කවරය හැඩකරන නිෂී

ජනවාරි 15, 2024

මෙවර තරුණී කවරය හැඩ වන්නේ සුන්දර රුවැත්තියකගේ රුවෙනි. ඇය නිෂී උපේක්ෂා. ශ්‍රී ලංකාවේ මනෝ උපදේශිකාවන් අතර ජනප්‍රිය චරිතයක් වන නිෂී රූපලාවණ්‍ය ක්ෂේත්‍රයටත් දක්වන්නේ ලොකු උනන්දුවක්.

තරුණී සමඟ කතා බහකට එක් වූ නිෂී ඇගේ නවතම තොරතුරු ගැන අදහස් දක්වන්නත් අමතක කළේ නැහැ.

මම මේ දිනවල හුඟාක් කාර්යබහුලයි. මේ දිනවල මගේම කියලා පෞද්ගලික උපදේශන කාර්යාලයක් ආරම්භ කිරීමට වැඩ කටයුතු සංවිධාන කරමින් සිටිනවා. දැනට ප්‍රසිද්ධ ආයතන කිහිපයක සේවය කරනවා, පෞද්ගලික ආයතන සහ රජයේ ආයතනවල වෛද්‍යවරුන් යටතේ පුහුණු උපදේශිකාවක් ලෙසට තමා කටයුතු කරන්නේ. මම හුඟක් කැමතියි රූපලාවන්‍ය පිළිබඳ හැදෑරීමට. ඒවගේම මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු මගේ PHD එකේ, ඒ ඉගෙනීමේ කටයුතුත් සමඟ තමයි මම කාර්යබහුල වෙලා ඉන්නේ. ඊට අමතරව කලා කටයුතු කිහිපයකටත් සම්බන්ධ වෙලා සිටිනවා. ඉදිදිරියේදි ඒවා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මනෝ උපදේශිකාවක් ලෙස රජයේ සහ පෞද්ගලික ආයතන රැසකට තම සේවය සපයන නිෂී ව්‍යවසායිකාවක ලෙස තමාගේ ව්‍යාපාර කිහිපයක් ආරම්භ කිරීමට මේ වනවිට කටයුතු කරන්නීය. ඒ අතර රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දීමට ඇය සැලසුම් සකසමින් සිටියි. ශ්‍රී ලංකාවේ ජනතාවගේ මනෝ විද්‍යාව සම්බන්ධ ගැටලුවලට විසඳුම් සැපයීම සඳහා ඕනෑම අවස්ථාවක නොමිලේ උපදේශන සේවාව සැපයීමට බැඳී සිටින ඇය දිවයිනේ දුෂ්කර පාසල්වල දරුවන් සඳහා මනෝ උපදේශන සේවය සහ පෞරුෂ වර්ධනය පිළිබඳ නොමිලේ දේශන මාලාවක් පැවැත්වීමට කටයුතු කරනු ලබයි.

මෙසේ ක්ෂේත්‍ර කිහිපයක නිපුණත්වය දක්වන නිෂී උපේක්ෂා අද තරුණී හැඩ ගන්වයි.