දැඩි හිරු රැසින් ඔබේ සම රැකගන්න ආයුර්වේදීය පිළියම්..

අප්‍රේල් 17, 2019

'මේ දවස්වල තියෙන්නේ පුදුම රස්නයක් නේ..'

'ගේ ඇතුළේ හිටියත් හම පිච්චෙනවා වගේ..'

මේ වගේ කතා බහ මේ දවස්වල නිතරම ඇහෙනවා. අප්‍රේල් - මැයි කියන්නේ සමකාසන්න අපේ රටට දැඩි හිරු රශ්මියක් පතිත වන කාලයක්. ඒත් අද වන විට එහි උණුසුම වඩාත් වැඩි බව අමුතුවෙන් කිව යුතු නැහැ.

මෙම දැඩි හිරු රශ්මියට නිරාවරණය වන්නට සිදු වීම ගැහැනු-පිරිමි, බාල-මහලු කොයි කාටත් පොදුවේ මුහුණ පාන්නට සිදු වන තත්ත්වයක් බවට පත්වෙලා. දැඩි හිරු රශ්මිය සමට සිදු කරන හානි බොහොමයි. මෙයින් ප්‍රධාන වන්නේ සම පිළිස්සීමයි. එමෙන්ම දහදිය අධික ලෙස පිටවීම නිසා සම වියළීම, විජලනය, අධික තෙහෙට්ටුව මෙන්ම මේ හේතු ගණනාව නිසාම ඇතිවන අසහනකාරී බව නිසා නිතර කේන්ති යාමද දකින්නට පුළුවන්.

මේ සියලුම ගැටලු සඳහා ආයුර්වේදයේ ප්‍රතිකර්ම හා සත්කාර බොහොමයක් පවතී.

දරුවන්ට..

සමේ රතු වීම්, බිබිලි දැමීම වැනි දේ කුඩා දරුවන් හා ළදරුවන්ට ඇතිවන තවත් ගැටලුවකි. මේ සඳහා රත්මල් කැකුළු, කොහොඹ, වෙනිවැල්, සමන් පිච්ච තැම්බූ ජලයෙන් ඇඟ සේදීම සුදුසුයි. මෙය වඩාත් සුදුසු වන්නේ ළදරුවන් සඳහා ය. එමෙන්ම නිතර නිතර දියර වර්ග පානයට දීම හා ස්වභාවික පරිසරයේ සිසිල් සුළං වැදීමට සැලැස්වීම ඉතා වැදගත් වේ.

කළ යුතු දේ...

කාන්තාවන්ට විශේෂයෙන් සම පිළිස්සීම අවම කිරීමට සමට ගැළපෙන සන් ක්‍රීම් එකක් භාවිත කිරීමට මතක තබා ගන්න. අනෙකුත් දිනවලට වඩා මේ දිනවල වැඩි ජල ප්‍රමාණයක් පානය කිරීම ඔබගේ සෞඛ්‍යයට මෙන්ම රුව රැක ගැනීමට ද වැදගත් වේ. එමෙන්ම හැකි සෑම අවස්ථාවක ම සිරුර සිසිල් කරන ශාකසාර පාන වර්ග ගැනීම ද මේ දිනවල දී සිරුරේ දාහය නිවීමට මෙන්ම සෞඛ්‍යයට ද සුදුසු ය.

ඔබ එළිමහනේ වැඩ කරන විට හෝ ගමන් බිමන් යන විට හිරු රැසින් ආවරණය වීම සඳහා කුඩයක්, හිස් වැසුමක් වැනි දේ භාවිත කිරීමට පුරුදු වන්න.

සම සිසිල් කිරීමට...

බාහිරව සම සිසිල් කිරීම සඳහා හොඳ ස්ක්‍රබ් එකක්කර සමට හොඳ පැක් එකක් යෙදීම කළ යුතුයි. ඒ සඳහා කොහොඹ පොතු කුඩු, සදු හඳුන් කුඩු, වෙනිවැල් කුඩු, දේවදාර කුඩු, අගිල් කුඩු, එළකිරි හා පිපිඤ්ඤා යුෂ, කෝමාරිකා යුෂ සමඟ හොඳින් මිශ්‍රකර පැය විසිහතරක් තිබෙන්නට හරින්න. පසුව සිරුර කොහොඹ සහ කහ තැම්බූ වතුරෙන් සෝදා ඉහතින් සඳහන් කළ ආලේපය ගල්වා හොඳින් ස්ක්‍රබ්කර මඳ වේලාවක් සිරුරට උරා ගැනීමට තබන්න. මෙම ආලේපනය සිරුරේ වියළුණාට පසුව සෝදා හරින්න.

ඉන්පසු නෙල්ලි කුඩු, නාමල් රේණු, ලොත් සුඹුල්, මුංඇට පිටි, ඕලු පිටි, කෝමාරිකා යුෂ, පිපිඤ්ඤා යුෂ හා පොල් වතුර සමඟ හොඳින් මිශ්‍රකරගන්න. මෙම ආලේපනය සිරුරේ ආලේප කොට වියළුණාට පසුව සෝදා හරින්න.

දහදිය දුගඳට..

එමෙන්ම දහදිය දුඟද ද මේ දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයේ තවත් එක් අතුරු අපහසුතාවකි. දහදිය දැමීම හැමටම සිදු වුවද ඇතැම් අයගේ දහදිය ඉතා දුර්ගන්ධයෙන් යුක්තයි. එමනිසා පොදු ස්ථානවල දී මෙන්ම පොදු ප්‍රවාහන සේවාවල දී පමණක් නොව ඇතැම්විට නිවෙසේ දී පවා අපහසුතාවට පත්වන්නට සිදු වේ. එම නිසා පහතින් සඳහන් ප්‍රතිකර්මය සිදු කිරීමෙන් ඔබට පහසුවෙන් ම දහදිය දුර්ගන්ධයෙන් මිදීමට හැකියාව ලැබේවි.

බෙලි කොළ, කොලං කොළ, සැවැන්දරා මුල්, දෙහි පොතු කුඩු, අගිල්, සුවඳ කොට්ටං හොඳින් කුඩුකර (පවුඩර් මෙන්) දහදිය එකතුවන කිහිළි වැනි ස්ථානවල ආලේප කරන්න. මඳ වේලාවක් තබා සෝදා හරින්න.

රැයක් පෙඟෙන්නට තැබූ දුරු වතුර පානය කිරීම ද දහදිය දුර්ගන්ධයෙන් මිදීමට ප්‍රතිකර්මයකි.

මේ දිනවල කපු රෙදි හා දහදිය උරා ගන්නා රෙදිවලින් මැසූ ඇඳුම් තෝරා ගැනීම මඟින් වැඩි පහසුවක් ලබා ගත හැකියි. එමෙන්ම හැකි සෑම විටකම ස්වාභාවික සුළං රැල්ලක පහස විඳීමට කාල වේලාවක් යොදා ගන්න.

අව්රැසට පිළිස්සුණ මුහුණට...

අව් රශ්මියට පිළිස්සුණ මුහුණේ සම සඳහා කහ පැහැති දොඩම් ගෙඩියක් ලෙලි ගසා එම පොතු හොඳින් අව්වේ වියළා කුඩුකර ගන්න. මෙයට එළකිරි, මී පැණි, පොල් වතුර ස්වල්පයක් ආදිය මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න. එය වියළුණාට පසුව සෝදා හරින්න.

මේ ප්‍රතිකර්ම සිදු කිරීම මඟින් ඔබට මේ අපහසුකාරී දැඩි හිරු රශ්මිය නිසා සිදුවන අපහසුතාවන් අවමකර ගැනීමට හැකියාව ලැබේවි.

උපදෙස්

ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර