හමට කලඑළි ගේන අපි නොදන්න කොලජන්

පෙබරවාරි 5, 2024

 

තමන්ගේ සම සුන්දරව තබා ගැනීමට කාන්තා පිරිමි භේදයකින් තොරව අපි හැමෝම කැමැතියි. ඒ සඳහා ඔවුන් නොයෙකුත් පිළිවෙත් අනුගමනය කරයි. නමුත් එම ක්‍රමවේද සෞඛ්‍යාරක්ෂිත වීමටත් සෞඛ්‍යාරක්ෂිත නොවීමටත් ඉඩ තිබේ. සම මිනිස් සිරුරේ බාහිර ආරක්ෂකයා මෙන්ම ශරීරයේ ඇති විශාලතම ඉන්ද්‍රියයි. ඒ නිසා එවැනි පිළිවෙත් සඳහා යොමුවීමට පෙර ඒ පිළිබඳ නිවැරැදි අවබෝධයකින් සිටීම වැදගත්.

 

ලස්සන සමක් යනු කුමක්ද?

 

ලස්සන සමක් නම් එය නිරෝගීමත් සමක් විය යුතුයි. සමේ වර්ණය කුමක් වුවත් එය ලප කැළැල්වලින් තොර වයසට ගැළපෙන කොලජන් මට්ටමින් යුතු නිරෝගීමත් සමක් නම් එය ලස්සන සමක් ලෙස හඳුන්වන්න පුළුවන්.

 

පුද්ගලයෙකුගේ සමේ වර්ණය තීරණය වන්නේ කෙසේද?

 

ප්‍රධාන වශයෙන්ම සමේ වර්ණය තීරණය කරන්නේ සමෙහි ඇති මෙලනින් ප්‍රමාණය සහ මෙලනින් සාන්ද්‍රණයයි. සමෙහි තිබිය යුතු මෙලනින් ප්‍රමාණය මූලික වශයෙන්ම තීරණය වන්නේ අපේ ජාන මඟින්. මෙලනින් කියන්නේ ස්වභාවික අඳුරු පැහැති වර්ණකයක්. ඒ නිසා සමෙහි අඩංගු මෙලනින් අඩු හා වැඩිවීම තුළ සමෙහි වර්ණය කළු හෝ සුදු වීම සිදුවෙනවා. මෙලනින් මඟින් සිදු කරන වැදගත්ම කාර්යය වන්නේ සූර්ය කිරණ මඟින් නිකුත් කරන අහිතකර කිරණවලින් අපේ සම ආරක්ෂා කිරීමයි. සමකය ආසන්න රටක ජීවත්වන අපේ සම නිරන්තරයෙන් හිරු කිරණට නිරාවරණය වෙනවා. හිරු එළිය මඟින් මෙලනින් නිපදවීම වැඩි කරන නිසා ශ්‍රී ලාංකිකයන්වන අපට ඇත්තේ මෙලනින් ප්‍රමාණය වැඩි දුඹුරු පැහැයට ආසන්න ත‍ෙලළු සමක්. මීට අමතරව දේශගුණික සාධක, පුද්ගලයාගේ ආහාර රටාව හා ජීවන රටාවත් සමේ වර්ණය තීරණය කිරීමට යම් කිසි ආකාරයකින් බලපානවා.

 

සම සුදු කරන ආලේපන වයිටින් ක්‍රීම් වලින් සිදුවන බලපෑම් මොන වගේද?

 

වයිටින් ක්‍රීම් වර්ග කිහිපයක් හඳුනාගන්න පුළුවන්. වෛද්‍යවරුන්ගේ නිර්දේශය සහිත වයිටින් ක්‍රීම්, රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේදී භාවිත කරනු ලබන වයිටින් ක්‍රීම් සහ එදිනෙදා සමාජයේදී පුද්ගලයන් විසින් වෙෙළඳපොළෙන් මිලදී ගනු ලබන වයිටින් ක්‍රීම් බොහෝවිට මෙම ආලේපන හරහා බීලීචි කිරීම හා ෆීල් ඕෆ් ක්‍රමයෙන් සුදු වීම සිදු වෙනවා. මෙම ක්‍රම දෙක අතරින් වඩාත් අවදානම් ප්‍රතිඵල ගෙන දෙන්නේ බීලිච් කිරීම මඟින් සුුුදු වීමයි. මෙම කුමන ක්‍රමයකින් වූවද සුදුවීම ලෙස සිදුවන්නේ අපේ ශරීරයේ පවතින මෙලනින් ප්‍රමාණය අඩු කිරීමක්, දැනට වෙ‍ෙළඳපොළේ පවතින වයිටින් ක්‍රීම් වර්ග රැසකම ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. බොහෝ දෙනෙක් තමන් භාවිත කරන ආලේපනයේ අඩංගු සංඝටක මොනවාද, එම සංඝටකවල අඩංගු ප්‍රමාණයන් කෙසේද, නිෂ්පාදනය කළ ආයතනය කුමක්ද, එය අපේ රටේ ලියාපදිංචි කළ ආලේපනයක්ද කියා දැනුවත්භාවයක් නැහැ. සතියකින් සුදු වෙනවා. මාසයකින් සුදුවෙනවා යැයි කියූ පමණින් හේ සමාජ මාධ්‍ය තුළ එසේ සම සුදු කරගත් පුද්ගලයන්ගේ BEFORE AND AFTER ඡායාරූප දුුටු පමණින් බොහෝ දෙනෙක් එම නිෂ්පාදන අත් හදා බැලීමට යොමු වෙනවා. ඇතැම් පුද්ගලයන් නොදැනුවත්ව වෙනත් රටවල තහනම් කළ වයිටින් ක්‍රීම් වර්ග අඩු මුදලකට අපේ රටට ගෙන්වා ගන්නවා. ඒ වගේම වෙනත් රටවල භාවිත කරන ආලේපන වර්ග තමාගේ සමට සුදුසු ද කියාවත් නොබලා ගෙන්වා ගෙන භාවිත කරනවා. මේ නිසා බොහෝ දෙනෙක් සුදු වෙන්න කියලා භාවිත කරන මෙවැනි ආලෝපනවලින් සිදුවන්නේ සුදුමැලි වීමක්. ඒ වගේම රසදිය, හයි‍ෙඩ්‍රාක්වීනෝන් හෝ කෝටිකොස්ටෙරොයිඩ් අඩංගු වයිටින් ක්‍රීම් භාවිත කිරීමේ අතුරු ප්‍රතිඵල ලෙස සම තුනී වීම, සමෙහි පැල්ලම් ඇති වීම, සමෙහි පැලීම් ඇතිවීම, රෝම වර්ධනය, කුරුලෑ ඇති වීම හා සම අඳුරු වීම වගේ අහිතකර තත්ත්වයන් අැති වන්නත් පුළුවන්. මීට අමතරව මෙවැනි ආලෝපන දිගින් දිගටම භාවිත කිරීම මඟින් ශරීරයේ අභ්‍යන්තරයට හානි වීම නිසා වකුගඩු ආශ්‍රිත රෝග, ස්නායු රෝග, විවිධ ආසාදන තත්ත්වයන් මෙන්ම පිළිකා තත්ත්වයන් ද උද්ගත වීමට පුළුවන්. විශේෂයෙන්ම ගර්භිණී සමයේදී භාවිත කරන්නේ නම් අලුත උපන් බිලිඳකුගේ අසාමාන්‍යතා ඇති වීමට ද මේ හරහා ඉඩ තිබෙනවා.

 

සම සුදු කරන එන්නත් (Whiteninhg Injections) අපේ ශරීරයට හිතකරද?

 

සුදු කරන එන්නත් ලෙස සාමාන්‍යයෙන් භාවිත කරන්නේ ග්ලූටතයොන් එන්නත. මෙම එන්නත සුදු වීමට භාවිත කරන එන්නතක් ලෙස අපේ රටේ ලියාපදිංචි කරලා නැහැ. අපේ රටේ පමණක් නොවෙයි ලෝකයේ කිසිම රටක සම සුදු වීමට භාවිත කරන එන්නතක් තවමත් අනුමත කරලා නැහැ. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ ග්ලූටතයොන් එන්නත මඟින් පිළිකා ඇති කරනවාද කියලා. ග්ලුටතයොන් එන්නත මඟින් පිළිකා ඇති කිරීමක් සිදුවන්නේ නෑ. මොකද ග්ලූටතයොන් භාවිත කරන්නේ පිළිකානාශක ඖෂධවලින් ඇතිවන අතුරු ආබාධ අවම කිරීමට, පිළිකා රෝගීන්ට සිදුකරන කිමෝ ප්‍රතිකාරවලදී සමේ වර්ණය තාවකාලිකව අඳුරු පැහැයක් ගැනීම එම ප්‍රතිකාරවල අතුරු ප්‍රතිඵලයක්. එවැනි අඳුරු වීම් අවම කිරීමට මෙම ග්ලූටතයොන් එන්නත සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ භාවිත කරනවා. වර්තමානය වනවිට ග්ලූටතයොන් ලංකාව තුළ මෙන්ම ලෝකයේ බොහෝ රටවල රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළත් සම පැහැපත් කිරීම සඳහා භාවිත කරනවා. මෙම එන්නත සෑම කෙනෙකුටම එක සමාන ප්‍රමාණයකින් ලබා දෙන්න බැහැ. මොකද පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම එන්නත ලබා දෙන ප්‍රමාණය වෙනස් වෙනවා. යම් හේතුවකින් මෙම එන්නත අධි සාන්ද්‍රණයකින් යුතුව ලබාදීමෙන් අක්මාවට හානි වීමට පුළුවන්. ඊට අමතරව ජිවිත හානියක් ද වුවද සිදුවිය හැකියි. මේ නිසා නිසි වෛද්‍යවරයකුගේ නිර්දේශ මත ඒ සඳහා යොමුවීම ඉතාමත් වැදගත්.

 

සම සුදු කරන පෙති වලට අපේ සම පැහැපත් කිරීමට හැකියාව තිබෙනවාද?

 

බොහෝවිට සුදු වීමට ලබාගන්නා පෙති හා කරල් තුළ අන්තර්ගත වන්නේද ග්ලූටතයොන් ප්‍රතිඔක්සිකාරකයයි. සාමාන්‍යයෙන් මුඛය හරහා මෙම පෙති හෝ කරල් ලබාගැනීමේදී ශරීරයට අවශෝෂණය වන්නේ 40%ක් වගේ ප්‍රමාණයක්. මේ නිසා ශරීරයට අවශ්‍ය ග්ලූටතයොන් ප්‍රමාණය ලබා ගැනීමට එය දෙගුණයකින් භාවිත කිරීමට සිදුවෙනවා. මෙය ඔබේ සෞඛ්‍යයට එතරම් යහපත් වන්නේ නැහැ. මේ හරහා සමට යම් පැහැයක් ගෙන දුන්නද දිගින් දිගටම භාවිතය නිසා ඔබේ අක්මාවට හානි සිදුවීමට පුළුවන්. මේ නිසා මෙවැනි ඖෟෂධ ලබා ගැනීමට පෙර වෛද්‍යවරයකුගේ නිර්දේශයක් සහිතව ඒ සඳහා යොමුවීම වැදගත් වෙනවා.

 

සම පැහැපත් කිරීමට යොදාගත හැකි වෙනත් ප්‍රතිකාර ක්‍රම තිබේද?

 

සම පැහැපත් කරගැනීම සඳහා අද වනවිට බොහෝ ප්‍රතිකාර ක්‍රම පවතිනවා. එවැනි ප්‍රතිකාර සිදු කරන ආයතන ද අපේ රටේ ඕනෑ තරම් තිබෙනවා. නමුත් මෙම ප්‍රතිකාර හිතු මනාපයට ලබා ගැනීම යෝග්‍ය වන්නේ නැහැ. වෛද්‍ය නිර්දේශ යටතේ මෙම ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් ඔබේ සමට සිදුවන හානිය අවමකර ගන්න පුළුවන්. එවැනි එක් ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ ලේසර් ප්‍රතිකාර ක්‍රමයයි. මෙම ප්‍රතිකාර ක්‍රමය මඟින් අපේ සමේ පවතින මෙලනින් ප්‍රමාණය අඩු කිරීමක් සිදුවෙනවා. නමුත් මෙම ක්‍රමය තාවකාලික ප්‍රතිකාර ක්‍රමයක් පමණයි. මේ නිසා නැවත නැවත මෙම ප්‍රතිකාරවලට යොමු වීමට සිදුවෙනවා. තවත් ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ ගෝල්ඩ් ට්‍රීටිමන්ට් ක්‍රමයයි. මෙය රන් අන්තර්ගත ආලේපනයක්. මෙමඟින් සම සුදු කිරීමකට වඩා සිදුවන්නේ සමට දිදුලන බවක් ලැබීම. නමුත් මෙම ප්‍රතිකාර ක්‍රමයේ සීමාවක් පවතිනවා. මෙම ප්‍රතිකාර ක්‍රමය සෑම සමකටම කරන්න බැහැ. සීමාසහිත සමකට පමණයි සිදු කළ හැක්කේ. සමාජ මාධ්‍ය තුළ ඇතැම් නිෂ්පාදන ප්‍රචාරණය කරන්නේ එමඟින් ඔබට සදාකාලික පැහැපත් බවක් ලබා දෙන බව පවසමින්. පැහැදිලිවම කිව යුතුයි මේ කිසිම ප්‍රතිකාර ක්‍රමයකින් සදාකාලික සුදුවීමක් ලබා ගැනීමට නොහැකියි. මොකද අපි කවුරුත් දන්නවා අපේ සමේ වර්ණය තීරණය කරන්නේ මෙලනින් මඟින්. අපිට ජාන වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා සදාකාලික පැහැපත් බවක් ලබා දෙනවා යැයි කියා අලෙවි කරන කිසිදු නිෂ්පාදනයක් සඳහා ඔබ කිසිසේත්ම රැවටෙන්න එපා.

 

 

උපදෙස් - රූපලාවණ්‍ය

විශේෂඥ වෛද්‍ය දිලීප වික්‍රමසේකර