අපිට ආවේණික අපේම කෑම

අප්‍රේල් 22, 2024

 

රතු දත්ත වාර්තාවේ වඳවීගෙන යන සත්තු ගැන තොරතුරු තියෙනවා. සත්තුන්ට වගේම ඔය සෙතේ කෑමවලටත් වෙන්න පුළුවන් කියලා කවදාහරි හිතිලා තියෙනවද? ලංකාව කියන්නේ රහ කෑමවලින් ලෝකයම හොල්ලපු රටක්.

අපට ආවේණික කෑම වගේ ම වෙනත් රටවලින් අපට ලැබුණු ඒත් අපේ විදියටම හදාගත්තු කෑම බොහොමයක් තියෙනවා. ලෝකේ හැම රටකටම වඩා අපේ කෑම බීම හරි වෙනස්. අද කාලේ තුන් වේල සම්පූර්ණ කරගන්න බත්, පාන්, ඉඳිආප්ප, නූඩ්ල්ස්, රොටී, කඩල, තෝසේ, පරාටා වගේ කෑම හැරුණම අමුතුවෙන් දෙයක් හදාගන්නේ නැති තරම්. දැන් එතරම් සුලබව දකින්න නැති ඒත් සුලබව හදාගන්න ඕනි රහම රහ කෑම වට්ටෝරු ටිකක් තමයි මේ.

මේ කෑම එක් එක් ප්‍රදේශවලට ආවේණික බවක් තිබ්බට ඒ ප්‍රදේශවල අයත් දැන් මේ කෑම හදන්නේ බොහොම කලාතුරකින්. වැඩ රාජකාරිත් එක්ක ප්‍රධාන වේල් තුන උයාගන්නත් බුදු කට්ටක් කන්න ඕනි. ඒත් අපිට අනන්‍ය ආහාර සංස්කෘතිය නැති වෙන්න දෙන්න එපා. දරුවොත් එක්ක වෙලාවක් හදාගෙන හරි මේ වගේ සරල කෑම හදලා රස විඳින්න.

 

කී රොටී

කී රොටී වැඩියෙන්ම හදන්නේ වයඹ පළාතේ ඈයෝ. ඒ පැත්තේ දානේ ගෙවල්වලට කී රොටී අනිවාර්යයි. ඔය තරම් ඉස්තරම් කී රොටිය හදාගන්නේ මෙහෙමයි. හැබැයි එකවර කී රොටි දෙක තුනකට වඩාකන්න බැහැ කියනවනේ. මොකද පැණි රසින් වැඩි නිසා වැඩියෙන් කෑවොත් පොඩි අප්පිරියාවකුත් එනවා කියලයි කියන්නේ.

කී රොටි සෑදීමේදී පළමුව ආප්ප මිශ්‍රණය සකසා ගත යුතුයි. ඒ සඳහා හාල්පිටි කෝප්ප 2 1/2ක්, සීනි තේ හැඳි 2ක්, ලුණු තේ හැඳි 3/4ක්, මිටිකිරි කෝප්ප 1/2ක්, බේකිං සෝඩා තේ හැඳි 1/4ක්, පොල් වතුර 1/2ක් සහ කිරිපිටි මේසහැඳි 1ක් අවශ්‍යයි.

 සිරප් එක සැකසීමට හකුරු ග්‍රෑම් 250ක්, දියකිරි කෝප්ප 2ක්, මිටිකිරි කෝප්ප 1ක්, තළාගත් සුදුලූනු බික් 3ක්, ගම්මිරිස් කුඩු මේසහැඳි 1/2ක් සහ බැදපු හාල්පිටි මේසහැඳි 2ක් අවශ්‍යයි.

මුලින්ම හාල්පිටි ටික භාජනයකට දාලා ඒකට පොල් වතුර ටිකින් ටික හිමීට දාලා අතින් අනන්න ඕනේ. ඊට පස්සේ සීනි තේ හැන්දක් දාන්න. මේකත් තලපයක් එන විදියට අනාගන්න. දැන් මේ මිශ්‍රණය පැය 6ක් පිපෙන්න තියන්න. ඊට පස්සේ මේකට මිටිකිරි කෝප්ප 1/2ක් එකතු කරන්න. එකපාරටම නැතුව ටික ටිකයි දාන්න ඕනි. මේක අනාගත්තාට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න. ඒ වගේම සීනි තේ හැන්දකුත් බේකිං සෝඩා තේ හැඳි 1/4ත් දාලා කලවම් කරන්න. කිරිපිටි මේසහැන්ද ඊළඟට එකතුකර ගන්න. මේ මිශ්‍රණය පැය භාගයක් තියෙන්න අරින්න. දැන් මිශ්‍රණය හදලා ඉවරයි.

ඒ අතරතුර පොල්පැණි සිරප් එක හදාගන්න. භාජනයක් ළිප තියලා ඒකට දියකිරි කෝප්ප 1 1/2ක් දාන්න. මේකට හකුරු ග්‍රෑම් 150ක් එකතු කරගන්න. අඩු ගින්දරේ දියකර ගන්න. දියවුණාට පස්සේ ඉතුරු හකුරු ටික එකතු කරන්න. ඒකත් දිය වුණාට පස්සේ මේ ද්‍රාවණය පෙරාගන්න ඕනි. පෙරාගත්තු මිශ්‍රණය භාජනයකට දාලා ළිපේ තබන්න. එයට ගම්මිරිස්, සුදුලූනූ දාලා කලවම් කරලා ටික වෙලාවක් ළිප තියාගන්න. මිටිකිරි කෝප්පයෙන් ටිකක් එක්කර ගන්න. බැදපු හාල්පිටි මේසහැඳි 2ක් මෙයට එක් කරන්න. හොඳින් හැඳි ගාලා විනාඩි කීපයක් ළිප මත මඳගින්නේ තබන්න. ලුණු ඩිංගක් එකතුකර ගන්න.

තාච්චියක් ළිප තියලා කී රොටී ටික හදාගන්නේ මෙහෙමයි. අඩු ගින්දරේ තෙල් ගාපු තාච්චියට මිශ්‍රණයෙන් ටික ටික එකතු කරලා රොටිය හදාගන්න. මේකට සාමාන්‍ය ආප්පයක් හදනවාට වඩා කාලයක් යනවා. ටික වෙලාවකින් තාච්චියේ පියන ඇරලා ඇඟිලි තුඩුවලට වතුර ටිකක් අරගෙන ඉහින්න. ආයෙත් පියනෙන් වහලා තම්බාගන්න. එක පැත්තක් විතරයි තම්බගන්නේ. කී රොටිය හොඳට තැම්බුණාට පස්සේ කලින් හදාගත්තු සිරප් එක ඇතුළට රොටිය දාන්න.සිරප් එක මේ රොටියට හොඳින් උරාගත් පසුව ආහාරයට ගන්න.

 

පුස්නාම්බු

පුස්නාම්බු ගම්වල තවමත් උදෑසන අාහාරයක් විදිහටයි සලකන්නේ. ඒ වගේම තේ වෙලාවට රස කැවිල්ලක් විදිහටත් රස බලන මේ පුස්නාම්බුවලට වැඩියෙන්ම ආස පොඩ්ඩෝ. එහෙනම් කවුරුත් ආස පුස්නාම්බු මේ විදිහට හදලා බලමු.

මේ සඳහා හාල් පිටි ග්‍රෑම් 100ක්, ඉරිඟු පිටි ග්‍රෑම් 250ක්, කිතුල් පැණි හෝ පොල් පැණි කෝප්ප 1ක්, පොල් ගෙඩියක වතුර (දවසක් පැරණි නම් වඩාත් හොඳයි) සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

මුලින්ම අඹරාගත්ත හාල්පිටි සහ ඉරිඟු පිටි මිශ්‍රණයට පැණි කෝප්පය දාලා හොඳට මිශ්‍රකර ගන්න. සමහර ප්‍රදේශවල ඉරිඟු පිටි දාන්නේ නැතුව හාල් පිටි ග්‍රෑම් 200කට උඳු මේස හැඳි 2ක් දාලා මිශ්‍රණය හදාගන්නවා. මේ මිශ්‍රණයට ලුණුයි, පොල් වතුරයි දාලා රොටී පදමට හදාගෙන පැය 10ක් පමණ වසා තබන්න. කැන්ද කොළයක් අරගෙන මිශ්‍රණයෙන් කෝප්ප භාගයක් බැගින් වණ්ඩුවේ දාලා තම්බා ගන්න. හොඳින් තැම්බෙනකොට පුස්නාම්බුවේ මුදුන පුපුරනවා. එතකොට ඉක්මනටම බාගන්න.

කොස්ඇට අග්ගලා

බැදගත් කොස් ඇට 30ක්, ගා ගත් පොල් කෝප්ප 1ක්, සීනි ග්‍රෑම් 100ක්, ලුණු, ගම්මිරිස්, වතුර, කොස් ඇට 30කට වඩා ඕනි නම් සීනි ප්‍රමාණ වෙනස් කරගන්න වෙනවා.

ඉස්සෙල්ලා ම කොස්ඇට ටික  වංගෙඩියකට දාලා කොටාගන්න. ඊට පස්සේ පොල් කෝප්පය දාලා ආයෙත් කොටාගන්න. මේ මිශ්‍රණය භාජනයකට දාලා ඒකට අවශ්‍ය පමණට ලුණු, ගම්මිරිස් කුඩු සහ වතුර එකතුකර හොඳට අනාගෙන අග්ගලා ගුලි හදාගන්න.

බෙරලිය පිට්ටු

බෙරලිය පිට්ටු හදාගන්න ටිකක් අමාරුයි. මොකද කියනවා නම් බෙරලිය ගෙඩි හටගන්නේ අවුරුදු හතකට වතාවයි. අනික තෙත් කලාපයේ විතරයි දකින්න ලැබෙන්නෙත්. ශ්‍රී ලංකාවට මේවා ආවේණිකයි.

සිංහරාජ, කළුතර සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්වල නිවර්තන තෙත් වනාන්තරවල බෙරලිය ගස් සුලබයි.

කෑමට සුදුසු ආකාරයට බෙරලිය ගෙඩි සකස් කරන විට පොත්ත ඉවත් කර කහට ගතිය ඉවත්වන තුරු දින කිහිපයක් ජල බඳුනක තැබීමට සිදුවේ. ඉන්පසු බෙරලිය ගෙඩිවල මදය තලා සකසා ගත යුතුයි. පිට්ටු සඳහා යොදාගන්නේ එයයි.

බෙරලිය ග්‍රෑම් 200ක්, හාල්පිටි  ග්‍රෑම් 200ක්, පොල් අවශ්‍ය පමණ සහ ලුණු අවශ්‍ය පමණ අවශ්‍ය වේ.

ඉස්සෙල්ලාම බෙරලිය ගෙඩි හොඳින් සෝදලා අරගෙන වේලුණාට පස්සේ කොටාගන්න ඕනි. ඒකට හාල්පිටි, පොල් සහ ලුණු එකතු කරලා සාමාන්‍ය විදියට පිට්ටු හදනවා වගේම හුමාලයෙන් තම්බා ගන්න ඕනි.

 

සව්බොර රොටී

මේ සඳහා සව් ග්‍රෑම් 100ක්, ගාගත් පොල් ග්‍රෑම් 100ක්, බිස්කට් කුඩු ග්‍රෑම් 100ක්, සීනි ග්‍රෑම් 100ක්, ලුණු ස්වල්පයක් සහ වතුර අවශ්‍යයි.

ප්‍රථමයෙන්ම රොටී මිශ්‍රණයක් සේ සියල්ල අනාගන්න. කැමති හැඩවලට රොටී සකසා කපා ගන්න. බටර් තැවරූ තැටියකට දමා දෙපැත්ත පුලුස්සා ගන්න.

 

කුරක්කන් හැලප

කුරක්කන් පිටි ග්‍රෑම් 250ක්, ගාගත් පොල් කෝප්ප 1ක්, ලුණු ටිකක්, හකුරු කෝප්පයක්, කරදමුංගු ඇටයක් සහ වතුර ස්වල්පයක් අවශ්‍යයි.

 මුලින්ම හකුරු ටික ළිපේ තියලා රත්කර ගන්න. දියවෙනකොට කරදමුංගු ඇටය දාලා ඒකටම පොල් ටිකත් දාලා කලවම් කරලා පැණිපොල් එක හදාගන්න. 

ඊළඟට මේකට කුරක්කන් පිටි, ලුණු හා වතුර දාලා නොඇලෙන පදමට හැලප මිශ්‍රණය හදාගන්න. 

කැන්ද කොළවල තෙල් ගාලා මිශ්‍රණයෙන් ටික ටික දාලා කොළේ නවලා තුනී කරන් විනාඩි 20-30ක් ස්ටීම් කරගන්න. 

සීලවඩිච්චි

සීලවඩ්ච්චි කියන්නේ දකුණටම ආවේණික පානයක්. කුරුම්බා ගෙඩියෙන් හදන මේ පානය මේ දිනවල පවතින පෑවිල්ලට කියාපු පානයක්. මෙහි ඇති පුදුමාකාර රසය නොබලපු ගාල්ල, මාතර, රත්ගම පැත්තේ කෙනෙක් නැති තරම්. එහෙනම් සිලවඩිච්චි මෙහෙම හදලා බලමු.

මේ සඳහා කුරුම්බා ගෙඩියක්, බටර් විස්කෝතු. (මේවට පාන් විස්කෝත්තු කියලත් කියනවා.) සීනි ස්වල්පයක් සහ හබල පෙති ස්වල්පයක් අවශ්‍යයි.

කුරුම්බා ගෙඩියේ ඇස්ස කපා වතුර ටික වෙන්කර ගන්න. ඊට පස්සේ කුරුම්බා ගෙඩියේ ලොඳ ටිකත් හොඳට හූරලා අරගෙන තියෙන්න අරින්න. ඊට පස්සේ මේකට ඒකෙම කුඩුකර ගත්තු බටර් විස්කෝතුයි, සීනියි, හබල පෙතියි එකතු කරලා ඒකට කුරුම්බා වතුර ටිකත් දාලා කන්නයි බොන්නයි තියෙන්නේ. හබල පෙති ටික එකතු කරන්න කලින් හබල පෙති ගරලා පොඟවලා වතුර මිරිකලා ගන්න ඕනි.

උපදෙස්

සූපවේදී සුජිත් ආරියරත්න