ආදරයයි, විශ්වාසයයි අපිව හැමදාම සතුටින් තියනවා

ගමේ ලස්සනම ලේළි ආදරය ගැන තරුණීට කියයි
පෙබරවාරි 19, 2024

මගේ සතුටේ සැබෑ අයිතිකරු ඔහුයි

 

ගමේ ලස්සනම ලේළී
අපෙ අම්මගෙ වේවී...
නුඹ මං එක්කලා ඉද්දි
තව හැඩට පෙනේවී
නෑදෑයොන්ට ගොඩක්
ඊරිසියා හිතේවී..
රාජපක්ෂ පවුල
මුළු ගමේම වැජඹේවී...

 

සමාජ මාධ්‍ය කලඹපු මේ ගීතය ඇසෙද්දි කාටත් මතක වන්නේ පියත් සඳනි ආදර සුසංයෝගයයි. ඒ ආදර සුසංයෝගයෙන් නිර්මාණය වුණු පියත් රාජපක්ෂගේ බඳිමු සුදා ගීතය හැමෝම මුමුණන ගීතයක් බවට පත්වෙලා. ගීත රූප රචනයට රංගනයෙන් දායක වන්නෙත් මේ ආදරණීය යුවළ වීම නිසා එය තවත් සුවිශේෂයි. ඒ නිසා අද කතාබහට ගමේ ලස්සන ලේළිව හදපු පියත් රාජපක්ෂවත්, පියත්ගේ හිතගත් ගමේ ලස්සනම ලේළි සඳනි ප්‍රනාන්දුවත් මේ කතාබහට එකතුකර ගන්නවා.

 

පියත් රාජපක්ෂ

හැමෝම කතා කරන මේ ගමේ ලස්සනම ලේළි ගීතය හැදුණේ කොහොම ද?

ඒ ගීතය හැදුණේ මගේම තනුවකින් සහ පද රචනයකින්. මියුසික් කළේ ලහිරු ඩී. කොස්තා. මියුසික් වීඩියෝ එක අධ්‍යක්ෂණය කළේ සහන් වික්‍රම ආරච්චි. මේ සිංදුෙව් පද ටික මුලින්ම ලීවේ දුක හිතෙන සිංදුවක් විදිහට. කොමල ලියා සිකුරුලියා කුමරිය ඔබ ඔහු බඳිනු එපා කියලයි මුලින් ලිව්වේ. පස්සේ ඒක වෙනස් කරලා ආදරණීය ගීතයක් බවට පත් කළා. මියුසික් වීඩියෝ එකත් මගේම අදහසක්.

ඔබ ගැන මුලින්ම හැමෝම කතා කරන්න ගත්තෙ ‘දවසක් ඒවී‘ ගීතය හරහායි..

ඔව්. ඒ ගීතය වෙනස්ම ආකාරයක ගීතයක්. තරමක දුක්මුසු ස්වරූපයකුත් ඒ ගීතයේ තිබුණා. තරුණ පරපුර තමයි ගොඩක්ම ඒ ගීතය වැලදගත්තේ. ඒක සෙමින් ජනප්‍රිය වුණු ගීතයක්. ගමේම ලස්සනම ලේළී එක් ක්ෂණයකින් ජනප්‍රිය වුණා හිතා ගන්නවත් බැරි විදිහට.

මේ ගීතය හැමෝම මුමුණන ගීතය වෙලා. මොකද ඒ ගැන හිතෙන්නේ?

කියාගන්න බැරි සතුටක් දැනෙනවා. මේ ගීතයේ තේරුමට හැමෝම ආදරෙයි. මොකද ඕනෑම කොල්ලෙක් කැමැතියි ලස්සන කෙල්ලෙක් බැඳලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. ඒ වගේම ඕනෙම කෙල්ලෙක් කැමැතියි ගමේම ඉන්න ලස්සනම ලේළි වෙන්න. හැම කොල්ලෙක් කෙල්ලෙක්ගෙම එකම හීනය ඒක. ඒ නිසාම වෙන්න ඇති හැමෝම මේ ගීතයට මේ තරමටම කැමැති. මේ ගීතයේ රූප රචනයට සඳනිගේ පවුලේ අයත් රංගනයෙන් සම්බන්ධ වෙනවා. ඒ නිසා පවුලේ අයත් හරිම සතුටෙන් ඉන්නෙ මේ ගීතය මෙතරම් හිට් වීම ගැන.

මේ ගීතය ලියවෙන්නේ සඳනි වෙනුවෙන්ම ද?

ඇත්තෙන්ම ඇය වෙනුවෙන්මයි මෙය ලියවෙන්නේ. ඇය මගේ පෙම්වතිය. ඇය ලස්සනයි. කරුණාවන්තයි. මගේ අතින් ලියැවෙන හැමදෙයක්ම ඇය වෙනුවෙන්මයි.

ඒ ලස්සන ලේළිව කැන්දන් යන්නේ කවදා ද?

මේ කාලේ අපි දෙන්නම කාර්යබහුලයි. ඒ නිසා අපි තවම ඒ දවස ගැන හිතලා නැහැ. හැබැයි ළඟදිම ඒ දවස උදා වෙයි.

 

සඳනිගෙන් පියත්ට ලැබෙන්නේ මොන වගේ සහයෝගයක් ද?

මගේ අතින් මේ විදිහේ සිංදු ලියවෙන්න හේතුවත් එයා. එයා හරිම ආදරණීය කෙනෙක්. ඉඳල හිටලා තරහ යන්නේ නැතුව නෙවෙයි. ඒත් එයා ඕනෑම කෙනෙක්ට ආදරෙන් සලකන්න දන්නවා. මට මගේ ජීවිතයේ එන හැම ප්‍රශ්නයකටම උත්තර හොයන්න ශක්තියක් වෙන්නේ ඇයයි.

පියත් සඳනි ගැන මේ විදිහට කියද්දි සඳනිටත් පියත් ගැන කියන්න දෙයක් ඇති. ඉතින් අපි හැරුණේ පියත් ආදරය කරන ගමේම ලස්සනම ලේළී සඳනි දෙසට. 

 

සඳනි ප්‍රනාන්දු

කොහොමද සඳනි?

සතුටින් ඉන්නවා

මොනවද අලුත් වැඩ කටයුතු?

භාරගත්ත වැඩ කිහිපයක් කරගෙන යනවා. ඒ වගේම ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන සල්ලි පොකුරු නාට්‍යයත් එක්ක තරමක් කාර්යබහුල වෙලා ඉන්නේ.

පසුගියදා ඔබගේ පළමු සිනමා නිර්මාණයත් තිරගත වුණා. කොහොමද ඒ අත්දැකීම...

1970 Love Story සිනමා පටය මගේ ජිවිතයේ සුවිශේෂි සන්ධිස්ථානයක් කිව්වොත් හරි. මොකද ඒක මගේ පළමු සිනමා අත්දැකීම. එය අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයක්. නිෂ්පාදනය සමන් එදිරිසිංහ. මේ සිනමා පටයට ලාංකේය ප්‍රේක්ෂකයින්ගෙන් පමණක් නොව ඩුබායි, ඔස්ට්‍රේලියා , බංග්ලාදේශය වැනි රටවලිනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මට ලැබුණු චරිතයත් ටිකක් වෙනස් එකක්. මියගිය ආත්මයක චරිතයක් තමයි කරන්න තියෙන්නේ. ඉතින් එකේ දෙබස් අඩුයි. හැමදේම මුහුණේ ඉරියව්වලින් තමයි පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ චරිතය හරියටම කරන්න මම සෑහෙන්න කැප වුණා.

බඳිමු සුදා ගැන මොකද හිතෙන්නේ?

හරිම සතුටුයි. පියත් මේ ගීතය නිර්මාණය කළේ අපි දෙදෙනාගේ ආදරය වෙනුවෙන්මයි. පියත් ගොඩ කාලයක ඉඳලා හිතපු දෙයක් තමයි දවසක අපි දෙන්නා ඉන්න මියුසික් වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඒ හීනෙත් ඉටු වුණා. හැබැයි මේ තරම් ඒක ජනප්‍රිය වෙයි කියලා නම් හිතුවේ නැහැ. මෙතෙක් මම රඟපාපු මියුසික් වීඩියෝස්වලින් ලස්සනම වීඩියෝ එක තමයි බඳිමු සුදා කියන්නේ.

පියත්ව හමුවීම ඔබේ ජීවිතයට මොනවගේ වෙනසක් ඇති කළා ද?

පියත්ව හමුවීමම තමයි මගේ ජීවිතයේ ලොකුම දේ. ඔහු නිසයි මම අද සතුටින් මේ වැඩ ටික කරගෙන යන්නේ. මගේ මේ සතුටට අයිතිකරු ඔහුයි. ඔහු හරි ආදරණීය කෙනෙක්. එයා මහන්සියෙන් එයාගෙම ගමනක් යන කෙනෙක්. එයා යන ගමනට මම උදවු කරනවා.

ඉදිරි බලාපොරොත්තු ගැනත් කතා කරමු.

තවත් ටෙලිනාට්‍ය කිහිපයකින් ඉදිරියේදී මාව දකින්න ලැබෙයි. ඒ වගේ භාරගත්ත වැඩ කිහිපයක් තියෙනවා. පියත්ගේ ආදරය ලබමින් කලාව තුළ මම හැමදාමත් ඉඳිවී.