අභියෝග ජය ගන්න හැටි සාරාගෙන් ඉගෙන ගන්න

පෙබරවාරි 19, 2024

ඇනා බෙන් ප්‍රධාන චරිතයට රංගනයෙන් සම්බන්ධ වූ Sara's චිත්‍රපටය තරුණියකගේ සිතේ මූලිකවම හටගත් ආශාවන් සහ තමා අනාගතයේදී කවරෙක් විය යුතු ද යන්න පිළිබඳව වූ කැමැත්ත, කවරාකාරයෙන් හෝ ඉටු කරගැනීමට යත්න දරන තරුණියක සම්බන්ධ චිත්‍රපටයකි.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබූ ජුඩ් ඇන්තනී කතාවට අදාළ පුවත ගොනු කරනු ලැබුයේ සමස්තයක් ලෙසින් ඉන්දියානු ජන සමාජයේ කතාබහට ලක් නොවන්නකි. භාරතීය සමාජ ක්‍රමය පුරා නිරන්තරයෙන් පිරී පැවතියේ කාන්තාවට දෙවැනි තැන ලබා දෙන්නා වූ ක්‍රමවේදයකි. එහෙත් ජූඩ් ඇන්තනි ඇනා බෙන් හරහා අදාළ කතා පුවත ගෙනහැර පෑමට උත්සාහ කළේය. සරලවම සඳහන් කරන්නේ නම් ‘සාරා‘ කාන්තා විමුක්තිය වෙනුවෙන් තනිව, වෙනම හඬක් නැඟූ චරිතයක් ලෙසින් චිත්‍රපටය අවසානයේ බොහෝ දෙනෙකුට හැඟෙනු ඇත. එකී කාන්තා විමුක්තිය යනු තමාට රිසි දේ කිරීමටත්, රිසි ආකාරයෙන් විසීමටත් ඇවැසි වූ කාරණාවන්ය. එය කෙසේ හෝ ජය ගැන්මට සාරා සමත්වීමම මේ සඳහා උදාහරණයන්ය.

සාරා දඟකාර ලෙසින් තම ජීවිතය ගෙන යාමට වැඩි කැමැත්තක් දැක් වූ තරුණියකි. එයට හොඳම උදාහරණය වන්නේ පාසල් සමය තුළ දී ඇයට ප්‍රේමවන්තයකු සිටි අතර සිපගැනීමක් පවා සාරාට ලජ්ජා සහගත වූ අමුතු හැඟීම් දනවන්නක් නොවීය. එහෙත් ආදරය වේවා, ප්‍රේමවන්තයා වේවා, මවු පියන් වේවා ඒ සියල්ල තරාදියේ එක පසෙකට ඇයට දැමිය හැකි වුවද තරාදියේ අනෙක් පස චලනය නොවූ තවත් දෙයක් තිබිණි. එනම් ඒ අැයගේ අනාගත බලාපො‍ෙරාත්තුවයි. සාරාගේ බලාපොරොත්තුව වූයේ චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වී අධ්‍යක්ෂවරියකගේ භූමිකාවට පණ දීමයි. එහෙයින් ඇයට අවැසි වුයේ මේ සියල්ල හැර දමා තම අවශ්‍යතාවය පසුපස හඹා යෑමයි.

අධ්‍යක්ෂවරියකගේ සිහිනය තම සිතෙහි තිබෙන තාක් කල් ඇයගේ සිත ඊටත් වඩා ප්‍රබල කම්පනයට පත්වීමට හේතු වූ කරුණක් තිබිණි. එනම් විවාහයක් කරගත යුතු යැයි පවසමින් සිදුකරන තම මවගේ බලපෑමයි. විවාහය යනු තමාගේ ඉලක්කය හරහා වැටී ඇති බාධකයක් යැයි ඇය නිතරම සිතුවේ, විවාහයෙන් පසු සිදුවන දරුවන් බිහි කිරීම ආදී කටයුතු සඳහාත් ඔවුන් හැදී වැඩෙන තුරුත් තමාගේ වටිනා කාලය වෙන් කිරීමට ඇයට ඇති අකැමැත්ත නිසාවෙනි. ඇයට නිතරම මැවෙන්නට වූයේ තමා අධ්‍යක්ෂවරියක වන්නේ කෙදිනද යන සිහිනයයි.

චිත්‍රපටයෙහි අන්තර්ගතය කවරක් ද යන්න දැනුම්වත් වීමකින් තොරව නරඹන්නේ නම් එය ද එක්තරා චිත්‍රපටයක් පමණක්ම වේ. එහෙත් මින්, සාරාගේ චරිතය මූලික කර ගනිමින් අධ්‍යක්ෂවරයා පවසන්නට සූදානම් වන්නේ, සාරා මේ සියලුම ගනුදෙනු සිදුකරන්නේ කාන්තාවන්ගේ මාතෘත්වයට අැති අයිතිය සම්බන්ධයෙන් බවයි. මේ අතරම චිත්‍රපට ක්ෂේත්‍රය තුළදී කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් සහ වෙනස්කම් පිළිබඳ සාරාගේ අවධානය යොමුවීම පෙන්නුම් කරනු ලබයි. එයට උදාහරණයක් ලෙසින් අධ්‍යක්ෂවරයා චිත්‍රපටය තුළම දර්ශනයකින් පෙන්නුම් කරනුයේ ජනප්‍රිය තලයේ සිටින නිළියකට වුවද සමාජයේ කවර පැසසුම් ගෞරව බුහුමන් ලැබුවද ඇය පවා තම ස්වාමියාගෙන් චිත්‍රපටයකට සම්බන්ධවීමට අවසර ගත යුතු අන්දමයි. එයින් ඔහු පෙන්නුම් කරනුයේ පුරුෂාධිපත්‍ය සතුව කවරාකාර බලයක් පවතින්නේද යන්නයි.

එක් සමාජ කොට්ඨාසයකට මෙම චිත්‍රපටය නැරඹීමේදී එය විනාශ කර දමා, පහතටම ඇද දමමින් කතා කළ හැකිය. එමෙන්ම තවත් පිරිසකට එය කාන්තා නිදහස පිළිබඳව සාධාරණ රේඛාව මත දෙපා තබා කළ නිර්මාණයකැයි සතුටු විය හැකියි. අධ්‍යක්ෂවරයාට අවශ්‍යව තිබුණේ මෙහි දෙවැන්නයි. ඔහු විසින් මෙම කතා තේමාව මූලිකකර ගනිමින් ඉදිරිපත් කළ Sara's බොහෝ දෙනාගේ කතාබහට ද ලක් විය. එයට හේතු දෙකක් තිබිණ. එක් හේතුවක් වූයේ චිත්‍රපටයේ කතා තේමාවයි. අනෙක, ප්‍රධාන චරිතය රඟපාන ඇනා බෙන්ය.

ඇය මෑත කාලයේ සිට සාම්ප්‍රදායික කතා තේමාවන්ගේ නිමැවු චිත්‍රපටවලට සම්බන්ධ වීමට වඩා ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන චිත්‍රපටයන්ට රංගනයෙන් සම්බන්ධවීම දැකගත හැකිය. මේ ඉන් එක් චිත්‍රපටයකි.

මලයාලම් චිත්‍රපටයක් වන Sara's ජූඩ් අැන්තනි ජෝෂස් අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ආක්ෂෙ හරීෂගේ තිර පිටපතක් වෙනුවෙනි. ඇනා බෙන් සමඟින් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනුයේ සනී වේයින්ය.

චිත්‍රපට සම අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරන සාරාට අධ්‍යක්ෂවරියකගේ සිහිනය ජය ගැන්මට පැමිණෙන බාධාවන් එකිනෙක සෙමින් සෙමින් ඇය විසදගන්න අයුරු මෙහි දැක්වෙන්නේ කාන්තාවක් කවරාකාරයෙන් තම ජයග්‍රහණ කරා යා යුතුද යන්න සියලු කාන්තාවන්ට කියා පාමිනි. ඇය අධිෂ්ඨානශීලිය. තම මවු පියන්ගේ පෙරැත්තට ඇය විවාහ වුවද, තම ස්වාමියා සමඟ තිබෙන ගනුදෙනුව පෙන්වා දෙන්නේ තවත් ආකාරයකටය. මෙය ඉන්දියානු පවුල් සංස්ථාව වටා ගෙතී ඇති කතා මූලයක් වුවද කාන්තාවන් සියල්ලන්ටම මෙය පොදු කතාවක් බව පැහැදිලි වන්නේ චිත්‍රපටය අවසානයේදීය.

චිත්‍රපටයේ අවසානය තීරණය කරනු ලබන්නේ සාරා හමුවීමට ගිය වෛද්‍යවරයාය. ඔහු සාරාට සහ ඇයගේ ස්වාමියාට පවසන්නේ නීතිය සමඟින් පවතින සමාජ ස්වභාවයයි.

අධිෂ්ඨානශීලිව ජීවිතය ජයගන්නේ කෙසේද, තමාගේ අරමුණු කරා ළඟා වන්නේ කෙසේ ද යන්න කාන්තාවන්ට ඒත්තු ගැන්වීමට ඇනා බෙන් සාරාගේ චරිතය තුළින් මනා මෙහෙයක් ඉටු කළාය. යම් ලෙසකින් ඒ සාරා ඔබ ද විය හැකියි.