපූ අපි ඒ නිවෙසේ පුංචි කාමරයක අලුත් ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ කාමරේට වෙලා ශානක තනියම පවිත්‍රකාරක හැදුවා. ඊට පස්සේ එයාම ඒවායින් සාම්පල් හදාගෙන විවිධ ආයතනවලට ගෙනිච්චා. ශානක කියන්නෙ ඕනෑම කෙනෙක්ට හරිම පැහැදිලිව දෙයක් තේරුම් කරවන්න පුළුවන් කෙනෙක්. ඒ නිසාම දෝ මන්දා අපේ පුංචි ව්‍යාපාරය ටික ටික දියුණු වෙන්න පටන් ගත්තා. ටික දවසකින් ගෙදර කාමරය වැඩ කරන්න මදි නිසා කුලී පදනමට තැනක් අරගෙන අත් උදව්වට දෙන්නෙක් එකතු කරගත්තා.

 

නොසිතූ ඇබැද්දියක්

මේ විදිහට අමාරුවෙන් හැමදේම ගොඩ නඟාගෙන එද්දි නොහිතූ මොහොතක විශාල ගංවතුරක් ඇවිත් අපේ ව්‍යාපාරික ස්ථානය යටවුණා. ඇත්තටම ගංවතුරක් ඇවිත් බැහැලා යද්දි වැඩි වැඩියෙන් පවිත්‍රකාරක අවශ්‍යවන මොහොතක තමයි මේ විදිහට ව්‍යාපාරය විනාශ වුණේ.

ඒ වෙලාවේ පිහිටට ආවේ අපේ අම්මා. ඇය හරිම ආසාවෙන් නඩත්තු කරන ගෙමිදුල ගැන මොහොතක්වත් වද නොවී අපේ බේරාගත්තු බඩු ටික මිදුලට දාගෙන බිස්නස් එක කරගෙන යන්න කිව්වා. ඒ නිසා මේ ව්‍යාපාරය නැත්තටම නැති නොවී වැඩ කරගන්න අපිට පුළුවන් වුණා.

 

මගේම කියලා රූපලාවණ්‍යාගාරයක්

ලස්සනට අඳින්න පලඳින්න වාගේම හැඩට ඉන්න මම හරිම කැමැතියි. ඒ නිසා රූපලාවණ්‍ය පිළිබඳ හොඳ හැදෑරීමක් කරලා දැනුමක් මා සතුව තිබුණා. කුඩාවට රූපලාවණ්‍යාගාරයක් ආරම්භ කිරීමේ හිතයට තිබුණු මගේ හීනයට පණ දුන්නෙ මගේ මහත්තයා. ඔහු අලුත් ව්‍යාපාරික ස්ථානයක් තනද්දි මගේම කියලා සැලෝන් එකකුත් හදලා දුන්නා. ඒ නිසා සැමියාගේ ව්‍යාපාරයේ වැඩත් එක්කම සැලෝන් එකත් හොඳටම පවත්වාගෙන යන්න මට හැකියාව ලැබුණා.

ලංකාවට කොරෝනා වසංගතය පැමිණෙන විටත් අපේ නිෂ්පාදන අතර විෂබීජ නාශක දියර තිබුණා. ඉතින් කොරෝනාත් එක්ක සැපයුම් ලබාදෙන්න අපහසු තරම් විශාල ඉල්ලුමක් ආවා. කොරෝනා නිසා රැකියා අහිමි බොහෝ ප්‍රමාණයකට රැකියා ලබාදෙමින් අපේ ව්‍යාපාරය ඉහළට ඔසවාලන්නට අපිට හැකි වුණා.

 

ආයෙමත් ගින්නක්

මේ විදිහට ව්‍යාපාරය හිනි පෙත්තෙ තියෙන වෙලාවක තමයි අපි ආයෙමත් ගිනි ගොඩකට මැදි වුණේ. කෙනකුගේ පුංචි අත් වැරැද්දක් නිසා අපේ ආයතනයේ ගින්නක් හටගත්තා. එතැනදි මගේ සැලෝන් එක වටිනා උපකරණ සියල්ලම සමඟ විනාශ වුණත් ෆැක්ට්‍රියෙන් කොටසක් බේරාගන්න අපිට හැකි වුණා. හැබැයි එදාම හවස් වෙද්දි කුලියට ගත්ත ඉඩමක මේස ටිකක් දාලා වැඩ පටන් ගන්න තරම් ධෛර්යයක් අපි දෙන්නාටම තිබුණා. කපන්න, කපන්න දළුලන ගසක් වාගේ මමයි මහත්තයායි අත් අල්ලාගෙන වැටෙන වැටෙන පාරට නැඟිට්ටා.

මේ වෙනකොට බැංකු ණයක්වත් නොවී අපි උපයාගත් මුදලින් හොඳ ව්‍යාපාරික ආයතනයක් විතරක් නෙමෙයි මම ආසම කරන විදිහේ නිවෙසක් හදාගන්න හැකියාව ලැබුණා. මේ වෙද්දි හැටකට වැඩි පිරිසක් අපිත් එක්ක වැඩ කරනවා. ඊට අමතරව ජල සැපයුම්, ඉදිකිරීම් සහ හෝටල් ක්ෂේත්‍රය ඇතුළු අංශ කිහිපයක් ඔස්සේ මේ ව්‍යාපාරය පුළුල් කරන්නත් අපි දෙන්නට හැකි වුණා.

 

ඉවසීමෙන් සැනසීම ලැබේ

ඉතින් අපේ කාන්තාවන්ටත් මට කියන්න තියෙන්නෙ ඉවසීම, දරාගැනීම කියන දේ උපරිමයෙන් තිබුණොත් හිනැහෙන දවස වැඩි ඈතක නෑ කියලයි. මොනතරම් අමාරු කාලයක වුණත් හිත හයියට අල්ලාගෙන ඉන්න පුළුවනි නම්, දාලාම යන්න හිතෙන වෙලාවක වුණත් තව මොහොතක් ඉවසා දරා ගත්තොත් කවමදාකවත් වරදින්නෙ නෑ කියලා මම කියන්නෙ අත්දැකීමෙන්මයි.