රට වටේම දිස්නෙ දිදී රස්නෙ පාන මිණිපුරයේ දියණියෝ

රටම දන්න Shinee girls ගැන නොදන්න කතාව
මාර්තු 18, 2024

 

රුවන් පුරයෙන් බිහි වන්නේ අගනා මැණික් කැටය. රුවන්පුරයෙන් මේ මැණික්වලට වටිනාකමක් ලැබෙන්නේ ඒවා ඔප මට්ටම්කර ගත්විටය. නැතිනම් එම මැණික් මහ පොළෙව යට සැඟවී තිබෙයි. මෙවන් වූ මැණික් ආකරයක් බිහිවුණේ රුවන්පුරයේ ඇහැළියගොඩිනි. මේ මැණික් ආකරය ගැන කියූ පමණින්ම මුළු රටම දනියි.

හැබැයි මේ නිල් මැණික් ආකරය මතු වෙන්නේ මහ පොළොව යටින් නොවෙයි. මේ මහ පොළොවේම ජීවත්වන පිරිසකගේ සාමූහික උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසිනි. මේ මැණික් ආකරයේ නම තමයි ඇහැළියගොඩ Shinee girls සංගීත කණ්ඩායම. සබරගමුව පළාතේ මැණික් මතුවන පොළොවෙන් බිහි වූ මේ සංගීත කණ්ඩායම සම්පූර්ණයෙන්ම වර්ණවත් වෙන්නේ නව යෞවනයේ තරුණියන් පිරිසකගෙනි. තරුණියන් කණ්ඩායමකින් හැඩ වූ මේ දක්ෂ සංගීත කණ්ඩායමට Shinee කියන නම යොදන්නේ ගැඹුරු අරුතක් ඇතිව. ගැඹුරු අරුතක් ඇතිව බිහි වූ මේ Shinee girls සංගීත කණ්ඩායම දැන් මුළු රටේම බැබළෙන්නේ විශාල කැපකිරීමක් කළ පිරිසකගේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසිනි. තාරුණ්‍යයට විශාල ආලෝකයක් එක් කරන මේ අපූරු Shinee girls කණ්ඩායමේ ජනප්‍රියත්වය කරා රැගෙන ආ පසුබිම් කතාව තුළ සමස්ත සමාජයටම වටිනා ආදර්ශයක් තිබෙනවා. අප මේ වටිනා අරුත සොයාගෙන ඇහැළියගොඩට ගියේ ඔවුන්ගේ ඒ සාමූහික උත්සාහයේ වස්තු බීජය සොයාගෙන.

මේ සංගීත කණ්ඩායම බිහි වෙන්න මුල් වෙන්නේ ඇහැළියගොඩ පෝරබාව ගමේ නිමල් කරුණාරත්න මහතා. ඔහුට තම දියණියව සංගීතයට යොමු කිරීමේ ලොකු ආසාවක්, කැමැත්තක් තිබුණා. මේ නිසාම ඔහු දුවට ඩ්‍රම් එකක් අරන් දෙන්නේ හිතේ තිබූ පුංචි ආසාවක් ඉටුකර ගන්න.

මේ පුංචි ආසාව ඔහු දුර ගමනක් රැගෙන යනවා. ඒ තමයි Shinee girls සංගීත කණ්ඩායම. ඒ දුර ගිය ගමන ගැන ඔහු අද නිහතමානී ලෙසින් සතුටුවෙයි. ඒ සතුට තුළ වූ කැපවීම ගැන ඔහු අපට පැවසුවේ මෙලෙසිනි.

“මගේ හිතේ තිබුණු හීනයක් තමයි මගේ දුව ඩ්‍රම් එකක් Play කරනවා දකින්න. ඒ ආසාව ඉටුකර ගන්න තමයි මම එයාට ඩ්‍රම් එකක් අරන් දුන්නේ. මේක ගත්තාට හරියට Play කරන්න දන්න කෙනෙක් හිටියේ නැහැ. ඊට පස්සේ මම දන්න සංගීත උපදේශකයෙකුට දුව යොමු කළා. ඔහු තමයි චින්තක නාමල් ගුරුතුමා. මේ ගුරුතුමා මාස හයක් විතර දුවට හොඳට පුහුණු කළා. ඇත්තටම ඩ්‍රම් එකක් Play කිරීමේ හැකියාවක් දුවට උත්පත්තියෙන්ම පිහිටලා තිබුණා. ඒ හැකියාව නොසිතූ ලෙසින් එළියට ආවා. මාස හයක් යනකොට මගේ දුව දක්ෂ විදිහට ඩ්‍රම් එක Play කරන්න පටන් ගත්තා. ඊට පස්සේ දුවත් එක්ක ලීඩ් ගිටාර් වාදනය කරන දුව සම්බන්ධ වුණා. මේ දෙන්නාගේ හැකියාව දැකලා Key Board වාදනය කරන දුවකුත් එකතු වුණා. මේ විදිහට තමයි ටිකෙන් ටික Team එක හැදුවේ. ටික දවසක් යනකොට අපට ගීත ගායනා කරන දුවලත් අවශ්‍ය වුණා. එතකොට තමයි දුවලා හතර දෙනෙක් මේ කණ්ඩායමට සම්බන්ධ වුණේ. දැන් අපේ කණ්ඩායමේ දහ දෙනෙක් ඉන්නවා. මේ අයගේ වයස් මට්ටම් ගත්තොත් අවුරුදු 11 සිට 18 දක්වා පිරිසක් තමයි මේ කණ්ඩායමේ ඉන්නේ. ඇත්තටම අපි මේ කාලේ හැටියට ටිකක් අසීරු ගමනක් තමයි යන්නේ. වර්තමානයේ සෑම මවුපියෙක්ම බලන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. බාහිර ක්‍රියාකාරකම්වලට යොමු කරන්න ඒ තරම් කැමැත්තක් නැහැ. නමුත් මේ සම්ප්‍රධායික රටාවෙන් මුදවාගෙන තමයි මවුපියන් සමඟ සාකච්ඡා කරලා මේ කටයුත්තට මේ දුවලා කණ්ඩායම සම්බන්ධ කරගෙන තියෙන්නේ. අපේ දරුවෝ දහ දෙනාගේම මවුපියන්ට සංගීතය ගැන ලොකු දැනුමක් සහිත පසුබිමක් නැහැ. නමුත් ඔවුන්ට අපේ මේ කටයුත්ත ගැන හොඳ අවබෝධයක් හා විශ්වාසයක් තියෙනවා. ඒ නිසා තමයි මේ ගමන යන්න ලැබුණේ. තමුන්ගේ දරුවන්ගේ උපකරණ පවා ඒ මවුපියන් තමයි අරගෙන දුන්නේ.”

මේ කණ්ඩායමේ ජනප්‍රියත්වයේ සැබෑම උරුමකරු වන්නේ Shinee Girls සංගීත කණ්ඩායමේ උපදේශක චින්තක නාමල් මහතාය. ඔහුගේ උනන්දුව හා කැපවීම නිසාම වසර කිහිපයක් තුළ ඔවුන් දුර ගමනක් පැමිණ තිබේ. ඒ ජයග්‍රාහී ගමනේ සාර්ථකත්වය හා ඔවුන්ගේ අත්දැකීම් ඔහු හෙළි කළේ මෙලෙසිනි.

“මුලින්ම මේ දුවලාට පුහුණු කිරීම තරමක අසීරුතාවක් වුණා. නමුත් ඒ අය සමඟ පහසුවෙන් කටයුතු කරන්න මට හැකියාව ලැබුණා. ඒ ගමනේ සෑහෙන දුරක් එන්න ලැබුණේ මේ දරුවන්ගේ දක්ෂතාව නිසයි. මේ දුවලාට යමක් දුන්නාම හොඳට ධාරණය කරගෙන පුහුණුවෙලා එනවා. ඒ නිසා දැන් අපට පහසුවෙන් ගමනක් යන්න පුළුවන් වෙලා තියෙනවා. ඇත්තටම මගේ උත්සාහය තුළින් ලැබූ ප්‍රතිඵලයම ඕනෑම ගුරුවරයෙකුට ලබන්න පුළුවන්. හැබැයි ඒකට මේ වගේ දක්ෂ හැකියාවක්, උනන්දුවක් ඇති පිරිසක් සොයා ගන්න ඕනේ. ඒ කටයුත්ත සිතන තරමට දකින තරමට පහසු නැහැ.”

ඔහුගේ දැවැන්ත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් මේ කණ්ඩායමේ මුල්ම සොයා ගැනීම වන්නේ ඩ්‍රම්ස් වාදනය කරන අමන්දි සත්සරණි දියණියයි. පාසල් දැරිවියක් ලෙස ඇයගේ දක්ෂතාව ගැන මුළු රටම දැන් කතා කරයි. මෙවන් වූ හැකියාවක් ඇය ලබාගත් ආකාරය ගැන අපි ඇයගෙන් විමසුවෙමු. එහිදී ඇය පැවැසුවේ මෙවන් අදහසකි.

“මම පාසලේ විෂයයක් ලෙස හදාරන්නේ නැටුම්. නමුත් මගේ තිබුණු ආසාවට තමයි ඩ්‍රම්ස් Play කරන්න පටන් ගත්තේ. ඒකට ලොකු කැපකිරීමක් කළේ නැහැ. පාසල් වැඩත් කරන ගමන් තමයි පුහුණුවීම් කළේ. දැන් මේ සංගීත කණ්ඩායමේ වැඩ හොඳින් කළමනාකරණය කරගෙන අපි දුර ගමනක් ඇවිත් තියනවා. අපට ලැබෙන සංගීත ප්‍රසංගයට හොඳ පෙර පුහුණුවක් වෙනවා. ඒ සංගීත ප්‍රසංගයට හොඳ සාධාරණයක් ඉෂ්ට කරන්න තමයි කණ්ඩායමක් ලෙස අප උත්සාහ කරන්නේ. අපට සර්ගෙන් ලබාදෙන ශක්තියම මතයි මේ ගමන රැඳිලා තියෙන්නේ. සර් ශක්තිය හා අපේ කැපවීම මත අපි දුර ගමනක් යන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වෙනුවෙන් අපට ලැබෙන ප්‍රතිචාර හරිම ඉහළයි.”

රටක ආකර්ෂණය දිනූ Shinee Girls සංගීත කණ්ඩායම දැන් සංගීත ප්‍රසංග රාශියක් පවත්වා තිබේ. පාසල්වියේ පසුවන දැරියන් කණ්ඩායමක මෙම මේ උත්සාහය තුළ ඔවුන්ගේ අධ්‍යයන කටයුතු ද සමබරව සාර්ථකව නිම කරමින් අනාගතයේදී සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් කරන්නට ඔවුන් සිහින දකියි. ඒ සිහින සැබෑවන දිනය දුර ඈතක නොවෙයි.

 

කළමනාකරු - නිමල් කරුණාරත්න

උපදේශක පුහුණුකරු - චින්තක නාමල්

මෙහෙයුම් පරිපාලක - කුමුදුනී ගංගා සහ හිරුණි කරුණාරත්න

ඩ්‍රම්ස් වාදනය - අමන්දි සත්සරණි

බොක්ස් ගිටාර් - නදීෂා ඉමන්දි

කී බෝඩ් වාදනය - භාග්‍යා චතුමිණී

ඔක්ටෝ ෆෑඩ් - සවීනා තිමන්ති

ලීඩ් ගිටාර් - සසිතා බිම්සරා

නිවේදනය - දහම් පාරමී

රිදම් ගිටාර් - ජීවන්ති කාවින්ද්‍යා ,තමන්ෂා දිමන්දි

ගායනය / ලීඩ් ගිටාර් - යලින්දී හෙයාරා

ගායනය - කණිෂ්කා පුණ්‍යමයුරි, සමීනා රසාංජලී, මනෝදී ගිහන්සා

 

 

ඡායාරූප - ධාරක සම්පත්