දෝණිට අවුරුදු18යි රෝස පාටින් හැඩ කළ කේක් එකක් හදමු

සැප්තැම්බර් 18, 2023

හිරිමල් යෞවනයේ පසුවන ආදරණීය දියණියට දැන් වයස අවුරුදු 18ක්. වැඩිහිටි ලෝකයට පියනඟින්නටයි මේ සූදානම. ඉතින් ඒ නිසාම 18 වැනි උපන්දිනය ඇයට හරිම සුවිශේෂීයි. ඉතින් ඒ විශේෂිත උපන් දින කේක් එක ඔබ අතින්ම නිර්මාණයකර දුන්නොත් දියණියගේ සතුට දෙගුණ තෙගුණ වෙනවා නේද?

 

අවශ්‍ය ද්‍රව්‍ය

* අඟල් 07 ප්‍රමාණයේ කේක් තැටියක බේක් කරගත් (ග්‍රෑම් 500) කේක් 2ක්

* බටර් අයිසිං

* රෝස පාට කලරිං

* සුදු චොකලට් ගානිෂ්

* චොකලට් මෝල්ඩ් දෙකකින් සාදා ගත් චොකලට් කිහිපයක් (හදවත් හැඩයේ හා කුඩා චොකලට් බාර් හැඩති )

* ගම් පේස්ට්වලින් සාදා ගත් රෝස මල් 2ක්

* එඩිබල්වලින් සැකසූ සුදු පැහැති මුතු (ප්‍රමාණ කිහිපයකින් )

* රවුම් ක්‍රීම් බිස්කට් කිහිපයක්

* රෝස පැහැති වේෆර්ස් කූරු කිහිපයක්

* ferrero rocher චොකලට් 2-3ක්

* එඩිබල් ගෝල්ඩ් ලීෆ්

* රෝස පැහැති අඟල් 10 ප්‍රමාණයේ කේක් බෝඩ් එකක්

* ෆොන්ඩන්ට් අයිසිං පොඩි ප්‍රමාණයක්

* එඩිබල් ගම්

 

සකස් කරගන්නා ආකාරය :

 

* බේක් කරගත් කේක් එක හොඳින් නිවෙන්නට හරින්න. ඉන්පසුව අයිසිං කිරීමට සුදුසු පරිදි අනවශ්‍ය කොටස් ඉවත්කර සූදානම් කරගන්න.

* ඉන්පසු ටර්නින් ටේබල් එක මත කේක් බෝඩ් එක තබන්න. ඒ මත කේක් එක තබා බටර් අයිසිං ටිකක් තවරා අනෙක් කේක් එක තබා සැන්ඩ්විච් කරගන්න. අනතුරුව සම්පූර්ණ කේක් එකම බටර් අයිසිංවලින් ආවරණය කරගන්න. මෙලෙස අයිසිං කරගත් කේක් එක විනාඩි 10ක් පමණ ශීතකරණයේ තබන්න.

* දැන් ශීතකරණයේ තැබූ කේක් එක පිටතට ගෙන නැවත ටර්නින් ටේබල් එක මත තබා රෝස පැහැති බටර් අයිසිං හොඳින් තවරා කේක් එක ලස්සනට ආවරණ කරගන්න. (බටර් අයිසිං වලින් ෆිනිෂින් කරගන්න)

* නැවතත් කේක් එක ශීතකරණයේ තබන්න.

* කේක් එක හොඳින් ශීත වූ පසු සාදාගත් සුදු පැහැති චොකලට් ගානිෂ් එක කේක් එක වටේට වත්කර ගන්න. පසුව නැවතත් කේක් එක විනාඩි 5-10ක් ශීතකරණයේ තබන්න.

* ඉන්පසු ඔබට කේක් එක කැමති, ගැළපෙන, ලස්සන ආකාරයට හැඩ ගන්වා ගත හැකියි. මෙහිදී ඔබගේ රුචිකත්වය පරිදි විවිධ රසගන්වනයන් සහ හැඩවැඩ කරන දෑ තෝරා ගන්න.

* පසුව Happy Birthday ට්‍රොපර් එකක් කේක් එක උඩ රඳවා ගන්න.

* අවසානයේ කේක් එක ඉදිරිපස (කේක් බෝඩ් එක මත) නම හා වයස ෆොන්ඩන්ට් අයිසිංවලින් කටර් එකකින් කපා එඩිබල් ගම්වලින් අලවා ගන්න.

 

 

උපදෙස්

කේක් නිර්මාණ ශිල්පිනී

නිසංසලා වීරක්කොඩි