ඔයාටත් ඕනෙ හඳ වගේ මුහුණක් ද?

අගෝස්තු 14, 2023

තරුණ, පැහැපත්, සෞඛ්‍ය සම්පන්න සමක් පවත්වා ගැනීමට කාන්තාවෝ කොහොමටත් කැමැතියි.

මුහුණ සම්බාහනය කිරීමෙන් මේ දේවල් බොහෝදුරට සපුරාගත හැකි බව අපට විශ්වාසයෙන් යුතුව කිව හැකියි.

ඒ නිසා අද අපි බලමු මුහුණ සම්බාහනය කරන්නේ කෙසේද? එහි ප්‍රතිලාභ මොනවාද? මුහුණ, සම්බාහනය කරන ක්‍රම මොනවාද? දිදුලන, නිරෝගී සමක් ලබා ගැනීමට ඔබට උපකාරී වන ඉඟි පිළිබඳව.

මුහුණ සම්බාහනය කිරීම සමේ සෞඛ්‍ය වැඩිදියුණු කරනවා පමණක් නොව සම ලිහිල් කිරීම සහ ආතතිය ද සමනය කරයි.

 

මුහුණ සම්බාහනයේ ප්‍රතිලාභ

රුධිර සංසරණය වැඩිදියුණු කරයි. සමේ රුධිර ප්‍රවාහය උත්තේජනය වීම තුළින්, සෛලවලට ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ ලබා දී සෞඛ්‍ය සම්පන්න සමක් ඇති කරයි.

මෘදු සම්බාහන චලනයන්, වසා ගැටිති උත්තේජනය කිරීමට උපකාරී වේ. එමඟින් ඇස් යට කළු වීම්, ඉදිමීම, ඇස් බෑග් ඇතිවීම සහ අඳුරු පැහැ පෙනුම අඩු කරයි.

ඔබේ මුහුණ සම්බාහනය කිරීමෙන් නොසන්සුන් වූ මාංසපේශී ලිහිල් කර ආතතිය සමනය කළ හැකි අතර, සන්සුන් සහ ප්‍රබෝධමත් හැඟීමක් ඇති කරයි. සම සම්බාහනය කිරීමෙන්, ඔබ භාවිත කරන නිෂ්පාදන, සමට අවශෝෂණය කරගැනීම වැඩි දියුණු කළ හැකි අතර, ඒවායේ කාර්යක්ෂමතාවය ද උපරිම කරයි.

මුහුණ සම්බාහනය මඟින් සම ශක්තිමත් වීම සිදුවේ. මුහුණේ මාංසපේශිවල තද බවක් ඇති කිරීමට සම්බාහනය විශාල කාර්යභාරයක් ඉටු කරයි. සම්බාහනය කිරීම සේම, ඇතැම් සම්බාහන ව්‍යායාම් මඟින් ද මුහුණේ රැලි අඩුකිරීමට සහ සියුම් රේඛා මකා දැමීමට උපකාරී වෙයි.

අනෙක් වැදගත්ම කරුණ වන්නේ, ඔබේ සමට ගැළපෙන

සම්බාහනය සඳහා අවශ්‍ය සීරම්, තෙල් වර්ගය හෝ ක්‍රීම් වර්ගය තෝරා ගැනීමයි. ඒවා තෝරා ගැනීමේදී එහි ඇති ගුණ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

 

මුහුණ සම්බාහනයේ පියවර

* හැකි නම් විවේකී පරිසරයක් තුළ ඔබ මේ සඳහා සූදානම් වීම සුදුසුයි.

* ඔබේ මුහුණ මෘදු පිරිසුදුකාරකයකින් පිරිසුදු කරගන්න. එයින් මුහුණේ ඇති කුණු, දුහුවිලි මේකප් වැනි දෑ ඉවත් කරගැනීම අපේක්ෂා කෙරේ.

* ඔබේ සමේ සිදුරු විවෘත කර ගැනීම සඳහා, තෙල් පහසුවෙන් විනිවිද යාමට මිනිත්තු කිහිපයක් මුහුණට උණුසුම් වාෂ්ප කිරීම සිදු කරන්න.

* ඔබ තෝරාගත් නිෂ්පාදනය ඇඟිලි තුඩු මත තවරා ගෙන,

අනතුරුව, සැහැල්ලු පීඩනයක් යොදමින් ඔබගේ ඇඟිලි තුඩු යොදාගනිමින්, මුහුණ මත තෙරපුමක් ඇති කිරීමට පටන් ගන්න. මුහුණ මැද සිට පටන්ගෙන, ඇඟිලි තුඩු මුහුණේ පිටතට කුඩා රවුම් ආකාරයෙන් ක්‍රමානුකූලව රැගෙන යන්න. මුහුණ පුරා ඒකාකාරී චලිතයකින්, කුඩා රවුම් ආකාරයට සම්බාහනය කරන්න. හකු ප්‍රදේශය සහ නළල වැනි ආතතිය වැඩි ස්ථාන ඉතා හොඳින් සම්බාහනය කරන්න.

නළල සම්බාහනයේ දී ඇහිබැමේ සිට, හිසකෙස් ලයින් එක දක්වා ඇඟිලි තුඩු රැගෙන යන්න.

* රුධිර ප්‍රවාහය උත්තේජනය කිරීමට සහ සමට ශක්තිය ලබාදීමට ඔබේ ඇඟිලි තුඩුවලින් මෘදු ලෙස තට්ටු කිරීමේ චලනයක් යොදන්න.

ඔබේ මහපටැඟිල්ල සහ දබරැඟිල්ල ගෙන ඇහිබැම දිගේ තෙරපුමක් සහිතව ඇඟිලි තුඩු රැගෙන යන්න.

*ඇස් වට සම්බාහනය කිරීමේදී ඔබේ ඇස් වටා සම ඉතා මෘදු බැවින්, තද තෙරපුමක් ලබා නොදීමට වගබලා ගන්න.

* ඔබේ මුදුඟිල්ල භාවිත කරමින්, ඇස් වටා වමට සහ දකුණට පස් වතාව බැගින් රවුම් ආකාරයට සම්බාහනය කරන්න.

* නාසය ළඟ සිට, කම්මුල් කෙළවර දක්වා ඇඟිලි තුඩු අදිම්න් රැගෙන යන්න. පස්වතාවක් එය කරන්න.

* මුඛ ප්‍රදේශය සම්බාහනය කිරීමට ඔබේ මාපටැඟිල්ල සහ මැද ඇඟිල්ල 'V' හැඩයක් සාදන්න. දබරැඟිල්ල උඩුතොලට ඉහළින් සහ මැදැඟිල්ල යටිතොලට පහළට වන ආකාරයට ඇඟිලි තබන්න.මෘදු ලෙස තදකර කන් දෙසට අදින්න.

* නිකට සම්බාහනය කිරීම සඳහා කම්මුල්වලට යටින් ඔබේ අත් තබා හිසකෙස් රේඛාව දෙසට සම්බාහනය කරන්න.

* ඔබේ බෙල්ල සම්බාහනය කිරීම සඳහා සිරස් ආකාරයෙන් ඇඟිලි තුඩු යවමින් සම්බාහනය කරන්න.

පසු රැකවරණය(Aftercare)

* සම්බාහනය කිරීමෙන් පසු අතිරික්ත තෙල් ඉවත් කර ගැනීමට ඔබේ මුහුණ නැවත පිරිසුදු කරන්න.

* සමේ තෙතමනය සුරක්ෂිත කරගැනීම සඳහා මොයිස්චරයිසර් යොදන්න.

* ඔබ හිරු රශ්මියට නිරාවරණය වන්නේ නම්, පාරජම්බුල කිරණවලින් සම ආරක්ෂා කර ගැනීම සඳහා Suns cream යොදන්න.

* ඔබට අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා දින දෙක තුනකට සැරයක් හෝ මේ සම්බාහනය කිරීමේ පියවරයන් කිහිපය අනුගමනය කරන්න.

දිනපතා මුහුණ සම්බාහනය කිරීම හොඳද?

නිවෙසේ දී සතියකට 2-3 වතාවක් හෝ සෑම දිනකම මිනිත්තු 5-10ක් මෘදු ලෙස සම්බාහනය කිරීමෙන් ඔබේ සමට කිසිදු හානියක් සිදු නොවේ. එය රුධිර සංසරණය ප්‍රවර්ධනය කිරීමට සහ කාලයත් සමඟ සියුම් රේඛා මැකී යාමට උපකාරී වේ.

මෙසේ නිවෙසේදීම සුව පහසුවෙන් ස්වාභාවිකව දිදුලන සහ ප්‍රබෝධමත් සමක් සම්බාහනය හරහා ඔබටම හිමි කර ගත හැකියි.

 

උපදෙස් :

ප්‍රවීණ රූපලාවණ්‍ය සහ මනාලියන් හැඩ ගැන්වීමේ ශිල්පිනී

ඉෂාරා කෝර⁣ළගේ