පුතුගෙ උපන් දිනයට බෙයාර් කේක්

ජනවාරි 20, 2021

 

පුංචි පුතුගේ උපන් දිනය හැඩකරන්න බැලුම්බෝල, තරුමල් අරගෙන බෙයාර් යාළුවො ඇවිත් බෙයාර්ලා තරගයකට යන්න සූදානම් වෙනවා වගේ නේද?

ඉතිං මේ වගේ කේක් එකක් පුංචි පුතාගේ උපන්දිනය වෙනුවෙන් සාදා දෙන්න පුළුවන් නම් ඔහු ගොඩක් සතුටු වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය:

කිලෝ එකේ රවුම් තැටියක

සාදාගත් රිබන් කේක් කිලෝ දෙකක්

ග්‍රෑම් 500ක තැටියක සාදාගත්

රිබන් කේක් එකක්

බටර් අයිසිං

ෆොන්ඩන්ට් අයිසිං

පාච්මන්ට් අයිසිං

බාබක්‍යු ස්ටික් දෙකක්

සාදන ආකාරය:

පළමුව කිලෝ එකේ තැටියක සාදාගත් කේක් දෙක ගෙන බටර් අයිසිං තවරා සැන්ඩ්විච්කර නැවත සම්පූර්ණ කේක් එකම බටර් අයිසිංවලින් කවර්කර පසුව ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරන්න. එයට උඩින් ග්‍රෑම් 500 තැටිය මඟින් බේක් කරගත් කේක් එක තබා එය ද පළමුව බටර් අයිසිංවලින් කවර්කර පසුව ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරන්න. උඩින් ඇති කේක් එක වටා නිල් ෆොන්ඩන්ට් තීරු කීපයක් සාදා අලවන්න. කේක් දෙක සම්බන්ධවන තැනට තද නිල් පාට ෆොන්ඩන්ට් අයිසිං පටියක් අලවන්න. යටින් ඇති කේක් එක වටාද වර්ණ කීපයකින් සාදා කපාගත් බැලුම්බෝල කුඩා කෘමි සතුන් සහ ඉලක්කම කපා අලවන්න.

කේක් එක යටින් නිල් පාට ෆොන්ඩන්ට් පටියක් කපා බටයක් ආකාරයට රෝල්කර අලවන්න. ඒ වටා පාච්මන්ට් අයිසිංවලින් සාදාගත් රෝස මල් කීපයක් අලවන්න. මෝල්ඩ් භාවිතයෙන් කපාගත් රෝසමලක් සාදාගන්නා ආකාරය ඡායාරූපය මඟින් ඔබට පැහැදිලි වේවි. කේක් එක උඩට ටෙඩිබෙයා තුන් දෙනෙක් සාදා තබා ඇත. එය සාදාගන්නා ආකාරයද ඡායාරූපය මඟින් ඔබට පැහැදිලි වේවි. කේක් එක උඩට බාබක්‍යු ස්ටික් දෙකක් ගසා ඒ දෙක අතරට ෆොන්ඩන්ට් අයිසිංවලින් සාදා ගත් කොඩිවැලක් තබා තිබේ. ඊට අමතරව තරු සහ බැලුම් බෝල ෆොන්ඩන්ට් අයිසිංවලින් සාදා කේක් එක මත අලවාගෙන තිබේ. මෙම නිර්මාණ කේක් එක මත ඇලවීම සඳහා එඩිබල් ගම් භාවිතකර ඇති අතර එය සාදා ගැනීමට වතුර මේස හැඳි දෙකකට තයිලෝ පවුඩර් තේ හැන්දක් දමා හොඳින් මිශ්‍රකර ගම් එක සාදාගත හැකියි.

 

 

උපදෙස් කේක් නිර්මාණ ශිල්පිනී

දිලීනා තත්සරණි කටුලන්ද