චුලක්ෂි රිදී තිරයේ දී මලබාර් ජාතික කාන්තාවක් වෙයි

දෙසැම්බර් 18, 2023

හෙළයේ අවසන් මහා රජු ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ අග බිසව වෙන්කත රංගමාල් බෙහෙවින්ම සුරූපී තරුණියක්. පති භක්තිය ඉහළින්ම ම රැකි මලබාර් ජාතික කාන්තාවක්. අපේ ඉතිහාස වෘත්තයන්හි ඇය පිළිබඳ ලියැවුණු දෑ බොහෝයි.

කොළඹ කෞතුකාගාරයේ රංගමාල් බිසව පැලඳ සිටි ඉතාම ලස්සන කුණ්ඩලාභරණයත් රුධිරයෙන් පෙඟුණු හැට්ටයත් නරඹන්නට අදටත් දැක ගන්නට ලැබේ.

ඇය, එහෙමත් නැත්නම් වෙන්කත රංගමාල් මා ඉදිරිපිට. එහෙම කොහොමද වෙන්නේ යැයි කියා ඔබට සිතුණාද?

අද අපේ කතානායිකාව ඇයයි. චුලක්ෂි රණතුංග, මොහාන් නියාස් ගේ ශ්‍රී වික්‍රම සිනමාපටයේ ශ්‍රී වික්‍රමයන්ගේ අගබිසවයි.

කොහොමද චුලක්ෂි?

මම හොඳින්

චුලක්ෂි ඔබ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ අග අගබිසව වෙන්කත රංගමාල්. කොහොමද ඔබට මේ චරිතය දැනුනේ?

බිසවක් ලෙස රජුට කළ යුතු යුතුකම් කොටස ඉටු කරමින් ඇයට හැකි පමණින් රජුට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නටයි ඇය නිරතුරුවම උත්සාහ ගන්නේ. ඇය රජතුමා සමඟ අවංකවමයි ජීවත්⁣වන්නේ.

මෙහිදී මට රඟ දක්වන්න චරිතයක් ලෙස විශාල පරාසයක විහිදුණු කොටසක් නැහැ. නමුත් මට අදාළ කොටස් ටික හොඳටම කළා කියලා හිතනවා. මෙහිදී බිසවක් ලෙස මගේ සුන්දරත්වය ඔප් නැංවීමක් තමයි මේ චිත්‍රපටියෙන් සිදුවූයේ.

ගුත්තිලය චිත්‍රපටයෙත් ඔබ රජුගේ දියණිය. ඔබේ පෙනුම ඒ හා යාවන නිසාද මෙවැනි චරිතම ලැබෙන්නේ?

ඉතිහාස කතාවක් රඟදක්වන්නට ලැබුණු පළමු වතාව මේ. ගුත්තිලය සමඟ සම්බන්ධ වුණේ ඉන් පසුව. මගේ පෙනුම සම්බන්ධයෙන් මට කියන්න අපහසුයි. බාහිරින් සිට බලන අයට එහෙම දිස් වෙනවා ඇති.

චිත්‍රපටයේ වැඩ නිමවා වසර ගණනාවකට පසුවයි, එය තිරගත වෙන්නේ. මෑතකදී කළා නම් මීට වඩා යමක් කරන්න තිබුණා කියලා හිතුණද?

කොහෙත්ම නැහැ. මේක ඉතිහාස කතාවක්. එදා රඟ දැක්වුවත් මෙදා රඟදැක්වුවත් වෙනසක් තියෙන්න බැහැ. මම මගේ රඟපෑම් සම්බන්ධයෙන් අතිශයින්ම තෘප්තිමත්. මට පැවරුණු කොටස එදත් හරියට කළා කියලයි දැනෙන්නේ

ශ්‍රී වික්‍රම ඔබ රඟපෑ චිත්‍රපට අතරින් තිරගතවන කී වැන්නද?

මේ දෙවැන්න. මුලින් ම දේදුනු ආකාසේ චිත්‍රපටය.

ඔබේ වැඩි නැඹුරුව සිනමාව වෙතද?

ඇත්තටම ඔව්.

ටෙලිනාට්‍ය කෙරෙහි නැඹුරුවක් නැද්ද? නැහැමයි කියන්න බැහැ. හැබැයි වැඩි කැමැත්ත සිනමාවට.

මෙතෙක් රඟපෑ හා ඉදිරියෙදී තිරගත වීමට නියමිත නිර්මාණ සම්බන්ධයෙන් ඔබ තෘප්තිමත් ද?

පසුතැවිලි වීම් මගේ ජීවිතයේ හරිම අඩුයි.

ගින්දරී 3, ගිනිමල් පොකුරු, මිදුණු විශ්වය විජයබා කොල්ලය, නිලංජනා...වැනි චිත්‍රපටවල රඟපෑවා. ප්‍රසන්න ජයකොඩිගේ 'කොරෝනා කාලේ ආලේ' (මෙහි නම ඇතැම් විට වෙනස් වේවි), ප්‍රියන්ත කොළඹගේ ගේ 'මන්දාරා', ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ 'මීදුම් තරණය', ක්‍රිෂාන්ති මනම්පේරි චිත්‍රපටයක රඟපාලා තියෙනවා. මේ චිත්‍රපටය ඉදිරියේදී තිරගත වේවි.

මේ අතරින් 'ගිනිමල් පොකුරු' ඔබට සරාගි ලේබලය ගෙන ආ සිනමා සිතුවමක්

ගින්දරී 3 චිත්‍රපටයේ රඟපෑවයින් පස්සේ උදයකාන්ත වර්ණසූරිය මහතා එයාගෙ විසිපස්වෙනි චිත්‍රපටයට මට ආරාධනා කළේ.

 

සරාගි චරිතයකට පණ පෙවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. නිරූපිකාවක් ලෙස හා ඉන්පසුව කිරුළක් දිනාගෙන පැමිණි ගමන් මඟ පිළිබඳවත් ආවර්ජනයක යෙදෙමු

නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කරමින් ඉදිද්දි 2014 වසරේදී ශ්‍රී ලංකික රූ රැජින කිරුළ හිමි වුණා. ඉන්පසූ ලංකාව නියෝජනය කරමින් 2014 වසරේදීම එක්සත් රාජධානියේ පැවති ලෝක රූ රැජින තරගයට සහභාගි වුණා. සිනමාවට ප්‍රවිෂ්ට වුණේ ඉන්පස්සෙ.

අදටත් මම නිරූපණ ක්ෂේත්‍රයේ නියැළෙනවා

ඔබේ උස

අඩි 5යි අඟල් 8යි

සිනමාව පිළිබඳ ඔබේ ඔබේ හැදෑරීම කෙබඳුද?

ජයන්ත චන්ද්‍රසිරිගේ 'ඩිල්' ඇකඩමියේත්, කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය ගේ රංගන පුහුණුවීම් මාලාවන්ට සම්බන්ධ වී තිබෙනවා.

ඔබේ සිත්ගත් දෙස් විදෙස් රංගන ශිල්පිනියන් සිටිනවාද?

ලාංකේය රංගන ශිල්පිනියන්ගෙන් ස්වර්ණා මල්ලවාරච්චිටත් විදෙස් රංගන ශිල්පිනියන්ගෙන් නම් ප්‍රියංකා චොප්රාට මම කැමැතියි.

ෆැෂන් සම්බන්ධයෙන් ඔබ දක්වන උනන්දුව ගැනත් දැන ගන්න කැමැතියි

ෆැෂන්වලදී මට සීමාවක් නැහැ. සිරුරට ගැලපෙන පරිදි, ඒ ඒ අවස්ථාවට ගැළපෙන පරිදි ෆැෂන් කිරීම කිසිම පැකිලීමකින් තොරව කරන දෙයක්. ෆැෂන් යනු Art එකක් ලෙසයි මම දකින්නේ.

ඔබේ පෞද්ගලික තොරතුරු ටිකකුත් කියමු.

මම අවිවාහකයි.මගේ ගම අත්තනගල්ල. මම අම්මත් එක්ක දැනට පදිංචි වෙලා ඉන්නේ දෙහිවල.

ශ්‍රී වික්‍රම රජු දෙමළ පෙලපතකින් පැවත එන නිසා ඒ අයගේ කුල පරම්පරාවෙන් එන කාන්තාවකට සරණ පාවා දෙන්නයි ඇයව මෙරටට ගෙන්වන්නේ. වෙන්කත රංගමාල් අගබිසව පිළිබඳ ශ්‍රී ලාංකේය වංශකථාවේ ලියැවෙන්නේ අනුව. සිංහලයේ අවසන් රජු පිළිබඳ දූ දරුවන්, සිසු දරුවන්,දෙගුරුන් සමඟ සියලු ශ්‍රී ලාංකිකයින් සිනමාවෙන් යළි එක්ව කියවනු ඇතැයි ශ්‍රී වික්‍රම සිනමාපටයට සම්බන්ධ වූ අපි බලාපොරොත්තු වෙනවා.