පාන්වලින් රසම රස ඩෙසර්ට් හදමු ද?

ඔක්තෝබර් 23, 2023

හැමදාම ගන්න පාන්වලින් පෙති දෙක තුනක්වත් අනිවාර්යෙන්ම ඉතුරු වෙනවනෙ. අන්න ඒ ඉතුරු වෙන පාන්වලින් හදන්න පුළුවන් රසම රස ඩෙසර්ට් ටිකක් ගැන කියලා දෙන්න හිතුවා. මේවා ගොඩක් ලේසි රෙසිපි. ඒ නිසා අනිවාර්යයෙන්ම හදන්න ට්‍රයි කරන්න. 

ග්‍රිල්ඩ් චොකලට් සැන්ඩ්විච්

 

බටර් මේස හැඳි 1ක්

පාන් පෙති 4ක්

චොක්ලට් චිප්ස් කෝප්ප 1/2ක්

ලුණු ටිකක්

සීනී හා කුරුඳු කුඩු ටිකක්

පාන් පෙතිවල බටර් ගාගෙන ටික වේලාවක් පෑන් එකට දාලා ෆ්‍රයි කරගන්න.  දැන් පෙත්තක් උඩින් චොකලට් චිප්ස් දාලා තව පාන් පෙත්තකින් වහලා නැවත සැන්ඩ්විච් එකේ පිට පැත්ත පෑන් එකේ ටෝස්ට් කරගන්න. උඩින් සීනි හා කුරුඳු කුඩු ඉස කෑමට ගන්න. 

 

 

බටර්ස්කොච් බ්‍රෙඩ් පුඩිං

 

බටර්ස්කොච් එකට

බටර් මේස හැඳි 2ක්

සීනි මේස හැඳි 6ක්

රැයක් ශීතකරණයේ තැබූ පාන් පෙති ටිකක්

කිරි කෝප්ප 4ක්

බිත්තර 4ක්

බටර් මේස හැඳි 2ක්

සීනි කෝප්ප 1/4ක්

වැනිලා තේ හැඳි 1ක්

 බටර්ස්කොච් එකට

පෑන් එකක් ළිපේ තියලා බටර් ටික දාලා මෙල්ට් වෙනකොට සීනි ටික දාගන්න. ටිකකින් සීනි දියවෙලා කැරමල් වෙනවා පෙනෙයි. දැන් මේක බටර් ගාගත් ට්‍රේ එකකට දාලා අඩිය වැහෙන්න තවරා ගන්න. පාන් පෙති ටික පොඩි කෑලිවලට කඩාගන්න. කිරිවලට බිත්තර, සීනි, වැනිලා, බටර් දාලා හොඳට බීට් කරගන්න.  කඩාගත් පාන් පෙති ටික සකස් කරගත් ට්‍රේ එකේ අතුරලා උඩින් බිත්තර මිශ්‍රණය දාගන්න. සෙල්සියස් අංශක 180ට විනාඩි 20-30ක් බේක් කරගන්න. 

 

 

හොට් චොකලට් බ්‍රෙඩ් පුඩිං

කිරි කෝප්ප 3ක්

කොකෝවා පවුඩර් මේස හැඳි 2ක්

සීනි කෝප්ප 1ක්

වැනිලා ටිකක්

කුඩු කරගත් ඩාක් චොකලට් කෝප්ප 1/4ක්

බිත්තර 4ක්

කෑලි කපාගත් පාන් පෙති කෝප්ප 3ක්

චොකලට් චිප්ස් කෝප්ප 1ක්

විප්ක්‍රීම් කෝප්ප 2ක්

කුඩු කරගත් ඩාක් චොකලට් කෝප්ප 1/2ක්

 

කිරි ටික පෑන් එකට දාලා කොකෝවා පවුඩර් ටිකත් දාලා වැනිලා හා සීනි දාලා ළිපේ තියන්න. 

ටිකකින් කුඩුකරගත් ඩාක් චොකලට් ටිකත් දාලා උණු කරගන්න. වෙනම බෝල් එකක බිත්තර ටික බීට්කරලා චොකලට් මිශ්‍රණයට දාලා කැටි ගැහෙන්නෙ නැතිවෙන්න ඉක්මනින් විස්ක් කරගන්න. 

දැන් කපාගත් පාන් ටික මේකට දාලා කලවම් කරලා බටර් ගා ගත් බේකිං ට්‍රේ එකකට දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 30ක් බේක් කරගන්න. 

ඩාක් චොකලට් ටික ඩබල් බොයිල් කරලා නිවෙන්න තියලා විප් ක්‍රීම්වලට දාලා දියාරු වෙනකල් බීට් කරගන්න. දැන් පුඩිං එකට උඩින් විපිං මිශ්‍රණය දාගන්න. 

 

 

මාමලේඩ් බ්‍රෙඩ් පුඩිං

 

පුඩිං එකට

බටර් මේස හැඳි 10ක්

පාන් පෙති 10 - 12ක්

මාමලේඩ් මේස හැඳි 4ක්

ග්‍රේට්කරගත් දොඩම් පොතු ටිකක්

දොඩම් ගෙඩි 2ක යුෂ

දෙහි ගෙඩියක යුෂ හා ග්‍රේට්කරගත් පොතු

සීනි කෝප්ප 1/2ක්

කිරි කෝප්ප 1 1/4ක්

බිත්තර 2ක්

සීනි මේස හැඳි 2ක්

ෆ්‍රෙෂ් ක්‍රීම් මේස හැඳි 4ක්

 

අවන් එක සෙල්සියස් අංශක 180ට රත් කරගන්න. ට්‍රේ එකකට බටර් ගා ගන්න. පාන් පෙතිවල බටර් හා මාමලේඩ් ගා ගන්න.  මේවා ත්‍රිකෝණ හැඩයට කපාගන්න. බෝල් එකකට දෙහි යුෂ, සීනි, දොඩම් යුෂ, දොඩම් හා දෙහි පොතු දාලා සීනි දියවෙනකල් හොඳින් ගසා ගන්න.  දැන් පාන් පෙති මේ මිශ්‍රණයෙන් පොඟවලා බටර් ගා ගත් ට්‍රේ එකේ අතුරගන්න.  බෝල් එකක් අරන් කස්ටඩ් එකට අවශ්‍ය සියල්ලම හොඳට බීට් කරලා පාන්වලට උඩින් වක්කරගන්න.  දැන් මේක සෙල්සියස් අංශක180ට විනාඩි 30ක් බේක් කරගන්න. 

පානෙ ෆ්‍රිට්ටෝ

පාන් පෙති 5 - 6ක්

කිරි කෝප්ප 1ක්

සීනි ග්‍රෑම් 50ක්

බිත්තර 1ක්

ලෙමන් යුෂ මේස හැඳි 2ක්

ග්‍රේට්කරගත් ලෙමන් පොතු

තේ හැඳි 1ක්

වයිට් වයින් ටිකක්

බටර් මේස හැඳි 2ක්

 

කිරිවලට සීනිවලින් භාගයක් දාලා දිය කරගන්න. වෙනම බෝල් එකකට බිත්තරය හා ඉතිරි සීනි ටික දාලා ලෙමන් යුෂ, ලෙමන් පොතු හා වයින් දාලා බීට් කරගන්න. 

පෑන් එකක් ළිපේ තියලා බටර් ටික දාලා රත් වෙනකොට කිරි මිශ්‍රණයෙන් පොඟවපු පාන් පෙති බිත්තර මිශ්‍රණයෙනුත් පොඟවලා පෑන් එකට දාලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න.  උණුවෙන්ම සීනි ටිකක් උඩින් ඉස කෑමට ගන්න.

 

බෙරි සමර් පුඩිං

 

බ්ලූබෙරි කෝප්ප 1ක්

රාස්බෙරි කෝප්ප 1 1/2ක්

බ්ලැක්බෙරි කෝප්ප 1 1/2ක්

සීනි කෝප්ප 1/2ක්

සැන්ඩ්විච් පෙති පාන් ගෙඩියක් 

හෙවික්‍රීම් ටිකක්

 

පෑන් එකකට බෙරි වර්ග සියල්ල හා සීනි දාලා  හැඳිගාන්න. මේක අඩු ගින්දරේ තියන්න ඕනේ. සීනි දියවෙලා බෙරීස් පොඩිවෙලා ජෑම් එකක් වගේ වෙනකොට ළිපෙන් බාගන්න.  නිවෙන්න තියන්න. බෝල් එකකට බටර් ගාලා පාන් පෙතිවල වාටි කපලා බෝල් එක ඇතුළෙන් අතුරගන්න. මුළු බෝල් එකම වැහෙන ආකාරයට.  දැන් මේකට බෙරි ජූස් එක ලේයර් එකක් දාගන්න. ආයෙ පාන් ලේයර් එකක් දාගන්න. මේ වගේ ලේයර්ස් කිහිපයක් දාලා උඩින්ම පාන් පෙති ලේයර් එකක් දාලා එයට උඩින් කාඩ්බෝඩ් එකක් තියලා තද කරන්න. දැන් ෆොයිල් කොළයකින් වහලා පැය 12ක් ෆ්‍රිජ් එකේ තියන්න.  ඉන්පසුව ෆොයිල් එක හා කාඩ්බෝඩ් එක අයින් කරලා, පරිස්සමින් පුඩිං එක අනික් පැත්ත හරවලා, බෝල් එකෙන් අයින් කරලා උඩින් හෙවි ක්‍රීම් ටිකක් දාලා කෑමට ගන්න. 

 

 

 

උපදෙස්

සූපවේදී සුජිත් ආරියරත්න