පෝෂණයෙන් පිරුණු චීස් ගෙදර හදමු

අගෝස්තු 5, 2020

‘චීස්’ කියන කොටත් සමහරුන්ට ඉවසීමක් නැහැ. විශේෂයෙන්ම පොඩි දරුවන් චීස්වලට දක්වන්නේ සුවිශේෂී කැමැත්තකි. ඒ නිසාම මාපියන් වෙළෙඳපොළෙන් චීස් ගෙනත් දරුවන්ගේ ආශාවන් ඉටුකරනවා. චීස් වගේම චීස් යොදාගෙන හදන කෑමත් බොහෝ රසවත්. ඒ නිසාම අපි චීස් යෙදු කෑම වර්ග කන්නත් කැමැත්තෙමු.

ඒත් බොහොමයක් දෙනෙක් දිවපිනවන, පෝෂණීය චීස් වර්ග පිළිබඳ දැනුවත් නැහැ. වෙළෙඳපොළේ විවිධාකාර චීස් වර්ග තියෙනවා. මේවායින් සමහරක් ආහාර රසකරන්න වගේම නිකම්ම කන්නත් පුළුවන්. මොසරැල්ලා, චෙඩාර් ආදී නම්වලින් හඳුන්වන මේ චීස් අපේ ගෘහණියන් සල්ලි දීලා වෙළෙඳපොළෙන් ගන්නයි පුරුදුව හිඳින්නේ. ඒත් මේ චීස් වර්ග ඔබේම අතින් පිරිසුදුවට, අඩු වියදමික් සකසාගන්න පුළුවන්. ඒ නිසාම අපි විවිධාකාර චීස් වර්ග හඳුනාගන්නා අතරම ඒවා නිවෙසේදී සාදාගන්නා ආකාරය මෙලෙස ගෙන එනවා.

උපදෙස් ප්‍රවීණ සූපවේදිනී

ප්‍රදීකා විජේසුරිය

 

ක්‍රීම් චීස්

වෙළෙඳපොළෙන් ඉහළ මිලක් ගෙවා ක්‍රීම් චීස් ගන්නවට වඩා ඔබේ අතින්ම හදාගන්න පුළුවන් නම් එහි වටිනාකම මොනතරම්ද?

දැන් අපි මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා බලමු.

කිරි පිටි මේස හැඳි 3 ක්

හොඳින් පැසුණු උණුවතුර

මිලි ලීටර් 300 ක්

ලුණු තේ හැන්දක්

ලයිම් ජූස් මේස හැඳි 3 ක්

(දෙහි යුෂ)

සාදන ආකාරය

මුලින්ම කිරි පිටි මේස හැඳි තුන උණුවතුරට දියකර ගන්න. ඔබට මේ සඳහා ෆ්‍රෙෂ් මිල්ක් භාවිත කරන්නත් පුළුවන්. පිටි ටික හොඳින් දිය වූ පසු එයට ඒකට ලුණු එකතු කරන්න. ඊට පස්සෙ ලයිම් ජුස් ටික එකතු කර හොඳින් හැඳිගාන්න. දැන් පිරිසුදු රෙදි කැබැල්ලක් අරගෙන ඉහත මිශ්‍රණය පෙරාගන්න. එවිට වතුර ඉවත්වෙලා කැට ටිකක් ඉතිරි වෙනවා. ඊට පස්සෙ ආයෙ වතුර ටිකක් දාලා නැවතත් ඒ කැට ටික හෝදන්න. මේ විදිහට හෝදනවිට කිරි ටික බෝලයක් වගේ හැදෙනවා.

දැන් බෝලයක් විදිහට හැදුණු කිරි ටික භාජනයකට දමා හොඳට බීට් කරන්න. ඔබ භාවිත කළේ ෆ්‍රෙෂ් මිල්ක් නම් බීට් කරද්දි ආපහු කිරි ටිකක් එකතු කර බීට් කරන්න. දැන් මෙය ශීතකරණයට දමා ඔබට අවශ්‍ය ලෙස භාවිත කරන්න පුළුවන්.

කේක් වර්ග හදන විටදි වගේම රසවත්ව සැලඩ් හදන විටත් මේ ක්‍රිම් චීස් එකතුකර ගන්නට හැකියි.

2020/08/05 තරුණි පුවත්පත බලන්න.